Language Switcher

V2025

සැලැස්මක් නෑ කියා  ගෝඨා ජනාධිපතිව බිංදුවටම දායි : පොහොට්ටු ගිනිගේ ඇවිලෙයි !

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූර කාලය තුළ වැඩ කිරීම වෙනුවෙන් සැලැස්මක් සකස්කර ගැනීමට පවා මෙතෙක් නොහැකිව ඇති බව පොදුජන පෙරමුණ හිතවාදී ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන එරන්ද ගිනිගේ නැමැත්තා පවසයි.

සිය ෆේස් ගිනුමේ " ගෝඨාභය ජනාධිපතිට විවෘත ලිපියක් මැයෙන් සටහනක් තබමින් ඔහු මේ චෝදනාව එල්ලකර තිබේ.

එසේම රට  පාලනය කිරීමට දිගුකාලීන සැලැස්මක් නොමැති බවත් එදාට එදාට එක එක දේවල් පමණක් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර ඇත.

තවද 2/3 ක බලයක් ගෙන පාර්ලිමේන්තුව විසුරුවාලීමට වෙහෙසක් නොගැනීම , අමාත්‍යවරුන් සිදුකරන වැරැදි ක්‍රියා සම්බන්ධව ක්‍රියාත්මක නොවීම, තනතුරු ලබාදීම සදහා පත්කළ විද්වත් කමිටුවේ ක්‍රියා කළාපය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ දින 60 පාලන සමයේ පමණක් පැවති දුර්වලතා රැසක් එරන්ද ගිනිගේ සිය ලිපිය හරහා විවේචනය කර ඇත.

එරන්ද ගිනිගේ නැමැත්තා සිය ෆේස් බුක් ගිනුමේ තැබූ විවෘත ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පහත දැක්වෙන අතර එහි උප ශීර්ෂ පමණක් newstube.lk වෙබ් අඩවිය විසින් යොදා තිබේ.

 ගෝඨාභය ජනපතිට විවෘත ලිපියක්
ගරු ජනපතිතුමනි,

දුටුගැමුණු කුමාරයා වරක් සටනකින් පැරදී පළා යන අතරමග පැල්පතක විසූ මැහැල්ලක විසින් උයා දුන් උණු බත් කෑ කතාවක් සිංහල ජනප්‍රවාදයේ ඇත. එහෙන් මෙහෙන් උණු බත් අල්ලන විට අත පිච්චෙන සැටි දුටු මැහැල්ල “පුතේ නුඹත් බත් කන්නේ අපේ ගැමුණු කුමාරයා යුද්ධ කරන්නා වගේය” යැයි කියූ බවත් “පර්යන්තයෙන් පටන් ගෙන ක්‍රමයෙන් මැදට කෑ යුතු යැයි” ඇය ඉගැන්වූ බවත්, එම මහඟු උපදෙසින් දුටුගැමුණු කුමාරයා සිය ජයග්‍රාහී යුධ සැලැස්ම සැකසු බවත් මා කුඩා කළ අසා ඇත.

ඔබතුමා ජනපති ලෙස තේරී අදට දින හැටක් ගත වී ඇත. මේ කාලය තුළ ඔබතුමා කටයුතු කරන ආකාරය දෙස බලා සිටින මා හට අර මැහැල්ලගේ කතාව සිහියට එයි. ඔබතුමාත් ජනපතිකම කරන්නේ ගැමුණු කුමාරයා උණු බත් කෑ ලෙසටය. එනම් ඔබතුමා දිගුකාලීන සැලසුමක් අනුව පියවරෙන් පියවර යන බවක් පෙනෙන්නේ නැත. එහෙන් මෙහෙන් එදාට එදාට එක එක අය කියන කියන දේවල් අනුව කටයුතු කරන බවක් පෙනේ. මා වැරදි විය හැකිය. නමුත් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මා දකින දෙය එයයි.

බුද්ධි පනතේ නමත් අවුල් !

