එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද (03) පාර්ලිමේන්තුවේ කමිටු 02 ශාලාවේ ආසන සංවිධායකවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාව අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව සදහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"අපි දන්නවා පහුගිය දවස්වල එක එක විදිහේ මාධ්‍ය වාර්තා පලවුණා. සමහර වාර්තා අතේ පැලවෙන බේගල්.සමහර වාර්තා සම්පූර්ණයෙන්ම ප්ලාන්ට් කරපු නිර්මාණ .
මේ කිසි දේකට මම උත්තර දෙන්න ගියේ නෑ. ඇත්තටම ඒවා කිසියම් කල්ලියක් තමන්ගෙ පරාජයේ විලි වසා ගන්න භාවිතා කරපු පහත් පෙළේ විහිළු. ඒ විහිළුවලට උත්තර බදිනවට වඩා වැඩ අපිට තිබුණා .
එක පැත්තකින් මේ රට කොරොනා අවධානමට මැදි වෙලා. එහෙම වෙලාවක දේශපාලන ගේම් වලටයි,ඒවා හරහා කරවන යටිකූට්ටු මාධ්‍ය මෙහෙයුම්වලටයි මම අවධානය යොමු කළේ නෑ.
"රෝමය ගිනිගත්තම වීනා වාදනය කරන වර්ගයෙ නීරොලා මෙහෙත් ඉන්නවා.ඒක අපිට කරන්න බෑ.
මොකද,දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා මිනිස්සුන්ගේ ජීවිත අපිට වටින නිසා.
නමුත්,මහජන ප්‍රසාදයක් නැති,මහජනයා අතරට යන්න බැරි සමහරුන්ට වෙන වැඩක් නෑ.ඒ අයට තියෙන එකම වැඩේ දේශපාලන ගේම් ගහන එක.
ඒ තමයි ඒ උදවියගේ දේශපාලන ක්‍රමය. මගේ ක්‍රමය ඒක නෙවෙයි.
තමන්ගේ හීතේශීවන්තයෝ හරහා අසත්‍ය මාධ්‍ය ප්‍රචාර යවන්න ඒ අයට වෙලාව තියෙනවා .හැබැයි මේ රටේ ජනතාවගේ හද ගැස්ම මොකක්ද කියලා හිතන්න ඒ අයට වෙලාවක් නෑ. අපි නිවැරදිම තීන්දුව නිවැරදිම වෙලාවේ හරියටම ගන්නවා.
පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ටත් වඩා ඔබතුමන්ලා ඉදිරියේ විශේෂ කාරණාවක් සිහිපත් කරන්න කැමතියි.
අපි හදන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ මහ ලේකම් ලෙස අපේ ජ්‍යේෂ්ඨ නායකයෙක් වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාව නම් කරනවා."
මද්දුමබණ්ඩාරට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවෙයිද ?
කෙසේ වුවත් මේ වන විට සමාජ මාධ්‍ය ජාල අතර හුවාදක්වමින් ඇති පුවතක් වන්නේ යෝජිත සන්ධානයේ මහ ලේකම් ධූරය සඳහා කිසිසේත් නම් නොකළ යුතු නම් 6ක් එජාප නායකත්වය විසින් සජිත් ප්‍රේමදාස පාර්ශවය වෙත යොමුකර ඇති බවය.
ඔවුන් කලහකාරී ලෙස කටයුතු කරන්නන් බැවින් මහ ලේකම් තනතුර සඳහා ඔවුන් නම් නොකරන්නැයි රනිල් වික්‍රමසිංහ නායකයා දැනුම් දී ඇති බවත් එහි සදහන් ය.
එසේ නම් නොකරන ලෙස නම් කර ඇති පුද්ගලයන් වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ සහ නලින් බණ්ඩාර යන අයය.
එළැඹෙන මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සහ යෝජිත සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වෙත සන්ධානයේ මහ ලේකම් නම් කිරීමට අවස්ථාව පවතී. නමුත් ඒ සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය අවශ්‍යය.