රක්ෂිත බන්ධනාගාරගතව සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර අද (05) ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියම කළේය.
තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු කලින් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා මාස 3කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
සිරිසේනගේ බලකිරීම !
පාස්කු ප්‍රහාරය සම්බන්ධව එවකට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් හිටපු පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රහාරයේ වගකීම තමන්ට ගෙන ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන බලපෑම් කළ බවය. එවැන්නකට එකඟ වෙනවා නම් දියහැකි බව දැන්වූ තනතුරු ගැනත් පොලිස්පතිවරයා එහිදී අනාවරණය කළේය.
එසේම එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු එහිදී සාක්ෂි දෙමින් පවසා සිටියේ තමන් ඉතා අවාසනාවන්ත ආරක්ෂක අමාත්‍යංශ ලේකම් බවය. බුද්ධි තොරතුරු සම්බන්ධව තීරණ ගැනීම සහ දැනුම්දීම් කිසිවක් සඳහා බලය තමන්ට නොතිබූ බවත් ඔහු පැවසූ අතර අදාළ සාක්ෂි දෙක තුළම ව්‍යංගයෙන් ජනිතව තිබුණේ එවකට ජනාධිපති වූ සිරිසේනටද මේ සම්බන්ධව වගකීමෙන් බැහැර විය නොහැකි බවය.

