තවත් මාධ්‍යවේදිනියක CID කැඳවයි : මෙවර සන්ඩේ ඔබ්සවර් හී අනුරංගි සිං !

තවත් මාධ්‍යවේදිනියක CID කැඳවයි : මෙවර සන්ඩේ ඔබ්සවර් හී අනුරංගි සිං !

ආණ්ඩුවට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරිය වන (Associate News Editor)  අනුරංගි ප්‍රියංවදා සිං  (Anurangi Singh -Attorney at Law) නමැත්තිය පෙරේදා(10) රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.

පැහැර ගැනීමට ලක්වූ බව කියන  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට  එරෙහි නඩු විභාගය ඊයේ (11) දිනයේ යළිත් වරක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලිසිය ඒ බව සඳහන් කර ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අයත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් රස පරික්ෂකවරයාගේ විශ්ලේෂණ වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එහිදී  රහස් පොලිසියට නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව ඉකුත් 22 වන දින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ප්‍රකාශ ද ලබා ගත් බවත් දුරකථන කුලුනු වාර්තා හා සම්බන්ධ විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වන බවත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම එහිදී  අධිකරණයට දැනුම් දුන්නාය.

තවද දුරකථන විශ්ලේෂණ වාර්තා විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූ කරුණු අනූව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙසට කටයුතු කරන අනුරංගි සිංගේ ප්‍රකාශයක් ඊයේ  සටහන් කර ගත් බව ද ගිරිහාගම මෙනවිය පවසා සිටියාය.

මෙහිදි රහස් පොලිසිය විසින් ගාර්නියා බැනිස්ටර්ගේ දුරකථනය සම්බන්ධ සංදේශය අධිකරණයට ගොනු කළ අතර රස පරීක්ෂක වාර්තා සම්බන්ධයෙන් නීතිපති හරහා ක්‍රියා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසිය වෙත දැනුම් දුන්නාය.

එහිදී තම සේවාදායකයාගේ ජංගම දුරකථනයට අදාළ දුරකථන වාර්තා සංරක්ෂණය කරන ලෙසට ඩයලොග් සමාගමට නියෝගයක්  නිකුත් කරන්නැයි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම හේතු සහිතව ඉදිරි දින ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්ති පාර්ශ්වයේ නීතිඥවරයාට උපදෙස් ලබා දුන්නාය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු කර මාර්තු මස 31 දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන් අතර වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය මාර්තු මස 31 දා ට කල් තබන ලදී.

තමා සුදු පැහැති වාහනයකින් පැහැර ගැනීමට ලක්වූ බවට පවසමින් රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මේ වන විට ඇප මත මුදාහැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න