Language Switcher

V2025

ලසන්ත ඝාතනයට වසර 11යි : යුක්තිය ඉටුවීම අද නොවේ හෙටයි !

සිය සොහොයුරාගේ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් පසුවත් ඔහුට සාධාරණය ඉටුනොවීම ගැන ඉතා කණගාටුවන බව ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග පවසයි.

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට 2020 ජනවාරි 08 වන දිනට වසර 11 ක් සම්පූර්ණ වේ.

ලසන්ත වික්‍රමතුංගගේ 11 වැනි සැමරුම් උත්සවයට ද ඔහුගේ පවුලේ සාමාජිකයන්, සහෝදර මාධ්‍යවේදීන් හා හිතවතුන් බොරැල්ල කනත්තට රැස් වී සිටියේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුනොවී ඇති මොහොතකය.

"අවුරුදු ගාණකට පස්සේ ඔහුගේ මළසිරුර ගොඩ දාලා නැවත විමර්ශනයක් කෙරුවා. ලසන්තගේ මරණය ගැන හොයන්න ලොකු උත්සාහයක් නැත්නම් ඔහුගේ සිරුර නැවත ගොඩ නොගෙන ඉන්න තිබ්බා ඔහුට සමාදානයෙන් සැතපෙන්න ඉඩ දීලා," ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග සැමරුම් උත්සවයෙන් අනතුරුව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

සෑම සැමරුම් උත්සවයකදී මෙන්ම මෙවරත් සැමරුමට පැමිණ සිටි බොහෝදෙනා කළ ඉල්ලීම වූයේ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටුකරන ලෙසය.

"යහපාලන රජය පාලන කාලය තුළ අවාසනාවකට මේ වගේ නඩු කිසිවකට විසඳුමක් ලැබුනේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නව රජයෙන් වුවත් මේ සම්බන්ධයෙන් විධිමත්ව පරීක්ෂණයක් කරලා මේ නීතිමය කටයුතු අවසන් කරාවි කියලා. නැත්නම් මේ අපරාධය රටක් ලෙස හැමදාම අපිට කැළලක් ලෙස තියේවි," ලාල් වික්‍රමතුංග සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙතෙක් වාර්තා කර ඇති කරුණු අනුව, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය මෙම ඝාතනයට සම්බන්ධ වී තිබේ. කෙසේ වෙතත් මෙම පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා දැන් විදේශගතව ඇති බැවින් මෙම පරීක්ෂණය නව කණ්ඩායමක් යටතේ යළි ආරම්භවීමට නියමිතය.

බීබීසී සිංහල සේවයට 2019 වසරේදී අදහස් දැක්වූ අදාළ ඝාතන පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙකු පැවසුවේ, ලසන්ත ඝාතනයට මාස කිහිපයකට පෙර මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට සම්බන්ධ පිරිස් ලසන්ත ඝාතනයට ද සම්බන්ධ බවට දැනට කරන ලද පරීක්ෂණ වලින් හෙළිවී ඇති බවය.

unnamed

කීත් නොයාර් පැහැරගැනීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගෙන් 2018 වසරේ අගභාගයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය.

කෙසේ නමුත් නව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු පිරිස මෙහෙය වූ මෙම පරීක්ෂණ ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවය.

මේ දින වල ආන්දෝලනයකට ලක්ව ඇති රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටවලින් හෙළිවන කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මෙවන් විමර්ශන යළි විමර්ශනය කළ යුතුය යන්න තම මතය බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

වසර 11ක් පුරා 'නොවිසඳුන' ගැටලුව

2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.

2010 පෙබරවාරි 26 - ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

2010 පෙබරවාරි 26 - එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.

2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.

2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.

2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

2015 ජනවාරි 10 - බලයට පත්වන නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ටශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය.

2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.

2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය.

unnamed 2

  • 2016 ජුලි 16 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.
  • 2016 ජුලි 27 - අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා තමන්ට ලසන්ත ඝාතනයෙන් පසු දිනක තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුන්ගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට දැන්වීය.
  • 2016 සැප්තැම්බර් 27 - නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැණින.
  • unnamed 3
    • 2017 ජනවාරි 21 - ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
    • 2017 මාර්තු 20 - ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ප්‍රකාශ කළේය.
    • 2017 මාර්තු 20 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතුව පවත්වාගෙන ගිය ඝාතන කල්ලි සිටි බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවියට වාර්තා කළේය.
    • 2017 මාර්තු 27 - විදේශ මාධ්‍යවේදීන් අමතමින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් චෝදනා කළේ සරත් ෆොන්සේකාට බව පැවසීය.
    • 2018 ජනවාරි 18 - ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. පරීක්ෂණයට අදාළව මේ වනවිට 950 පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.
    • 2018 පෙබරවාරි 2 - ගල්කිස්‌ස පොලිසියේ එවකට අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත අත්අඩංගුවට පත් විය.
    • 2018 පෙබරවාරි 14 - සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරද අත්අඩංගුවට පත්වුණේය.
    • 2018 පෙබරවාරි 21 - ගල්කිස්ස ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මෙම ඝාතන පරික්ෂ පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නේය.
    • 2018 මාර්තු 30 - ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට සම්බන්ධව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එම නියෝගයට දින කිහිපයකට පෙර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
    • 2018 ජුලි 2 - හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරට හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.
    • 2018 නොවැම්බර් 18 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව දින කීපයක් තුළ අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.
    • 2018 නොවැම්බර් 20 - ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.
    • 2019 අප්‍රේල් 08 - ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කරයි.
    • 2019 අගෝස්තු 18 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දේ.
    • 2019 ඔක්තෝබර් 22 - ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක ගොනු කර තිබූ නඩුව එම අධිකරණය නිෂ්ප්‍රභ කරයි.
    • 2019 නොවැම්බර් 16 - නව රජයක් බලයට පත්වේ
    • 2019 නොවැම්බර් 25 - ලසන්ත ඝාතන විමර්ශනය සිදු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පොලීසියට නොදන්වා විදේශ ගතවේ.
    (බීබීසී )