Language Switcher

V2025

විමල් ගෝලයන් පොලීසි යවා : රිෂාඩ්ගේ අභියෝගයෙන් පැන දුවයි !

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක මෙන්ම හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්  අද (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැර වී ඇතයි කියන සිද්දිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්ය.

ගෙවී ගිය කාලය තුළ රිෂාඩ් බදියුදීන්  මන්ත්‍රීවරයාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ වෛරී ප්‍රකාශ නිකුත්කර සිටියේ රිෂාඩ් මන්ත්‍රීවරයා ජාතික ආරක්ෂාව අනතුරේ දමන්නකු ලෙස පවසමින්ය. ඒ අනුව අද සිදුකල පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේද රිෂාඩ් මන්ත්‍රීවරයාට ජාතික ආරක්ෂාව සම්බන්ධව විවිධ බරපතල චෝදනා එල්ලවී ඇති බවත් එම නිසා මේ තරම්  විශාල මුදලක් ඇමරිකානු බැංකු ගිණුමට බැරවීම බරපතල සැක සහිත බව දක්වමින්ය.

රිෂාඩ් කල අභියෝගය !

කෙසේ වුවත් අමාත්‍ය විමල් වීරවංශ පසුගියදා මෙම ඇමරිකානු බැංකු ගිණුම් චෝදනාව රිෂාඩ් මන්ත්‍රීවරයාට නැගූ අවස්ථාවේ ඊට අභියෝග කරමින්  රිෂාඩ් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ චෝදනා අසත්‍ය බවත් හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙසත්ය.

එහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.

" විමල් වීරවංශ චෝදනා කරනවා මට ඇමරිකානු ගිණුමක් තියනවා කියලා. ඊට ඩොලර් ලක්ෂයක් දාලා කියලා. අමූලික බොරු චෝදනාවක් ඒ. මට ඇමරිකානු එක්සත් ජනපදයේ ගිණුමක් නෑ. ගිණුමක් නැත්නම් මම කොහොමද සල්ලි දාන්නේ. මම අභියෝග කරනවා පුළුවන් නම් ඔය චෝදනා ඔප්පු කරලා පෙන්නන්න කියලා.

විමල් CID ද වැඩ ?

ඒ වගේම තමයි ඉඩම් ඔප්පු සියගාණක් CID එක හොයාගෙන කිව්වා. ඒවට මම සම්බන්ධයි කිව්වා. CID පරීක්ෂණයක් සිදුවෙනවා නම් ඒ හොයාගන්න දේවල් මෙතුමා දන්නේ කොහොමද ? එයා පොලිසිය භාර ඇමතිතුමාද ? නැත්නම් CID එක්ක හොර සම්බන්ධයක් තියනවද ? මම අභියෝග කරනවා, CID  බැරිනම් ඕන විමර්ශනයක් කරන්න. මට එහෙම ඔප්පුත් නෑ , මගේ කිසිම සම්බන්ධයකුත් නෑ.

ජන්ද කාලෙට එන බොරුකාරයෝ !

හැමදාම ජන්ද කාලේ එනකොට මට විරුද්ධව බොරු කියන දේශපාලනඥයන් කිහිපදෙනෙක් ඉන්නවා. මට අක්කර දහස් ගණනක් තියනවා කියනවා, දූපතක් තියනවා කියනවා, ඔය සේරටම මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ උත්තර දීලා තියෙනවා. එහෙම දේවල් තියනවා නම් රජයට පවර ගන්න කියලත් කිව්වා. මේ සේරම බොරු චෝදනා. 

සතොස ගනුදෙනු වල දුෂණ වුණා කියනවා, ප්‍රමිතියට නැති භාණ්ඩ අරගෙන කිව්වා. මම අමාත්‍යධුරය දරන කොට මගේ යටතේ ආයතන 42ක් තිබුණා. නමුත් ඒ කිසිවක චෝදනාවක් නෑ. මම වසර 15ක් තිස්සේ අමාත්‍ය ධුර දරනවා. ඒ කවදාවත් චෝදනා ලබලා නෑ. 

දේශපාලන වෛරය වෙනුවෙන් ගහන මඩ !

