ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයාර් බස් සමාගම අතර ගනුදෙනුවකට අදාළව ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයා විසින් අද (03) මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තොරතුරුවලට අනුවය. ඒ අනුව නීතිපතිවරයා දන්වා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙසය.
ජනපති ගෝඨාභය රාජපක්ෂද ඊයේ (02) දිනයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළේය.
මහින්ද රාජපක්ෂගේ ළඟම හිතවතෙක් !
මෙසේ අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝග කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපතම හිතවතෙකු වෙයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති ලෙස සිය මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ පත්කරන විට එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කපිල චන්ද්‍රසේන පත්කෙරුණු අතර එමීරේට්ස් කළමනාකාරීත්වය යටතේ රුපියල් බිලියන ගණනින් ලාභ ලැබූ ශ්‍රී ලන්කන් අදහාගත නොහැකි පාඩු ලබමින් හොම්බෙන් යන තැනට ඇද වැටුණේ මේ දෙදෙනාගේ කෙරුවාව හමුවේය.
එහෙත් කපිල සහ මහින්ද රාජපක්ෂ පවුලේ ඇයි හොදැයිය ඒ නිසා අවසන් වුණේ නැත. හිටපු ජනාධිපති සිරිසේන සමඟ එක්ව දියත් කෙරුණු ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ ද මහින්ද අගමැති වූ සැනින් කපිල චන්ද්‍රසේනව නැවත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කෙරුණි.
නමුත් ඒ අවස්ථාවේ මේ දුෂණ චෝදනා ලැබූ කපිලගේ පත්වීම කුමන්ත්‍රණයට කැළලක් ලෙස සළකමින් ඔහුව එම තනතුරින් පහකිරීමට එවකට ජනාධිපති සිරිසේන කටයුතු කළේය.
විමර්ශනයක් ඉල්ලූ ගෝඨාභයට වැදුන මඩ !
මේ අතර කපිල චන්ද්‍රසේන සිය බිරිඳ යොදවා එයාබස් සමාගමෙන් ඩොලර් මිලියන 2ක අල්ලස ලබාගැනීම සම්බන්ධ පුවත විදෙස් සහ මෙරට මාධ්‍ය වල පළවීමත් සමඟ වහාම ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරමු ලැබිණ. එසේම අදාළ විමර්ශන වාර්තාව තමන්ට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැන්වූ බවත් එම නිවේදනයේ කියවිණ.
එහෙත් ඒ සමඟ ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය කිහිපයක් අදහස් දක්වා තිබුණේ එම ඩොලර් මිලියන 2 ක අල්ලස් ගැනීමේ විමර්ශනය සමඟ මිග් යානා ගනුදෙනුව සම්බන්ධවද විමර්ශනයක් සිදුකල යුතු බවය.
එය පැහැදිළිව ජනාධිපති ගෝඨාභය විමර්ශන වාර්තාව ඉල්ලීම සම්බන්ධව දැක්වූ විරෝධයක් වන්නේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවට චෝදනා ලබා සිටින්නේද ඔහු වීමය. සාමාන්‍යයෙන් ආණ්ඩුවට හිතවත් වූ පමණින් ජනාධිපති ගෝඨාභයව විවේචනය කිරීමේ ප්‍රවණතාවයක් එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර නැත. ඒ ඔහුට ඇති බය සහ ගෝඨාභය රාජපක්ෂ පව්ලේ අයෙකු වන නිසාය. ඒ අනුව ගෝඨාභය සන්බන්ධව විවේචනයක් සිදුකල හැකිව ඇත්තේ ඔහු තරම් හෝ නැත්නම් ඊටවඩා බලවත් රාජපක්ෂ කෙනෙකුටම පමණය.
ඒ හමුවේ අප වෙත ලැබෙන ආරංචිය සඳහන් වන්නේ මෙම ඩොලර් මිලියන 2ක අල්ලස පදනම් කරගෙන රාජපක්ෂ පවුලේ ආණ්ඩුව තුළ, මහින්ද - ගෝඨාභය ලෙස බරපතල බෙදීම් ඇතිවීමේ ලකුණු පෙන්වන බවය.
නීතිපති දප්පුල සහ රාජපක්ෂ පවුල !
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත්කර ඇත්තේ නීතිපති විසින් වන අතර ඒ සම්බන්ධව ජනාධිපති ගෝඨාභයගේ හෝ අගමැති මහින්දගේ ප්‍රතිචාරය තවමත් වාර්තා වී නොමැත. නමුත් යහාපාලන ආණ්ඩු සමය තුළ නම් මෙකී එයාබස් ගනුදෙනුව සම්බන්ධව විමර්ශන සාර්ථකව සිදුවූ අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID ය විසින්ය. එම විමර්ශන කොතරම් සාර්ථකව සිදුවුණාද කියනවා නම් අද අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරී ඇති කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද ගෙන තිබිණ.
නමුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකුගේ නියෝග මත එම විමර්ශන අත්හිටුවීමට සිදුවූ බවත් ඊට හේතුව රාජපක්ෂ පවුලෙන් ඒ සම්බන්ධව කළ ඉල්ලීමක් බවත් ඒ සමයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩු බලය නොමැති අවස්ථාවේ කපිල චන්ද්‍රසේනට පිහිටවූ රාජපක්ෂ පවුල ආණ්ඩු බලය ඇති මේ සමයේ ඊට මැදිහත් නොවනු ඇතැයි විශ්වාස කල නොහැකි බවය.
එහෙත් එවැන්නක් සිදුවුවහොත් එය ගෝඨාභය පාලනය සම්බන්ධව ඇති ජනතා විශ්වාසයේ පැහැදිළි කැළලක් නිර්මාණය කිරීමක් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