ජනරජය ස්වෛරීය. එනම් එහි රජෙකු නැත. රාජ්‍යයේ පරමාධිපත්‍යය දැන් ඇත්තේ ජනතාවටය. ඔබතුමා ජනරජයේ සියලු ජනතාවගේ ප්‍රධාන නියෝජිතයා ය. විධායක හෙවත් කාරක ආයතනයන් හී ප්‍රධානයා ය. ආණ්ඩුවේ හෙවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානයා ය. සන්නද්ධ සේවාවන්හී සේනාධිනායකයා ය. ඔබතුමාගේ ජනපති කාර්යය එම තනතුරු වල ව්‍යවස්ථාපිත වගවීම් වලට සීමා වේ. එනම් ඔබතුමාට නීති හදන්නට බැරිය. පාර්ලිමේන්තුව හදන නීති නිවැරදිව ක්‍රියාත්මක කිරීම ඔබේ කාර්ය යි.

රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ඔබතුමා ප්‍රමුඛතාවය දී ඇති බව පෙනේ. එය ඔබෙන් අප බලාපොරොත්තු වූ වැදගත්ම කාර්යයකි. එය ඔබට තරම් හොඳින් කළ හැකි වෙනකෙකු දැනට නොමැත. පසුගිය ආණ්ඩුව විසින් බිඳ දැමූ රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා ශක්තිමත් කිරීමට කටයුතු කරනුද පෙනේ (යෝජිත ‘බුද්ධි පනත’ යනු අවනාමයකි. එය ‘රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා පනත’ ලෙස නම් කිරීම යෝග්‍යය). නමුත් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු නම් මන්දගාමී ස්වරූපයක් ගනී.

ව්‍යාපෘති සැලැස්ම කෝ ?

පරිගණක තාක්ෂණය උගත් ඔබට “ව්‍යාපෘති කළමනාකරණය” ගැන අමුතුවෙන් කිව යුතු නැත. ඔබේ ව්‍යාපෘතියට ජනතාව ලබා දී ඇති කාලය වසර පහකි. එය එතරම් දිගු කාලයක් නොවේ. දැනට පෙනෙන හැටියට ඔබේ “ව්‍යාපෘති සැලසුම” තවම ඔබ සාදාගෙන නොමැත. ඔබේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය, දැන් සංගත සැලසුමක් ලෙස සාදා ගත යුතුය. හරි නම් මේ දිනවල වැඩි කාලයක් ඔබ ගත යුත්තේ එම සැලසුම හදා ගැනීමටය. ඊළඟ වසර පහ තුළ නිශ්චිත දින වලදී ඔබ විසින් පසු කළ යුතු සැතපුම් කණු පැහැදිලිව එහි ලකුණු කළ යුතුය.

ඇමැති මණ්ඩලය පිහිටුවීම : පාර්ලිමේන්තුව විසුරුවාලීමට උත්සාහ නොගැනීම  වැරැදි තීන්දු !

ඔබ දැනට කර ගත් ලොකුම වැරැද්ද නම් වත්මන් ඇමති මණ්ඩලය පත් කිරීමයි. එය ඔබතුමාගේ කැමැත්තට වඩා එම ඇමතිවරුන්ගේ පෙරේතකමට සිදු වූවක් බව මම දනිමි. ඔබට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමය. නිවැරදි ක්‍රමය එයයි. නමුත් ඇතැමුන්ට මාස තුනක් ඉවසීමට නොහැකි විය. එබැවින් 2015 ජනවාරි 9 වැනිදා සිරිසේන විසින් සිදු කළ වැරැද්දම ඔබටත් කිරීමට සිදු විය. එනම් පාර්ලිමේන්තුවේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවා ඇමති මණ්ඩලයක් පත් කිරීමයි. එය ඉතා වැරදි ආදර්ශයකි. 

නොවැම්බර් 16 වැනිදා ජනතාව තෝරා ගත්තේ ඔබතුමන් මිස ඊනියා ඇමතිවරුන් නොවේ. ඔවුන් බොහෝ දෙනා වසර ගණනාවක් තිස්සේ ජනතාව පෙළමින්, ජනතා මුදලින් යස ඉසුරු විඳිමින්, ජනරජය කාබාසිනියා කිරීමට දායක වූ අසාර්ථක සහ දූෂිත පිරිසකි. ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඔවුන්ට ඇමතිකම් දීමෙන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු සෙල්ලම් පටන් ගෙන ඇත. ජනතාව ගෝඨාභය ජනපතිගෙන් අපේක්ෂා කරන්නේ හරි දේමය. කෙතරම් අපහසු වුවත් නිවැරදි දේම පමණක් කිරීම ඔබේ යුතුකමයි.

