Language Switcher

V2025

මේ ආණ්ඩුවේ  බදු සහන දීමත් පට්ට ප්‍රෝඩාවක් !

වත්මන් ආණ්ඩුව බදු සහන රැසක් ලබා දුන්නද එය ජනතාව රවටන ඇස්බැන්දුමක් පමණක් බවට පත්වී ඇතැයි 'රාවය' ජාතික පුවත්පත වාර්තා කරයි.

එයට හේතුව වන්නේ පොරොන්දු ප්‍රකාරව එම බදු සහන ගැසට් කර තිබුණද එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නැති නිසා බදු සහන පුස්සක් බවට පත්ව තිබීම බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම කාරණය පැහැදිලි කරමින් එම පුවත් වාර්තාවේ මෙසේද දැක්වේ.

''උක්ත බදු සහන ගැසට් පත්‍රය මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිය බලතල ප්‍රකාරව 2019 නොවැම්බර් 29 දින අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධ කර ඇති අතර එකී නියමය 2019 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන බවද ගැසට් පත්‍රයේ සඳහන්ය.

මුදල් අමාත්‍යවරයා එසේ ලබාදී ඇති බදු සහන අතරින් වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම හා ජාතිය ගොඩනැගීමේ බද්ද අඩු කිරීම විශේෂිත වේ.

මෙයට අමතරව 2020.01.21 දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයකට අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කෙටුම්පත යටතේ තවත් විශේෂ බදු සහන රැසක් ලබාදීමට යෝජනා කර තිබුණි.

රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට !

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් රජයේ වැය කිරීමට අවශ්‍ය මුදල් අනුමත කිරීම හා අය බදු අයකර ගැනීම පාර්ලිමේන්තුව සතු වගකීමක් වේ.

එසේ වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බදු වැඩසටහනට අවශ්‍ය අනුමැතිය මේ වනතුරුත් පාර්ලිමේන්තුව වෙතින් ලබාගෙන නැති නිසා බදු සහන පැකේජයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝ පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ වැට් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන් වූ සංශෝධිත බදු පනත පාර්ලිමේන්තුව තුළ මෙතෙක් සම්මත වී නැති බවය. ඒ අනුව වැට් බදු සංශෝධනයේ නීත්‍යනුකූලභාවයක් නොපවතින බවය. 

බදු ක්ෂේත්‍රයේ විශේෂඥයකු පැවසුවේ රුපියල් මිලියන 300ට අඩු වැට් බදු සහනයක් ලබාදීම ගැසට් පත්‍රයක් මගින් පමණක් වෙනස් කළ නොහැකි බවත්, එයට නීත්‍යනුකූලභාවයක් ලැබෙන්නේ ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම තුළින් පමණක් යන්නය.

එසේම ඔහු පැවසුවේ වැට් බදු ගෙවන්නන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමක් සිදුකර නැවත ඔවුන්ගෙන් වැට් බදු අයකර ගැනීම හා නැවත ඔවුන් ලියාපදිංචි කිරීමට රජය උත්සාහ කළද එයද නීතියට පටහැනි බවය. එසේම ඔහු අවධාරණය කළේ වැට් බදු සංශෝධන පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවය.

බදු සහන වචනයට පමණයි !

මෙම තත්ත්වයන් තුළ රජය විසින් මහ ඉහළින් ප්‍රකාශයට පත් කළ බදු සහන වචනයට පමණක් සීමා වූ බව ප්‍රදර්ශනය වන හෙයින් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් විමසූ විට මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශිකා තනුජා පෙරේරා පැවසුවේ බදු අඩු කිරීම සම්බන්ධ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් නව සංශෝධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ලියකියවිලි මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට යවා ඇති බවය. 

(රාවය )