අත්අඩංගුවට ගන්න නියමවූ : කවුද මේ කපිල චන්ද්‍රසේන ?

අත්අඩංගුවට ගන්න නියමවූ : කවුද මේ කපිල චන්ද්‍රසේන ?

ප්‍රංශ එයාබස් ගුවන් යානා මිළ දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීම සඳහා ප්‍රංශයේ එයාබස් සමාගම වෙතින් ඩොලර්  මිලියන දෙකක අල්ලස් ලබාගැනීමේ හෙළිදරව්ව සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා මිහින් ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර තිබේ.

කපිල චන්ද්‍රසේන යනු මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සමග කෙතරම් සමීප පුද්ගලයකු ද යත්, 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය තනතුර යටතේ පිහිටුවන ලද රජය විසින් වහ වහා ඔහු නැවතත් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කරන ලදී.

අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙම පත්කිරීම කරනු ලැබුවේ ශ්‍රීලන්කන්, මිහින් ලංකා සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සිදු වූ දූෂණ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් ද පත් කර විමර්ශන කරමින් තිබියදී ය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ද විමර්ශනයක් සිදු කෙරුණු අතර කපිල චන්ද්‍රසේන විමර්ශන කටයුතුවලට සහය නොදී මඟහැර සිටියේය.

මෙම පත්කිරීමේ විහිළු සහගත ස්වභාවය හේතුවෙන් ම පසුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම අවලංගු කරන ලදී.

 මෙම ගනුදෙනුව ගැන හෙළිදරව් වූයේ අල්ලස් සම්බන්ධයෙන් එයාබස් සමාගම හා ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය අතර ඇති කරගන්නා ලද ලොව විශාලතම සමථකරණය සම්බන්ධ නඩු තීන්දුවෙනි.

කවුද මේ කපිල ?

කපිල චන්ද්‍රසේන යනු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්වන්නට පෙර ගුවන් සේවා පිළිබඳ කිසිදු අත්දැකීමක් නොතිබූ අයෙකි. ඔහුට වරප්‍රසාද රැසක් සමග අවම වශයෙන් රු. ලක්ෂ 15ක වැටුපක් ගෙවන ලද බව වාර්තා වේ.

විදුලි සංදේශ වෘත්තිකයකු ලෙස හැඳින්වෙන කපිල චන්ද්‍රසේන මොබිටෙල් ආයතනයේ ද ප්‍රධාන විධායක නිලධාරි තනතුර දැරූ අයෙකි. එසමයෙහිදී ද ඔහු වටිනාකමට ඩොලර් මිලියන 50ක් වැඩි මිළකට හච් සමාගම මිළ දී ගන්නට උත්සාහ කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ධුරය දැරූ සමයේ මෛත්‍රීපාල කපිල චන්ද්‍රසේනව යළි ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරකට පත් කරගන්නට උත්සාහ කළේ ය.

කපිල චන්ද්‍රෙස්න රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චිකාගෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු වන ඔහු මෙල්බෝන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.

එවකට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති තනතුර හෙබවූයේ මහින්ද රාජපක්ෂගේ බිරියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් අයකු බව වාර්තා වේ.

නිශාන්ත වික්‍රමසිංහ හා කපිල චන්ද්‍රසේන හරහා නාමල් රාජපක්ෂ පවා ශ්‍රීලන්කන් ගුවන් සේවය වෙතින් අයථා වරප්‍රසාද ලබාගෙන තිබේ. ඔහුගේ හිතවතියක වූ නිත්‍යා සමරනායක නම් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලය අනුබද්ධව සේවය කරමින් ශ්‍රීලන්කන් සමාගමෙන් රු. ලක්ෂ 42ක දීමනා අයථා ලෙස ලබාගත් බව හෙළිදරව් විය.

ප්‍රියංකා නියෝමාලි විජේනායක හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ සමීප ඥාතියකු බව වාර්තා වේ. ඇය ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඩොලර් මිලියන දෙකේ අල්ලස ගෙවා තිබෙන්නේ ඇගේ නමින් තිබෙන බිස් සොලියුෂන්ස් නම් ගිනුමකට වන අතර ඇය එය සිය සැමියාගේ ගිනුමට මාරු කර තිබේ.

මෙම මුදල් භාවිතා කළේ කුමක් සඳහා ද, ඒවා කා සමග බෙදා ගත්තා ද යන්න ඔවුන් හෙළිදරව් කළ යුතු ය. නැතිනම්, විමර්ශන මගින් සොයා ගත යුතු ය.

 එදා සිටිය ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය කවුද ?

 මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සිදුවනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පහත සඳහන් පුද්ගලයින් කටයුතු කර තිබේ.

1- නිශාන්ත වික්‍රමසිංහ - සභාපති
2- කපිල චන්ද්‍රසේන - අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හා ප්‍රධාන විධායක නිලධාරී
3- ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න
4- ශමින්ද්‍ර රාජපක්ෂ
5- මනිලාල් ප්‍රනාන්දු
6- ලක්ෂ්මි සංගක්කාර
7- සනත් උක්වත්ත
8- සුසන්ත රත්නායක

(ප්‍රජා වෙබ් අඩවියෙනි )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න