Language Switcher

V2025

සුරේන් රත්වත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක දඩයමක

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිනෙන් දින වලපල්ලට ගියත් මිලියන 04ක් වැටුප් ලබන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්ත තවමත් ශ්‍රීලංකන් සමාගමේ කටයුතු අත්තනෝමතිකව සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

ප්‍රධාන විධායක සේවක දඩයමක

ඒ පිළිබඳ සඳහන් කරමින් සේවකයින් පෙන්වා දෙන්නේ තම සමාගමේ සිටින දක්ෂ සහ අවංක නිලධාරීන් රැසකගෙන් පළිගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා කටයුතු කරමින් සිටින බවය.

මේ ආකාරයෙන් පළාත් පාලන ආයතන මැතිවරණය අතරතුර සේවකයින්ගෙන් පළිගන්නට කටයුතු කළ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නියෝගයෙන් එය වැළකී ගිය බවත් නමුත් ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රධාන ගෝලයකුවන "සියවසේ අසාර්ථක ඉංජිනේරු අංශ ප්‍රධානියා" ලෙස සේවකයින් අතර පුද්ගලයා යොදාගෙන මැතිවරණයට පසුදා සිටම සේවක දඩයම ආරම්භ කර ඇති බවද ඔවුන් සඳහන් කරයි.

දක්ෂ සේවකයින් සමාගම හැරයයි

ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් කිහිපදෙනකුට වහාම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වන අතර මෙම අකටයුතුකම් හමුවේ ඊට විරෝධය පළකර ගුවාන් සමාගමේ වසර 30ක අඛණ්ඩ සේවයක් සිදුකරන ලද එහි කීර්තිමත් ප්‍රධාන ඉංජිනේරුවකු වන රෙහාන් ප්‍රනාන්දු මහතා සේවය හැරදා ගියබවද වාර්තා වෙයි.

වැඩකට නැති ගුවන් බස් නිසා බරපතල පාඩුවක්

එසේම ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය විසින් නිර්දේශ කරනු ලදුව මිලට ගත් නවීන එයාර්බස් 320neo මාදිලියේ ගුවන්යානා සියල්ල (4R-ANA, 4R-ANB, 4R-ANC, 4R-AND හා 4R-ANE) යාන්ත්‍රික දෝෂ හේතුවෙන් ගුවන්ගමන් වලට දායක නොවන බවද වාර්තා වන අතර ඉන් යානා 02ක එන්ජින් නැවත මාරු කොට ඇත්තේ එකක් ඇමරිකානු ඩොලර් 275,000ක් බැගින් බවද සේවකයින් සඳහන් කරයි.

මෙම යානාවල පවතින දෝෂ හේතුවෙන් සෑම ගුවන් පැය 650කටම වරක් ඇමරිකානු ඩොලර් 15,000 ක් වියදම් දරමින් එන්ජින් වල හෝස් මාරු කිරීමටද සිදුව ඇති බවත් ඒවා ලබාගැනීමේදී නිසි වගකීම් ලබාගෙන තිබුණද එහි ප්‍රධානියා විසින් අත්තනෝමතික ලෙස නැවත අළුතින් මුදල් ගෙවමින් නඩත්තු කටයුතු කරන්නේ මන්දැයි යන්න ගැටළු සහිත බවද සේවකයින් පෙන්වා දෙයි.

යහපාලනය මේකද ?

යහපාලන රජය පත්වූයේ මෙවැනි මුදල් නාස්තීන් නවතා මහජනයාට යහපත් සේවයක් සැලසීමට වුවත් එය මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව සිදු නොවන බව පෙන්වා දෙන සේවකයින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රීලංකන් ගුවන්සේවය වැනි රටේ මුදල් කාබාසිනියා කරමින් සිටින ආයතනයක ප්‍රධානීන් මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවය. එසේම සිදුවන වැරදි පෙන්වා දුන් විට එම සේවකයින්ට මාරුවීම් ලබාදීම හිසරදයට කොට්ට මාරු කිරීමක් බවත් එහි සේවකයෝ පවසති.

email