ඔබට තිබුනේ කෙසේ හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තුනෙන් දෙකේ යෝජනාව ගැනීමට කටයුතු කිරීමයි. ජනතාව වෙනුවෙන් ඔබ දිනා දිය යුතුව තිබූ පළමු ජයග්‍රහණය එයයි. ඔබ ඒ වෙනුවෙන් සටන් කළා මදි යැයි මට සිතේ. ජනතාව මේ පාර්ලිමේන්තුව සමග ඉන්නේ මහත් කලකිරීමකිනි. ඔය පාර්ලිමේන්තුව පවතින්නේ ඔවුන් විසින් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හදා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියකින් මිස ජනතා කැමැත්තෙන් නොවේ. අපගේ ප්‍රධාන නියෝජිතයා හැටියට ඔබ අප වෙනුවෙන් දැඩිව සටන් කළ යුතුය. නමුත් ඔබ මන්ත්‍රීවරුන්ගේ කීමට ඉක්මනින්ම අවනත විය. එය අනාගතය ගැන කිසියම් අවිනිශ්චිතතාවයක් ඇති කරයි.

ඇමතිලාගේ වැඩ ජනාධිපති කිරීම විහිළුවක් !

ඒ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දැන් ලහි ලහියේ ආණ්ඩු බලය අවභාවිතා කරමින් මහමැතිවරණය සඳහා වැඩ කරනු පෙනේ. ඒ නිසා ඔවුන් විසින් කළ යුතු රාජ්‍ය කාර්යයන් දැන් ඔබ විසින්ම කරනු පෙනේ. එය විහිළුවකි. දැන් ඉතින් පත් කෙරුවා නම් ඇමති මණ්ඩලයේ ප්‍රධානයා ලෙස ඔබ එම රැළ කෙසේ හෝ කළමනාකරණයද කළ යුතුය.

තිරසාර පරිසර ප්‍රතිපත්තියක් ගැන ඔබ පොරොන්දු වූවත් ඔබේ වනජීවී ඇමතිවරයා වනසතුන් මරා දැමීමට ගම්වැසියන්ට තුවක්කු නිකුත් කරයි. ජනතාවට කඩිනම් සහන ලබා දෙනවා යැයි ඔබ කීවත් අද ජීවන වියදම දරා ගත නොහැකි ලෙස වැඩි වී ඇත. පාසල් අධ්‍යාපනයේ නවෝදයක් ගැන ඔබ කීවත් මෙවරත් පළමු පන්තියට දරුවන් ඇතුළත් කර ගැනීමේ අක්‍රමිකතා එමටය. ඒ අතර ඔබේ අධ්‍යාපන ඇමතිවරයා කාගේ දෝ හඬපටයක් ගැන මාධ්‍යයට නන් දොඩවයි. “මාස දෙකකින් කිසිවක් වෙනස් කිරීමට නොහැකි” යැයි කියන අයගෙන් මා අසන්නේ “එහෙනම් මාස තුනකට ඇමතිකම් ගත්තේ කුමටද?” කියා ය.

රාජ්‍ය ආයතන තනතුරු පොරය ජුගුප්සාජනකයි : පත්කල කමිටුව ඊට අන්තයි !

රාජ්‍ය ආයතන තීරක තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමද ජුගුප්සාජනක බලපොරයක් බවට පත් විය. සුදුස්සාට සුදුසු තැන ලබා දීමට අයැදුම් පත් ඇසුරෙන් ක්‍රමයක් ඉදිරිපත් කළත්, එය නිසි ලෙස සැලසුම් කළ බවක් නොපෙනුණි. වෙනකක් තබා තේරීම් සභාවේ ඇතැමුන් සියල්ලන්ට පෙර තනතුරු ගැනීම උත්ප්‍රාසයකි. අදහස කෙතරම් හොඳ වුවත් එය ක්‍රියාත්මක කිරීම සහ කරන්නන් දුර්වල නම්, අවසානයේ එය අසාර්ථක වෙනු ඇත.

