ශ්‍රීපති සූරියආරච්චි 10 වන ගුණානුස්මරණය අද

ශ්‍රීපති සූරියආරච්චි 10 වන ගුණානුස්මරණය අද

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දසවැනි ගුණානුස්මරණය අදට (09) යෙදී ඇත.

ඒ නිමිති කොටගෙන අද රාත්‍රියේ ඒ මහතාගේ නිවසේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිත බව දිල්රුක්ෂි සූරියආරච්චි‍ මහත්මිය සඳහන් කරන අතර ඒ අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු ශ්‍රීපති මහතා ළඟින් ඇසුරුකළ හිතවතුන් කිහිපදෙනෙකුට ආරාධනා කළ බවද එම මහත්මිය සඳහන් කර සිටියි.

1962 සැප්තැම්බර් 08 වැනි දින උපන් සූරියආරච්චි මහතා වත්තල ශාන්ත අන්තෝනි විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබූ අතර පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්වීමට සමත් විය.

1995 වසරේ නීතිඥයකු ලෙස දිවුරුම් දුන් අතර 1998 සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වූ අතර පක්ෂයේ සිටි දක්ෂතම සංවිධායකයෙකු ලෙසද නමක් දිනා සිටියේය.

2001 දී පරිවාස ආණ්ඩුව බිඳවැටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව එය නැවත ලබාගැනීම සඳහා පුරෝගාමී වූ අතලොස්සක් දෙනා අතර ශ්‍රීපති සූරියආරච්චි මහතා කැපී පෙනෙන චරිතයක් විය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැඟීමේ පුරෝගාමි වැඩ කොටසක් ඉටුකළ ඒ මහතා 2004 දී රාජ්‍ය බලය නැවත ලබාගැනීම සඳහාත් ගෙන ගිය අරගලයේද ප්‍රබල චරිතයක් විය.

2004 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අතර 2005 පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමක් සිදුකළ අයෙකු විය.

අනතුරුව රාජපක්ෂ ආණ්ඩුවේ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්වූ අතර කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන්ද කටයුතු කළේය.

මාස කිහිපයකට පසු එම නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ මහතා අමාත්‍ය මංගල සමරවීර සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය පිහිටුවා ගත් අතර එහි ජාතික සංවිධායක ලෙසද කටයුතු කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ රාජපක්ෂ ආණ්ඩුවේ දරුණු දේශපාලන පළිගැනීමට ලක්වූ ඒ මහතා 2007 මාර්තු මාසයේ රජයේ වාහන අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් කෙරුණු අතර අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම වසරේ අප්‍රේල් මාසයේ දී ඔහුව ඇපමත මුදාහරින තුරුම රෝහල් ගත නොවී බන්ධනාගාර රැඳවිකුව සිටීමට තරම් ධෛර්යක් තිබූ අයෙකු විය.

එසේම බන්ධනාගාරයෙන් පිටවනතුරුම තමාට එල්ල කර ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළ අතර 2008 පෙබරවාරි 09 වැනිදා රිය අනතුරකින් මිය ගියේය. ඒ රැස්වීමක් අවසන් කර අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටින අතරතුරදී වන අතර එම අනතුර ඒ සමයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළේ එය ඉතා සැකසහිත අනතුරක් බවට හෙළිදරව්වූ නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න