Language Switcher

V2025

සජිත්ගේ අලුත් ගමන ගැන පාඨලී කියන කතාව !

රටේ ජාතික ආර්ථිකය නැවත ගොඩනගා ශ්‍රී ලංකාව පෞඩ බලගතු ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන අතර, ඒ තුළ සුදුකරපටි අපරාධකරුවන්ට, ආර්ථික ඝාතකයින්ට, වංසක්කාර මංකොල්ලකාරයින්ට, ඉඩ නොමැති බවත්, මඩ ප්‍රහාරවලට, අත්අඩංගුවට ගැනීම්වලට, හිරගෙවල්වලට සහ යදම්වලට මෙම ගමන නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  පවසයි.

මෙම නව සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන අතර එය ඉදිරියට ගෙනයාම මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ පමණක් නොව, දේශපාලන කතුරට අසුවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෑම දේශපාලන පක්ෂවල මෙන්ම සෑම ජන කණ්ඩායමකම වගකීමකි. මෙම නව සන්ධානය ජනතාවාදී පාලනයකි. ජනතාවාදී ගමන්මඟකි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

දේශපාලකයගෙයි, දේශපාලන පක්ෂවලයි  ප්‍රධාන අරමුණ තමයි බලය ලබාගැනීම. පක්ෂයේ නම, ඉතිහාසය, ලකුණ, නායකයන්, ලස්සන හා ගරු ගාම්භීර වුව ද බලය නැත්නම් ඉන් ඵලක් නැත. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන් වටහා ගත යුතුයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානයකොට හෝ පුළුල් බලවේගයක් මගින් මේ රටේ සෑම දෙනාම ඒකරාශී කරගනිමින් ඉදිරියට යෑම සිදුකළ යුතුයි.

වත්මන් ආණ්ඩු පාලනයට දැන් මාස 03 කට ආසන්නයි. ජනමාධ්‍ය දෙක තුනක් භාවිත කරමින් සිදුකළ දැවැන්ත කූට නාටකයක ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් බලයට පත්වුණේ. මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, සහරාන්ල පිටිපස්සෙ ගෝඩ් ෆාදර්ල කොටසක් ඉන්නවා, මෙහෙයුම්කරුවො ටිකක් ඉන්නවා, ඒ මහමොළකරුවො අනාගතයේදීත් පහරදීම්වලට ලෑස්තියි කියල විශාල බියවැද්දීමක් ගෙන ගියා. දැන් මාස තුනක් වෙලා තියෙනවා. පිටිපස්සෙ හිටියයි කියන එකම මෙහෙයුම්කරුවෙක්, මහ මොළකාරයෙක්, කුමන්ත්‍රණකරුවෙක් අත්අඩංගුවට අරගෙන නෑ. ඒ නිසා දැන් අපිට හිතෙනව මේකත් ජනාධිතිවරණය ජයග්‍රහණය කිරීමට සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයක් ද කියල. 

මහ බැංකුවේ ඇතිවෙච්ච වංචාව පිළිබඳ වෝහාරික වාර්තාව එළිදැක්වුවම නොයෙක් තර්ක විතර්ක කරනවා. මේක කරපු ආයතන වංචනිකයිලු, ඒවයේ චරිත සහතික හොද නැහැලු. මේවා ගැන මේ චරිත සහතික දෙන්නෙ අන්ත දූෂිතයො ටිකක්. ඔවුන් පවසන්නෙ, පාඩුවක් මිසක් වංචාවක් වෙලා නෑ කියල. වංචාවෙයි පාඩුවෙයි වෙනස මොකක්ද? කිසිවෙක් චේතාන්විතව රජයේ අරමුදල්වලට පාඩුවක් වෙලා තමන්ට ලාභයක් වෙන්න කටයුතු කරනවනම් ඒක තමයි වංචාව කියන්නෙ. ගණුදෙනුවලින් 20% ක් වංචනික ආකාරයට සිදුව ඇති බව වෝහාරික වාර්තාවේ සඳහන් වෙලා තියෙනව. මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල වූ සේවක අර්ථසාධක අරමුදල යොදවා, තමන්ට හිතවත් ගණුදෙනුකාරයො කිහිප දෙනෙක් සමඟ  මේ වංචාව චේතාන්විතව සිදුකරල තිබෙන බව අද ඔප්පු වී ඇත.

අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන්නම් අත්අඩංගුවට ගන්න කියල අපි ආණ්ඩුවට අභියෝග කරනව. එහෙම කරන්නෙ නෑ, මොකද අර්ජුන් මහේන්ද්‍රන් දන්නව රාජපක්ෂවරුන්ගේ ඩුබායි ගණුදෙනු ගැන. ශ්‍රී ලංකන් ගණුදෙනුවට එහි හිටපු ප්‍රධාන විධායකයව අත්අඩංගුවට ගත්ත වගේ,  මිග් ගණුදෙනුවට සම්බන්ධ උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න කියල අපි වත්මන් ආණ්ඩුවට අභියෝග කරනව. ශ්‍රී ලංකන් එකේ එයාර්බස් ගණුදෙනුව හෙව්ව වගේ බෙලිස්සා සමාගම හරහා මිග් ගණුදෙනුව කළ එකත් වහාම විමර්ශනය කළ යුතුයි.

ශ්‍රී ලංකන් වංචාව මම ඒ කාලෙම පෙන්නල දුන්න. අද වෙනකොට පාඩුව බිලියන 250 යි. මේ රටේ සෑම කෙනෙක්වම සෑම පුද්ගලයෙක්ම අද රුපියල් 15,000 ක ණය කාරයෙක් බවට පත්කරල තියෙනවා. කව්ද ඒ තීන්දුව ගත්තෙ. 2008 මහින්ද රාජපක්ෂගෙ මස්සිනා මේකෙ සභාපති වෙනකොට ලාභ ලබපු ශ්‍රී ලංකන් ආයතනය බිලියන 250 ක පාඩු ලබන ආයතනයක් වුණේ ඇයි? එවකට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේ එතුමාගේ පුතුන් දෙදෙනා සමඟ එකතුවෙලා ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ගුවන් යානා 14 ක් (ත්‍රීවීල්වත් ගන්නෙ නෑ ඒ විදියට) මිලදී ගන්න කටයුතු කළා.

කොහොමද ගත්තෙ, ගුවන්යානය එයාර් බස් එකට ඕඩර් කරනව, ඒක ගන්න වෙනත් සමාගමකට පවරනවා. එම සමාගම ගුවන්යානා ගන්නව, අපිට අයිති ඒ ගුවන් යානා අපි එම සමාගමෙන් කල්බදු ක්‍රමයට ගන්නවා. අපිත් ඊට පස්සෙ ඒව තව අයට කල්බදු ක්‍රමයට දෙනවා. මේ ගැන ජනාධිපති කොමිසමක් තිබුණ. මේ ගැන FCID පරීක්ෂණයක් තිබුණ. මේ ගැන පැහැදිළි ආකාරයට CID පරීක්ෂණයක් තිබුණ. කපිල චන්ද්‍රසේන ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න කියල අවුරුදු 03 ක් වෙනවා. ඒක වුණේ නැ, මොකද අර වංසක්කාර මංකොල්ලකාර රැළ ශ්‍රී ලංකන් ගුවන් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර අල්ලාගෙන හිටිය.

මේ සම්බන්ධයෙන් කබීර් හෂීම් මහත්තය කැබිනට් පත්‍රිකාවක් දැම්ම. එතුමට ලොකු බලපෑමක් ආව ඒක ආපහු ගන්න කියල. මොකද එහි සැබෑ තත්ත්වය පැහැදිළිව සටහන්වෙලා තිබුණ. අද මේකට අවශ්‍ය වෙනව තාක්ෂණික විගණනයක්. මේ ගුවන්යානාවල බඳ විතරයි එයාර්බස් එකේ හැදුවෙ.  එන්ජින් ගත්තෙ රෝල්ස් රොයිස් එකෙන්. සීට් හයිකලේ වෙන තැනකින්. කුස්සිය හැදුවෙ තව තැනක. මේ සියලු සැපයුම් සපයන්න කවුද ගියේ? කොහෙන්ද ගත්තෙ? කීයද වටිනාකම කියන එක හොයන්න ඕන. අන්න ඒ තාක්ෂණික විගණනය කළ දවසට තේරෙයි කොච්චර ධනයක් කපිල චන්ද්‍රසේනගෙන් ඔබ්බට හොරකම් කරල තියෙනවද කියල මේ රටේ මේ ඇත්තො ටික එකතුවෙලා.

අවුරුදු 03 කට අපට ණය ගෙවන්න විදියක් නෑ, ඒ නිසා ඉන්දියාවේ ණය ගෙවීමේ කටයුතු (ඉන්දියාවෙන් ගත්ත ණය) අවුරුදු තුනකට අත්හිටවල, මුල් පියවර තබන ලෙසත්, එවිට අනෙක් රටවල් ද එලෙස සහනයක් සලසනු ඇති බව මුදල් ආමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව හින්දු පුවත්පතේ මීරා මැතිණිය විසින් වාර්තා කරල තියෙනව,

