Language Switcher

V2025

හමුදාපති ලන්ඩන් බ්‍රිගේඩියර් රකිද්දී බ්‍රිතාන්‍යයේ විරෝධතා

ලෝක අවධානය දිනාගනිමින් දෙමළ උද්ඝෝෂකයන්ගේ බෙල්ල කපන බවට සන් කළ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොකරන බව යුද හමුදාවේ ප්‍රධානියා ප්‍රකාශ කරද්දී ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය තුලින්ම දැඩි බලපෑම් එල්ලවෙමින් පවතී.

තමන්ගේ උගුර හරහා කිහිප වරක් ඇඟිලි මගින් කැපුම් සංඥා කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළ දිනට පසුදා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසා තිබුනේ විමුක්ති කොටි නායක ප්‍රභාකරන්ගේ සහ එල්ටීටීඊ යේ අවසානය තානාපති හමුදා නිලධාරියා විසින් පෙන්වා දුන් බවයි.

හමුදාපතිගේ එකඟතාව:

 ලන්ඩනයේ ශ්‍රී ලංකික බ්‍රිගේඩියර් අභිනයෙන් දක්වන ලද්දේ “ගෙල සිඳීමක්” බවට ඔහුට විරෝධය පලකරන දෙමළ උද්ඝෝෂකයන්, බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පලකරන මතය හමුදා ප්‍රධානියාද පිළිගෙන තිබේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තමන්ගේ නිල ඇඳුමේ බාහුවේ ඇති ශ්‍රී ලංකා ජාතික ධජය පෙන්වා උද්ඝෝෂකයන්ට ගෙල සිදීමක් අභිනයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය මේ වන විට ප්‍රභාකරන් ගේ ගෙල සිඳ සහ එල්ටීටීඊය මර්දනය කර තිබෙන බව යැයි මූලික පරීක්ෂණ වලදී හෙළි වුනු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ජනමාධ්‍ය හමුවේ පවසා තිබුනි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2009 මැයි මාසයේ ප්‍රසිද්ධියට පත් කරන ලද ඡායාරූප හා රූප රාමුවල ප්‍රදර්ශනය කෙරුණු එල්ටීටීඊ නායකයාගේ මළ සිරුරේ දකින්නට තිබුනේ නළලේ විශාල තුවාලයකි.

කෙසේ වෙතත්, තර්ජනය දෙමළ උද්ඝෝෂකයන් ඉලක්ක කොට කරන ලද්දක් බව තරයේ කියා සිටින විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් එරට විදේශ අමාත්‍ය වරයාගෙන් ඉල්ලා ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ තානාපති බලකඩදාසි අහෝසි කොට ඔහු වහාම රටින් පිටුවහල් කරන ලෙසයි.

නිවැරදි සංඥාවක් දෙන්න:

බ්‍රිතාන්‍යයේ නිල අමුත්තකු ලෙස වරප්‍රසාදිත ශ්‍රී ලංකාවේ යුද තානාපතිවරයාගේ තර්ජනයට යොමුවුනේ ශ්‍රී ලංකා හමුදා මර්දනයෙන් දිවි ගලවාගෙන පැමිණි දෙමළ ජනතාව බව විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලිපියක් ලියන පාලක කොන්සර්වේටිව් පක්ෂයේ පෝල් ස්කලි සහ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ශ්‍රීමත් එඩ්වර්ඩ් ඩේවි මන්ත්‍රීවරුන් දැඩි ලෙස පවසා ඇත.

මරණීය තර්ජනය කළ ආරක්ෂක උපදේශකයා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන හමුදාවක විධාන වගකීමක් ඉසිලූ අයකු බව කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයා සිහිපත් කර දී තිබේ.

“ශ්‍රී ලංකා යුද හමුදා වධබන්ධනයෙන් පලා ඇවිත් මෙහි රැකවරණ පතා සිටින මේ බොහෝ උද්ඝෝෂකයන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු නිල ඇඳුමින් පැමිණ මෙයාකාර විවෘත සහ අමන අයුරින් තර්ජනය කිරීම නරක ලෙස බලපා තිබේ,” යි පෝල් ස්කලි මන්ත්‍රීවරයාගේ ලියුමේ දැක්වේ.

බ්‍රිතාන්‍යයට පැමිණෙන දූත මණ්ඩල නිලධාරීන් බ්‍රිතාන්‍යයේ පුරවැසියන්ට ගරු කරනු මිස ඒ කවරකුටවත් තර්ජනය කරනු ඇතැයි අපේක්ෂා නොකෙරෙන බව ලිබරල් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරයා විදේශ අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

“එවැනි චර්යාවක් අනුමත නොකරන වගට පැහැදිලි සංඥාවක් දෙන නිවැරදි පියවර ගනිමින් බ්‍රිගේඩියර් ප්‍රියංක පිටුවහල් කිරීමට අප පියවර ගත යුතුය,” යි ශ්‍රීමත් එඩ්වර්ඩ් ඩේවි මන්ත්‍රීවරයා විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ලියන ලද ලිපියෙන් ඉල්ලා සිටී.

සිකුරාදා ලන්ඩනයේ උද්ඝෝෂණ

මේ අතර ශ්‍රී ලංකා රජය බ්‍රිගේඩියර් වරයාගේ ක්‍රියා කලාපය අනුමත කිරීමෙන් කෝපයට පත් කරමින් ප්‍රධාන පෙලේ දෙමළ ඩයස්පෝරා සංවිධාන සියල්ලක්ම පාහේ එක්වී ඔහුගේ තානාපති මුක්තිය අහෝසි කොට අධිකරණය හමුවට පමුණුවන ලෙස බල කරමින් අද (09) ඒකාබද්ධ උද්ඝෝෂණයක් කැඳවා තිබෙන අතර ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් නඩුවක් ද ගොනු කර තිබේ.

ප්‍රියංක ප්‍රනාන්දු සාපරාධි ක්‍රියාවක් කළ බවට චෝදනා කරමින් මධ්‍යම ලන්ඩන් මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා ඇත්තේ ජෙයින් නීතිඥ සමාගම විසිනි.

මහ කොමසාරිස් කාර්යාලය පිහිටි හයිඩ් පිටිය ප්‍රදේශයේ තර්ජනාත්මක චර්යාවක් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි පවසන ලන්ඩන් අගනාගරික පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.

නඩුව පැවරූ නීතිඥ කුලසේගරම් ගීතරත්නම් ගගන හා කියා සිටියේ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ තර්ජනාත්මක හැසිරීමට එරෙහිව අඩුම වශයෙන් පොලිසියට පැමිණිලි 50ක් කර ඇති බවයි.

වෙස්ට්මිනිස්ටර්, වෙම්බ්ලි, දකුණු හැරෝ සහ බිෂප් ඕක්ලන්ඩ් මුල් කොටගත් පොලිස් ස්ථාන කිහිපයක කර ඇති පැමිණිලි වලින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මරණ තර්ජන කළ බවත් කලහකාරී ලෙස හැසිරුනු බවටත් චෝදනා නගා තිබේ.

(gaganaradio)