Language Switcher

V2025

සයින්දමර්දු ගැසට් එක හැකිළීම ජාතික සමඟිය පරදුතැබූ දේශපාලන සූදුවක් !

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීන්දුකර කර තිබේ.

ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය එම තීරණය ගනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද (20) සදහන් කලේය. 

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද පවසා සිටියේ රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව මෙම තීන්දුව ගනු ලැබූ බවත්ය.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය ගත් තීරණය එරෙහිව පසුගිය දිනවල 'ජාතික සංවිධාන' කිහිපයක් ම විසින් විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කර තිබුණි. විමල් විරවංශ ඇමතිවරයාගේ ජාතික නිදහස් පෙරමුණ එහි පෙරමුණ ගෙන තිබිණ.

ඒ අතර වෛද්‍ය ගුණදාස අමරසේකර සහ  වසන්ත බණ්ඩාර යන විමල් පාර්ශවයේ දිගින් දිගටම මීට විරෝධය දක්වනු දක්නට ලැබිණ.

සයින්දමර්දු සහ MCC ගිවිසුම එකට බැඳිලා තියෙන්නේ - ගුණදාස සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත් කිරීම, හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා තහනම් කිරීම සහ ඇමරිකානු MCC ගිවිසුම එකට බැඳී ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

සයින්දමරුදු ප්‍රදේශය නගර සභාවක් බවට පත් කිරීම අන්තවාදී බෙදුම්වාදී ක්‍රියාවලියක් සමග එකට බැදී ඇතැයිද එනිසා මෙම ක‍්‍රියාවලීන් එකිනෙකට සම්බන්ධවත් බවත් ඔහු පැවසීය.MCC, සෝෆා, අක්සා ගිවිසුම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව දැඩි අධිෂ්ඨානයකින් සිටින බවද පැවසූ ඔහු යම් හෙයකින් එම ගිවිසුම් මෙරට ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට ඇමරිකානු කොලනියක් වනු ඇති බවද සඳහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ද රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් විසින් කල්මුණේ නගර සභාවෙන් වෙනම කලාපයක් ඉල්ලා සිටිය ද එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ  එයට අවසර ලබාදුන්නේ නැති බවද අමරසේකර  සිහිපත් කලේය.

ඒ අනුව මෙම ප්‍රදේශය නගර සභාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ වන බවද වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේය.සයින්දමර්දු නගර සභාව වැරදි වැඩක් - රතන මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතුරලියේ රතන හිමිද සඳහන් කර සිටියේ සයින්දමරුදු ප්‍රදේශයෙන් නව නගර සභාවක් ඇති කිරීම බැලූ බැල්මට ම වැරදි බවය.

මෙම නව නගර සභාව හේතුවෙන් සිංහල ජන සමාජය තුළ කලකිරීමක් ඇති වී ඇතැයිද රතන හිමි පවසා තිබු අතර එමෙන්ම දෙමළ ජන සමාජය තුළ ද විශාල අසහනයක් ඇතිව තිබෙන්නනේ යයිද පවසා තිබිණ. 

මෙවන් ක්‍රියාමාර්ගයක් කිරීමට පෙර ඒ සඳහා කොමිසමක් පත් කර නිර්දේහ ලබා ගැනීම වුවද එවැන්නක් සිදු නොවූ බවත රතන හිමි සහරාන් ආදී ත්‍රස්තවාදීන් බිහිවූ සයින්දමර්දු ප්‍රදේශය මෙසේ වෙන් කිරීම මගින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමක් යයිද පවසා තිබිණ.

මහින්ද - බැසිල් මේ ගැන කිව්වේ ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙසයි !

ගුණදාස අමරසේකර සහ අතුරලියේ රතන හිමි වැනි අන්තවාදීන් එල්ලෙන්න වැලේ වැල් නැතිව "මහින්ද ඒ කාලේ  දුන්නේ නෑ , බෙදුම්වාදයට ඉඩදීමක් " වැනි ප්‍රකාශ නිකුත් කළත් පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධ වේදිකාවේ පොරොන්දු වුණේ සයින්දමර්දු සඳහා නගර සභාවක් ලබාදෙන බවය.

එය ගෝඨාභය පාලනය යටතේ ඉටුකරන පළමු මැතිවරණ පොරොන්දුව බවත් ඔවුන් පැවසීය.පසුගිය පෙබරවාරි 14 වනදා විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කළේ ඒ අනුවය. 

ජාතිවාදී ලණුවක් !

රාජපක්ෂ පාලනයක ඇති විශේෂත්වය වන්නේ එහි රාජපක්ෂ මතවාදය හැර වෙනත් කිසිඳු මතයක් දැරීමට ඒ කඳවුර තුළ අවස්ථාව නොතිබීමය. ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනක මේ ගැසට් පත්‍රය ඔහුගේ හිතු මනාපෙට නිකුත් කරනු ලැබුවක් නොවන බව පැහැදිලිය.

සයින්දමර්දු ජනතාවට මේ නගර සභාව සහනයක් මෙන්ම කාලයක පටන් ඔවුන්ගේ තිබු ඉල්ලීමක් ඉටුවීමේ ජයග්‍රහණයක් වුවත් ඊනියා සිංහල බෞද්ධ අන්තවාදීන් එය සැළකුවේ තමන්ගේ ජීවිකාවට වැදුන මරු පහරක් ලෙසය.

එසේම ඔවුන්ගේ ඊනියා දේශප්‍රේමය මේ හමුවේ අතාර්කිකව ගියේය.

ඉතින් දැන් මේ තීන්දුව ගෙන ඇත්තේ අන් කිසිවක් නිසා නොව තමන් කියන දේ මේ ආණ්ඩුව අහන බව පෙන්වා මේ ඊනියා දේශප්‍රේමීනගේ ලනු කන ජනතාවට එන මැතිවරණය වෙනුවෙන් හපමින් සිටීමටය. ඊට වඩා දෙයක් මෙතන නැත.

මුස්ලීම් ජනතාව අපේක්ෂා භංග කිරීම ! 

නමුත් මෙතැන තවත් ප්‍රශ්නයක් ඇත. ඒ කාලයක් පුරා සයින්දමරදු ජනතාව ඉල්ලා සිටි ඉල්ලීමක් ලැබී එය නැවත අහිමිකර දැමීම තුළ පත්වන අපේක්ෂාභංගත්වය යයි. එයින් ඔවුන්ට සන්නිවේදනය වන්නේ සිංහල ජන සමාජය නැතිනම් දකුණේ සිංහල ආණ්ඩුව තම ප්‍රාදේශීය දේශපාලන අවශ්‍යතා පවා ඉටුකිරීමට බාධා කරන බවය.