Language Switcher

V2025

ආරක්ෂක අමාත්‍යංශය මහින්දට නොදෙන්නේ සැක නිසාද ?

ආරක්ෂක අමාත්‍ය ධුරය අගමැති මහින්ද රාජපක්ෂ වෙත පවරා ගැසට් නිවේදනයක් කරන බව ආණ්ඩුවේ බලධාරීන් පැවසුවද මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා එවැන්නක් සිදුව නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසිය.

''පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් වුනේ ජාතික ආරක්ෂාව කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ජාතික ආරක්ෂාව සහතිකකරනවා කියලා. එත් තවම ආරක්ෂක ඇමති කෙනෙක් පත්කරලා නැහැ. ආරක්ෂක රාජ්‍ය ඇමති විදියට චමල් රාජපක්ෂව ගැසට් කරලා තියනවා. ආරක්ෂා ලේකම්ව ගැසට් කරලා තියනවා. එත් ආරක්ෂක ඇමති කව්ද කියලා තාම ගැසට් කර නැහැ. ආණ්ඩුවේ බලධාරීන් කිවේ අගමැතිතුමාව ආරක්ෂක ඇමති ලෙස නම් කරනවා කියලා. එත් තාම එහෙම ගැසට් එකක් ඇවිත් නැහැ ...

ඇයි ප්‍රශ්නයක් ද ? අගමැතිතුමාට බයද ? එයා ගැන සැකයි ද? ... කියා විජිත හේරත් මන්ත්‍රීවරයා විමසු අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුමේධා ජී ජයසේන පැවසුවේ, ආරක්ෂක ඇමති අගමැති බවයි.

'' මෙතුමිය කියන්න දේ හරිද ? එක ආණ්ඩුවේ ස්ථාවරය ද ? කියා එම අවස්ථාවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා විමසා සිටියද එයට ආණ්ඩුවේ පාර්ශයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබිණ.

ආරක්ෂක ඇමතිවරයකු නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම තුළ එම අමාත්‍යංශයට අදාළ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී බරපතල අර්බුදයක් මතුව ඇතැයි ද විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ව්‍යවස්ථා අර්බුදයක් !

මේ අතර 'සිරිකොත' එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රහේළිකාවක් බව කියා සිටියේය. 

කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානමක් පවතින බවයි.

19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නමුත් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වන්නේය. මීට අමතරව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.

එවැනි ත්ත්වයක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයෙකුට පැවරීම ගැටළු සහගත හෙයින් හා 19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් අර්ථනිරූපනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද පැවසේ.