Language Switcher

V2025

සම නායකත්වය ඉල්ලුවේ නෑ කියා : ශ්‍රීලනිපය වැඳ වැටෙයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම නායකත්වය පිළිබඳ කිසිදු ඉල්ලීමක් කර නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපේ පැත්තෙන් කිසිම කෙනෙක් සම නායකත්වයක් පිළිබඳ ඉල්ලීමක් කරලා නෑ. ඒවා ගිවිසුම්වල තියෙන කාරණා. ඒවා අපට ප්‍රශ්න නෙවෙයි. අපි තනතුරුවලට රණ්ඩු වෙන්නේ නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම ආකාරයක බෙදීමකට යන්න හෝ ගැටුමකට යන්න සූදානම් වෙන්නේ නෑ. මොකද ඒකෙන් රටටත්, අපි හදාගන්න ඉන්න ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් හොඳක් වෙන්නෙ නෑ. එක්සත් ජාතික පක්ෂයේ බෙදීම නිසා එතන ගුටි හුවමාරුවක් විතරයි නැත්තේ. අපට එහෙම අවශ්‍ය වෙන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩ කළා. ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරු වැඩ කළා. ජනතාව වැඩ කළා. ඒ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂත් අගය කිරීම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි මැතිවරණයක් එනකොට ප්‍රශ්න එයි. මනාපවලටනේ මේ ගොඩක් දේවල්. මනාප සටන් එයි. ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී මඩ, වෛරී ප්‍රකාශ, වෛරී දේශපාලනය මතුවෙන බවට සලකුණු මතු වෙනවා. ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාවත් බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි මේ කුලල් කා ගැනීම්.

අපි විනයකින් කටයුතු කරනවා. පොදුජන පෙරමුණේ නායකත්වයත් විනයකින් කතා කරන බව පේනවා. යටින් යටින් කට්ටිය විරුද්ධ දේවල් කියනවා. අපෙත් සමහර අය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් වෙනම තරග කරන්න ඕන කියලා. සමහරු පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන්න ඕන කියලා කිව්වේ. අපි සමස්ථයක්  විදියට ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම දේවල්වලට සම්බන්ධ වෙන්නේ නෑ.

මෛත්‍රීට මොකද වෙන්නේ ?

කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැඩි ශ්‍රීලනිප විරෝධයක් පවතියි. එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියා සිටින්නේ හිටපු ජනාධිපතිට නාම යෝජනා දීමටවත් තමන් එකඟ නැති බවය. 

ඔහු පසුගියදා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරගකර ආසන 4ක් ගන්නා බවත් පොදුජන පෙරමුණ ආසන 150ක් ගන්නා බවය. තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුවේ අවශ්‍ය නම් ශ්‍රීලනිප 4 ඒ අවස්ථාවේ ගෙන 154 ක ආසන ප්‍රමාණය සකසා ගත හැකි බවත් ඔහු පැවසීය.

එසේම ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද දැඩිව අවධාරණය කර සිටින්නේ චන්ද්‍රිකා - මෛත්‍රී කිසිවෙක් එළඹෙන මහ මැතිවරණයට පොදුජන පෙරමුණ වෙතින් ඉදිරිපත් නොකළ යුතු බවය. 

එසේම පොදුජන පෙරමුණ තුළ සිටින දැඩි මහින්ද - බැසිල් අනුගාමිකයන් මේ ස්ථාවරයේ සිටිනු දක්නට හැකිය.