මේ අතර ඔබ විසින් ඉතාම වටිනා රාජ්‍ය කාර්යයන් බොහොමයක් සිදු කර ඇති බව කනෙන් කොනෙන් ඇසේ. ඔබ යටතේ ඇති ආයතන සේවකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීම, රාජ්‍ය කාර්යාල සහ වාහන වැනි භෞතික සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය ආයතන තීරක නිලධාරීන්ගේ වැටුප් අඩු කිරීම ආදීය වෙනුවෙන් ඔබට මාගේ ප්‍රණාමය පුද කරමි. නමුත් ගැටලුව නම් ඔබ සිදු කරන එම කාර්යයන් සාමාන්‍ය ජනතාව වෙත සන්නිවේදනය නොවීමයි. ඕනෑම ව්‍යාපෘතියක සාර්ථකත්වය කෙරෙහි ව්‍යාපෘති “සන්නිවේදනය” අතිශය වැදගත් වේ. වැඩ කරාට මදිය. කරන වැඩ ගැන අදාළ සියලු පාර්ශව කලට දැනුවත් කළ යුතුය.

ඔබ ඇතැම් රාජ්‍ය ආයතන හදිසියේ නිරීක්ෂණය කරනු දුටු විට මා හට සතුටක් ඇති විය. නමුත් එය සිදු කළ ආකාරය දුටු විට කනගාටුවක් ඇති විය. ඔබේ ජනපතිවරණ ව්‍යාපාරයේ පදනම වූයේ “විනයගරුක” සමාජයක් යන තේමාවයි. නමුත් ඔබ ගිය ඒ තැන්වල කිසිදු විනයානුකූල බවක් නම් පෙනුනේ නැත. සෙනග වට වී පොරකමින් කරන නිරීක්ෂණ සමාජයට දෙන්නේ වැරදි ආදර්ශයකි. ඔබ ඒ සෙනගට පළමුව කියා දිය යුත්තේ නිවැරදිව පේළියකට සිට ගන්නා ආකාරය යි. පාරිභෝගිකයන් ඉදිරියේ තම සේවකයන්ට දොස් කීමද ගුණවත් නායකයෙකුට තරම් නොවේ. 

දුටුගැමුණු කුමාරයා මෙන් ඔබ එක කොනකින් පටන් ගත යුතුයි, ජනපතිතුමනි. ඔබ ඔබේ ප්‍රමුඛතාවයන් හඳුනාගත යුතුයි. ඔබේ දෛනික සහ මාසික වැඩසටහන සකස් විය යුත්තේ ඔබේ පෞද්ගලික ලේකම්වරුන්ට හෝ ඔබේ බලයෙන් උණ ගැනී ඇති අයට අවශ්‍ය ලෙස නොවේ. එය සකස් විය යුත්තේ ඔබේ සැලසුම් වලට අනුව ඔබට අවශ්‍ය ලෙසටය. එක මීටිමකින් තව මීටිමකට හැල්මේ දිවීම එතරම් ප්‍රතිඵලදායක නැත.

ලියන්නට තව බොහෝ දේ ඇතත් දැනට මෙය ප්‍රමාණවත් යැයි මම සිතමි. ළඟ එනවා යැයි අප බලාපොරොත්තු වන මහමැතිවරණයෙන් පවතින පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජක වෙනසක් ඇති වේ යැයි සිතීමට දැන් දැන් අපහසුය. ඔබ කෙතරම් හොඳට ඔබේ ව්‍යාපෘති සැලැස්ම හදා ගත්තත් එය ක්‍රියාත්මක කිරීමට ඔබට සිදු වන්නේ ඔබට සහ ඔබේ සැලසුමට නොගැලපෙන පිරිසක් සමග නම් එය ඉතා උගහට කාර්යයක් වෙනු ඇත. එසේ නොවේවා යැයි පතමි!
මෙයටඔබේ විශ්වාසී

එරන්ද ගිනිගේජනරජවැසියා2020 ජනවාරි මස 18 වැනි දින ජනරජයේදී

මගේ බ්ලොග් අඩවිය: http://ginige.com/open-letter-to-president-gotabaya-si/erandaginige/2020/01/