මංගලගේ ඉන්ධන මිල සූත්‍රයට : ගෝඨා කැමතියි - මහින්ද අකමැතියි !

මංගලගේ ඉන්ධන මිල සූත්‍රයට : ගෝඨා කැමතියි - මහින්ද අකමැතියි !

පසුගිය ආණ්ඩුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව ද තීරණය කර ඇති බව The Morning පුවත්පත Fuel formula ‘U’ turn? යන ශීර්ෂයෙන් යුතුව ඊයේ (05) වාර්තා කර තිබේ.රාජපක්ෂවරුන් විපක්ෂයේ සිටියදී මංගල ඇමතිවරයාගේ ඉන්ධනමිළ සුත්‍රය දිගින් දිගටම විවේචනය කල අතර තම රජයක් යටතේ  ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට කටයුතු කරනා බව ජනතාව හමුවේ අවධාරණය කළේය.

'The Morning' පුවත්පත් වාර්තාවට අනුව, පසුගිය ජනවාරි පළමු වන දින භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල විසින් ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් යොදා ගැනීම පිළිබඳ අදහස් පළ කර ඇත. 

ඒ අනුව, ඉන්ධන මිළ නියාමනය කිරීම සඳහා මිළ සූත්‍රයක අවශ්‍යතාව පවතින බවත්, ඒ අනුව හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රය මේ මොහොතේ භාවිතා වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් මෙම ප්‍රකාශය මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය නොවැම්බර් මග අග හා දෙසැම්බර් මස මුල ප්‍රකාශ කළ අදහස් වලට හාත්පසින්ම පරස්පර බව මින් පෙනී යයි.

අමරේ අකමැතියි !

මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගිය නොවැම්බර් 26 දින මාධ්‍ය හමුවීමක් කැඳවා ප්‍රකාශ කර සිටියේ පැවති රජය විසින් හඳුන්වා දී තිබූ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය මේ පිළිබඳව යොමු වී ඇති බවත් ය. 

ඊට සමානව පසුගිය දෙසැම්බර් මස 03 වන දින කැඳවූ මාධ්‍ය හමුවකදී අමරවීර අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමට රජය කටයුතු කරන බවත්, මේ සඳහා අදාල කැබිනට් පත්‍රිකාව යොමුවීමට නියමිත බවත් ය. 

ඒ අනුව, මිළ පාලනය කිරීමක් සිදුවනු ඇති බවත් ජනතාවට ඉන්ධන මිළ පිළිබඳ බරක් පැටවීමෙන් වැළකී සිටීමට රජය කටයුතු කරනු ඇති බවටත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 

කෙසේවෙතත්, ඉන්ධන මිළ සූත්‍රය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා ද The Morning  පුවත් පතට පළ කොට ඇති අදහස් මීට හාත්පසින්ම වෙනස් බව මින් පෙනී යයි. මේ පිළිබඳ අමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම පුවත්පත දරු උත්සාහය අසාර්ථකවී ඇත.

අනතුරුව මේ පිළිබඳ විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධර්ම වන්නිනායක ගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ,  අදාල මාධ්‍ය කැඳවීමෙන් පසු ඉන්ධන මිළ පිළිබඳ අවධානයක් යොමුකිරීමට අමාත්‍යවරයා කටයුතු නොකළ බවයි. 

ඒ අනුව, ඉන්ධන මිළ සූත්‍රය අහෝසි කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් නොපැවති බවත්, ඉදිරියේදී එවන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් හෙතෙම අවධාරණය කොට තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න