මේක ඉතාම භයානක ප්‍රකාශයක්. ලංකාව මූල්‍යමය වශයෙන් බංකොලොත්. අපිට ණය ගෙවාගන්න බෑ. කියන එක තමයි රටේ මුදල් ඇමති නවදිල්ලියට ගිහින් කියල තියෙන්නෙ. ඒකෙන් මොකද වෙන්නෙ? හෙට ඉඳන් අපිට ණය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

මෙම මූල්‍ය අර්බුදයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාම තමයි. මං මේක දහස්වාරයක් කියල තියෙනවා. එතුමා බලයට එනකොට 5% යි මේ රටේ වානිජ ණය තිබුණෙ. එතුමා තමයි අධික මිළ ගණන්වලට ණය අරගෙන මේ රට ණය ගෙවන්න බැරි තැනකට පරිවර්තනය කළේ. එම ණය අරගෙන ආයෝජනය කළේ ආදායම් නොලැබෙන ව්‍යාපෘතිවල. ඒ නිසා මේ සියල්ලේ ණය ගෙවන්න වෙලා තියෙන්නෙ අද රටටයි.

අද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරල කියනව, පහුගිය ආණ්ඩුව බිල් පොලු තියල, අපිට ඒව ගෙවන්න සල්ලි දෙන්න කියල. මහින්ද මහත්තය 2014 දිත් ඔය සෙල්ලම කළා. කොන්ත්‍රාත්කාරයින්ට බිලියන 250 ක් දුන්නා සංවර්ධන වැඩ සඳහා. දීල කොන්ත්‍රාත්කාරයින්ට කීව 15%  කොමිස් එක අරගෙන එන්න කියල.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු හැටියෙම කිව්ව මම බදු සහනයක් දෙනව දෙසැම්බර් 01 වෙනිද ඉඳන් කියල. බදු සහනයක් දුන්න. මොකක්ද වුණේ? කිසිම මිනිහෙක් බදු ගෙව්වෙ නෑ. අපේ ආණ්ඩුවේ තිබුණු ක්‍රියාදාමය නිසා අපගේ ආණ්ඩුවේ ආදායම බිලියන 2400 ක්. මාසෙකට බිලියන 200 ගානේ එන්න ඕන. දෙසැම්බර් මාසෙ තඹ සතයක්වත් එකතු වුණේ නෑ මේ ප්‍රතිපත්තිය නිසා. අන්න ඒ නිසා තමයි මූල්‍ය හිඟය ඇති වුණේ. දැන් මේ මාසෙ මොකද වෙලා තියෙන්නෙ? තාම මේක පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නෑ. ලොකු කොම්පැණි කාරයො ඔක්කොම මොකද කරන්න, ලියුම් යවනව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව වැට් බදු තියෙනවද නැද්ද කියල. වැට් බදු නීත්‍යානුකූලව නෑ. කවුරුවත් බදු ගෙවන්න අවශ්‍යතාවයක් නෑ. මේ මෝඩ ආර්ථික තීන්දුවේ ප්‍රතිඵලය නිසා තමයි අද විශ්‍රාම වැටුපට, අතිකාල දීමනාවට, වෘත්තීයවේදීන්ට ලබාදුන් 15,000 දීමනාවට, වැඩකරන ජනතාවගේ දීමනා සියල්ලට අත තියල තියෙන්නෙ.

අද මේ රට ඉදිරියට ගෙනියන්න හොඳ මූල්‍ය කළමණාකරනයක් අවශ්‍යයි. එහෙම ක්‍රියාකරන්න හොඳ ආර්ථික දැක්මක් තියෙන පිරිසක් අද මේ රටට අවශ්‍යයි. මේ රටේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කරන්න පුලුවන් වෘත්තීය මට්ටමේ මූල්‍ය පාලනයක් ගේන්න පුළුවන් ශක්තිමත් පාලනයක් ඊළඟ මහා මැතිවරණයෙන් අප ගොඩනගාගත යුතුයි. අන්න ඒ සඳහා වුණ පුලුල් සන්ධානයට ඔබගේ ශක්තියත් ජවයත් ලබාදෙන්න. ඒ සඳහා අප සියලු දෙනාම එකට එකතුවෙලා අපෙන් වුණ වැරදි අකටයුතුකම්, අපේ පාලනය තුළ ඉටුනොවුණ යුතුකම් ජනතාවට අපි නැවත ඇති නොවෙන්නට පුළුල් ජනතා බලයක් ගොඩනගමු. පුළුල් සන්ධානයක් ගොඩනගාගමු. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ ශක්තිය ජවය බලය ලබාදෙන්න අපි හැමදෙනාම කැපවෙමු.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ, ඊයේ(09) ‘අලුත් පැතුමක් - අලුත් ගමනක්’ නමින් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ පැවති මහරගම විශේෂ ජනහමුවට සහභාගී වෙමිනි.