පොදු පෙරමුණු ලේකම්කම අලගියවන්නට

පොදු පෙරමුණු ලේකම්කම අලගියවන්නට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර සන්ධානය ගොඩ නැගීමේ කටයුතු ඉදිරියට ගෙනයෑමේ අරමුණෙන් පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධුරයට ශ්‍රීලනිප භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා පත්කර ඇතැයි වාර්තා වෙයි.

පොදුජන එක්සත් පෙරමුණ 1994- 2006 කාලසීමාවේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය පුටුව ලකුණෙන් මැතිවරණවලට ඉදිරිපත් වීමේදී පාවිච්චි කළ ලියාපදිංචි දේශපාලන පක්ෂය වන අතර එය පසුගිය වසර කිහිපය තිස්සේ නිෂ්ක්‍රියව පැවතුණි.

අභාවප්‍රාප්ත දි.මු ජයරත්න මහතා පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේය.

පොදුජන එක්සත් පෙරමුණ පිළිබඳව මෑත දිනවල මාධ්‍යවලින් සාකච්ඡාවට ලක් වී තිබුණේ එම පෙරමුණේ ඡන්ද ලකුණ ලෙස මැතිවරණ දෙපාර්තුමේන්තුව ඉදිරියේ ලියාපදිංචි කර ඇති පුටුව ලකුණ පිළිබඳව පොහොට්ටු පක්ෂය ලෙස හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් පැවති නිසාය.

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය අතර ඇති කරගත් ගිවිසුමට අනුව එම පක්ෂ දෙක ප්‍රමුඛව ඇති කරගන්නා සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් සන්ධානයක් ඇති කරගත යුතුය. එම සන්ධානය පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට පුටුව ලකුණ ලබාදීමට නම් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා එයට එකඟතාව පළ කළ යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමැති නව පක්ෂය ලියාපදිංචි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපත් ඌව පළාත් ආණ්ඩුකාර රාජ්‍ය කොල්ලූරේට පවරා තිබේ.

ජනවාරි 07 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායකගේ පැමිණීමෙන් එම රැස්වීම පැවැත්වීමට නොහැකි වී තිබුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදී පසුව ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු හමුවී තිබුණත්, එහිදී තීරණාත්මක සාකච්ඡාවක් සිදුවී නැතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.

තරිඳු උඩුවරගෙදර

අනිද්දා

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න