හොකී ජාතික සංගමයේ ප්‍රෝඩාවට මේ ආණ්ඩුවත් අහුවෙලාද ?

හොකී ජාතික සංගමයේ ප්‍රෝඩාවට මේ ආණ්ඩුවත් අහුවෙලාද ?

අන්ත දූෂිත හොකී ජාතික සංගමයේ පරිපාලන නිර්දේශ පදනම් කරගෙන ක්‍රියාකාරී දිස්ත්‍රික් හොකී සංගම් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරීත්වය වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි කීර්තිමත් ආයතනයකට අවමානයක් සිදුකරන්නක් බව කොළඹ ජාතික හොකී සංගමයේ සභාපති සුරේන් විජේරත්න අවධාරණය කරයි.

ඔහු මේ අවධාරණය සිදුකරන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල වෙත ලිපියක් යොමුකරමින්ය.
 
එහිදී වැඩිදුරටත් කොළඹ දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපතිවරයා පෙන්වාදී ඇත්තේ සංගම් කිහිපයක නිලධාරීන්ට මෙම හොකී වාරණය නිකුත්කර ඇත්තේ චෝදනා පත්‍රයක් හෝ විධිමත් විනය පරීක්ෂණයක් නොමැතිව බවත් මෙකී සිදුවීමට අදාළව සිදුකල අභියාචනයේදී එම අභියාචනා කමිටුවේද නිර්දේශ නොතකමින් බවය.
 
එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතද යොමුකර තිබේ.
 
එම ලිපියෙ වත්මන් හොකී ජාතික සංගමයේ වංචා සහ දූෂණ රැසක්ද අනාවරණය කර ඇති අතර ජාතික හොකී සංගමය දූෂිත බවත් සභාපති පෙරුමාල් විශ්වනාදන්, ලේකම් සුමිත් එදිරිසිංහ, උපසභාපතිවරුන් වන ගාමිණී ජයසිංහ, කේ.ජයරත්නම් යන අයට සෘජුවම චෝදනා නැගීමටද කොළඹ දිස්ත්‍රික් හොකී සංගම් සභාපතිවරයා කටයුතු කර ඇත.
 
මේ වාරණය නිකුත් කිරීමට අදාළ සිදුවීම වන්නේ 2019 අගෝස්තු 04 වනදා විකාශයවූ සිරස රූපවාහිනියේ වන  "ඉන්සයිඩ් ස්පෝර්ට්ස්" වැඩසටහනේදී ජාතික හොකී සංගමය විවේචනය කරමින් අදහස් දැක්වීමය. එවැනි අදහස් දැක්වීමක් පදනම් කරගෙන හොකී ක්‍රියාකාරකම් වාරණය කිරීමට කටයුතු කිරීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක් බවද කොළඹ හොකී සංගමයේ සභාපතිවරයා සිය ලිපිය තුළ පෙන්වා දෙයි.
 
මේ කරුණු දක්වමින් තමන් ඇතුළු ක්‍රියාකාරී හොකී සංගම් නිලධාරීන් කිහිපදෙනෙකුට පනවා ඇති වාරණය සම්බන්ධව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
 
IMG 20200123 WA0001
 
මාතර සහ රත්නපුර හොකී සංගම් නීති විරෝධී ලෙස ජන්දය දාලා !
 
මේ අතර හොකී ජාතික සංගමය පිළිබඳ  තවත් වැදගත් තොරතුරක් වාර්තා වන අතර ඒ පසුගියදා පැවති හොකී ජාතික සංගමයේ නිලවරණය සම්බන්ධවය. එහි සඳහන් වන්නේ එම නිලවරණයේදී වත්මන් හොකී පරිපාලනයට පක්ෂව ජන්දය ලබාදුන් රත්නපුර සහ මාතර හොකී සංගම් එකී නිලවරණයට ජන්දය ලබාදීමට සුදුසුකම් නොමැතිව සිට ඇති බවයි.
 
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට  එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්.පී. බණ්ඩාර විසින් ඒ බව නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර  ඒ මෙම නිලවරණය සම්බන්ධව ඇති නඩුව වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇති කරුණු විමසීමට ප්‍රතිචාර දක්වමින්ය.
 
එහිදී එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මෙම තොරතුරු කැඳවා ඇත්තේ අදාළ දිස්ත්‍රික්ක වල ක්‍රීඩා සංවර්ධන නිලධාරීන් වෙතින් රහස්‍ය වාර්තාවක් ලෙස බවත් එහිදී මෙම සංගම් කිසිඳු ක්‍රියාකාරී මට්ටමක නොමැති බව එකී දිස්ත්‍රික් නිලධාරීන් දන්වා ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
 
මෙම නිලවරණය අවස්ථාවේ කිසිඳු ක්‍රියාකාරීත්වයක නොමැති නිලවරණයට ජන්දය ගැනීමට පමණක් ව්‍යාජ ලෙස පිහිටුවා ඇති හොකී සංගම් කැඳවීම සම්බන්ධව විරෝධය දක්වමින් කොළඹ හොකී සංගමය ඇතුළු ලංකාවේ ක්‍රියාකාරී හොකී සංගම් කිහිපයක් නැගිට විරෝධය දක්වා එලියට පැමිණි බවත් ඒ අවස්ථාවේ අත්තනෝමතික ලෙස වත්මන් නිලධාරී මණ්ඩලය පත්වුවත් තමන් දරනු ලැබූ ස්ථාවරය නිවැරදි බවත්  හොකී සංගම් ක්‍රියාකාරීන් රැසකගේ අදහස වී තිබේ.
 
පරිපාලනයට වසර 15 යි : ලංකාවේ හොකී ඉවරයි !
 
මේ අතර ලංකාවේ හොකී ක්‍රීඩාව රැකගැනීමට සහ එහි උන්නතිය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙයක් සිදුකරන ක්‍රීඩාවේ ජේෂ්ඨයන් රැසක් පෙන්වා දෙන්නේ වත්මන් පරිපාලනය යටතේ හොකී ක්‍රීඩාව නැත්තටම නැතිවීමේ අවධානමක් මතුව ඇති බවය. වසර 15ක පමණ කාලයක සිට මාෆියාවක් ලෙස මේ නිලධාරීන් ජාතික සංගමය අරක්ගෙන සිටින බවත් ඒ කාලය තුළ ක්‍රීඩාව පත්ව ඇති අභාවාචී තත්ත්වය ගැන තමන්ට සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බවත් ඔවුන් පවසයි.
එන එන ආණ්ඩු සහ ක්‍රීඩා අමාත්‍යවරුන් නොමග යවමින් සිටින මේ දූෂිත පරිපාලනය ගැන ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව සහ සම්මුඛව පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පවසයි.,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න