Language Switcher

V2025

'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ දඩය ආණ්ඩුව ගෙවිය යුතුයි' -ගම්මන්පිල 

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් පැනවූ දඩ මුදල ශ්‍රී ලංකා රජය විසින් ගෙවියයුතු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

සෙනසුරාදා (දෙසැම්බර් 07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේය.

''බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට මේ වන විට එක්සත් රාජධානියේ අධිකරණයකින් දඩමුදල් නියමකර තිබෙනවා ඔබතුමා මේ ගැන මොකද හිතන්නේ ?'' යයි එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේදී ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

''මේ තුළ පෙන්නුම් කරන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තියයි. එරට ආරාධනයකින් බ්‍රිතාන්‍ය තුළ සංචාරයක නියුක්ත වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශනයක් සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට පැමිණෙන අවස්ථාවේ එතුමා පැමිණෙන මාර්ගය අවහිර කරමින් රාජතාන්ත්‍රික වරදක් ඔය දෙමළ බෙදුම්වාදීන් සිදුකරනවා. ඔවුන්ට විරුද්ධව කිසිම පියවරක් ගන්නට බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කර නැහැ. 

තමන්ගේ රටට එරෙහිව උද්ඝෝෂණය කරන විට තමන්ගේ රට දෙපලු කිරීමට ඉල්ලා සිටින විට රටට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් බ්‍රිගේඩියර්වරයා ජාතික කොඩිය පෙන්නුවා. ඒවගේම ඕව කරන්නට ආවොත් ඔබලා ඉවරයි කියන එක හස්ත සංඥාවෙන් පෙන්නුවා. මොකද දැනටමත් මේ බෙදුම්වාදය අප රට තුළ පරාජය කරලා ඉවරයි.  
 බ්‍රිතාන්‍ය වැනි රටවල් දෙක තුනක තමයි බෙදුම්වාදීන් දැන් ක්‍රියාත්මක වෙන්නේ. එය පවුම් වලින් දඩ ගෙවිය යුතු වරදක් නම්, බෙදුම්වාදීන්ට එරෙහිවත් ඇයි එරට පොලිසිය ක්‍රියාත්මක නොවන්නේ. බ්‍රිතාන්‍ය තම රට තුල තිබෙන සොච්චම් දෙමළ ඡන්ද ටිකට ඇති කෑදරකමට කටයුතු කරන බව නැවත වරක් තහවුරු වීමක් විදිහටයි අප මෙය දකින්නේ. ''

උඩුගම්පලට ගෙව්වා නම් බ්‍රිගේඩියර් ප්‍රියංක  ගෙවන්න බැරි ඇයි ?

''මෙම දඩ මුදල ගෙවීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද ?''කියා යලි මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.gammanpila

''මගේ ස්ථාවරය නම් මේ දඩ මුදල අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවිය යුතුයි. අපි දන්නවා සහකාර පොලිස් අධිකාරී උඩුගම්පලව.  පසුව ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බවට පත්වුණා. ඔහු විවියන් ගුණවර්ධන මැතිනියගේ කාන්තා දින උද්ඝෝෂණයකට පහරදුන් විට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ එය වරදක් බවයි.  ඒ අනුව විවියන් ගුණවර්ධන මැතිණියට වන්දි ගෙවීමට නියම වුණා. ඒ වගේම දරමිටිපොල රතනසාර ස්වාමීන් වහන්සේගේ පැවිදි හඬ සංවිධානය ද ඔහු පහර දුන්නහම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා එය වැරදියි එය මානව හිමිකම් කඩකිරීමක් කියලා. ඒ අනුව ඔහු විසින් පැවිදි හඬ සංවිධානයටද වන්දි ගෙවිය යුතු බව තීරණය වුණා.  

මේ අවස්ථා දෙකේදීම ඇමැති මණ්ඩලයේ තීරණය කළා ඒ වන්දි මුදල ආණ්ඩුව විසින් ගෙවා දැමිය යුතුයි කියලා. උඩුගම්පල වැනි මැර පොලිස් නිලධාරියෙකුට නියම වූ දඩය ආණ්ඩුවෙන් ගෙව්වා නම් මගේ පාසල් මිත්‍රයා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නියම වූ දඩය ආණ්ඩුවෙන් ගෙවිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා. 

මොනයම්මහෝ රාජතාන්ත්‍රික හේතුවක් නිසා ආණ්ඩුව විසින් මෙය නොකරනවානම් මේ රටේ ජනතාව රුපියල රුපියල එකතු කරලා හරි මේ රණවිරුවාට නියම කල දඩය ගෙවීමට ඉදිරිපත් විය යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා.''  

2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා කරමින් පවරා තිබුණ නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඊට වරදකරු බවට තීන්දුකර ස්ටර්ලින් පවුම් දෙදාහක් ද නඩු ගාස්තු සහ අතිරේක ගාස්තු සහ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල් ද ඇතුළුව ස්ටර්ලින් පවුම් 4419.80 ක දඩයක් නියම කරනු ලැබ ඇත.