ඒ වගේම මට චෝදනා කළා සහරාන්ට වාහන දුන්නා කියලා. බෝම්බ ගෙනාවේ සතොස වාහන වල කියලා. GPS තාක්ෂණයෙන් හොයාගත්තා කිව්වා. දැන් ආණ්ඩුව අරගෙන මාස 2-3ක් වෙනවා. දැන් ඔප්පු  කරන්න පුළුවන්නේ සහරාන් ආවේ සතොස වාහනයේ කියලා. එහෙම ඔප්පු කරලා මාව අත්අඩංගුවට ගන්න පුලුවන්නෙ. 

මේ අය මේ බොරු චෝදනා කරන්නේ දේශපාලන වෛරය නිසා. සිංහල ජනතාව අතර මං ගැන වෛරයක් ඇති කරන්න බොරු කියනවා. ඒ නිසා මම අභියෝග කරනවා, ඔය චෝදනා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා.

ජාතික සමඟිය වනසන - දේශප්‍රේමී දුෂිතයන් !

රිෂාඩ් මන්ත්‍රීවරයාගේ මේ අභියෝගය නිසා හෝ පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර ඇඟ බේරගන්න විමල් ඇමති හැංගී ගෝලයන්ව පොලිස් මුලස්ථානයට යවා ඇත. දැන් විමල් ආණ්ඩුවේ ඇමතිවරයෙක්ය. ජාතික ආරක්ෂාව ගැන සහ ඔතරම් මාර සොයාගැනීමක් සිදුකර ඇත්නම් වහාම කල යුතුව ඇත්තේ පොලිස් මුලස්ථානයේ පොතේ ලියා ගෙදර යාම නොව ජනාධිපති සහ අගමැති දැනුවත් කර කඩිනමින් පියවර ගන්නා ලෙස දැන්වීමය. පාඨලී මන්ත්‍රීවරයා, රන්ජන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්ත තදියමින් ආරක්ෂක අංශ සක්‍රීය කිරීමය. නමුත් එවැන්නක් මෙතන නැත.

ඉතිහාසය සැලකුවත් විමල් ඇමති වැනි ඊනියා දේශප්‍රේමීන් මීට පෙර සිදුකල කිසිඳු චෝදනාවක් ඔප්පුවී නැත. ඒවා වඩාත් සමීප අසත්‍යටය. එහෙත් ඒ අසත්‍යට හොඳ වෙළඳපොළක් ඇත. ඒ මේ වන විට ඉස්මුරුත්තාවට යමින් ඇති ජාතිවාදයයි. සිංහල බෞද්ධ ජනතාව මේ මුළාවෙන් ගැළවෙන තුරු වීරවංශ වැන්නන් එකකට පසු තවත් එකක් ලෙස ජාතික වෛරය වපුරන චෝදනා සිදුකරන අතර ඔවුන්ගේ දුෂණ යටයයි. 

අදටත් තම ආදායම් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට විමල් ඇමතිට නොහැකිව ඇත. ඒ ගැන කිසිත් නොවිමසන මංමුලාවූ ප්‍රජාව දකින්නේ අනෙක් ජාතිකත්වයේ, අනෙක් ආගමේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත නායකයන්ට කරන අභූත චෝදනාය. මංමුලාවූ පිරිස හිතන්නේ ඔවුන්ට හෙටක් නැත්තේ මේ අන්‍ය ආගමිකයා, ජාතිකයා නිසා බවය. විමල් වැනි දේශපාලනඥයන් තම ජීවිතය ගොඩදා ගන්නේ ඔය මංමුලාවේ ඉන්න කැමති බහුතරයට එකකට පසුව තවත් එකක් බැගින් බේගල් එවමින්ය. 

අවසානයේ මේ බේගල් සේවය කරන්නේ මේ රටේම පුරවැසියන් කොටසක් ජාතික සහ ආගමික පදනමින් බෙදා වෙන්කිරීමටය. ජාතික සමඟිය නැතිවී ආගමික සහ ජාතිකත්ව පදනමින් මිනීමරා ගන්නා සමාජයක් හැදීමටය. බේගල් දේශපාලනය මීට වඩා දෙයක් ලෝකයේ කිසිම රටකට හෝ සමාජයකට උරුමකර නැත.