Language Switcher

V2025

පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක් !

පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක් බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියක් අවධාරණය කර තිබේ.

එම පුවත් විග්‍රහයේ මෙසේද සඳහන් වේ.

''තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය, මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වමින් නිදි නැතිව රැය පහන් කරමින් සිටින බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පාක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ උපක්‍රම සොයමින් සිටින අතර එහි උපක්‍රමයක් ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍ය හරහා “එජාප තනි ආණ්ඩුවක්” පිහිටුවන බවට වූ පුවතක් පැල කරමින් සිටී.

මෙය පරාජයෙන් කලකිරීමකට පත් එජාප පාක්ෂිකයා අන්දවන ස්වයං වින්දනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් මෙන්ම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම තුලිනි.

කල හැකි දෙයක් නොවේ :

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂයක හෝ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම සිදුකළ යුතුව ඇත.

එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට ඇමතිකම් ඇතුළු වරදාන වරප්‍රසාද රාශියක් පිළිගැන්විය යුතුව ඇත.

එහෙත් මෙයද ප්‍රායෝගිකව සිදුකළ නොහැකි වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය 30 ට වඩා වැඩි කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගත් පක්ෂය සහ ඊට දෙවනුව ගත් පක්ෂයයි අතර සන්ධානයක් වුවහොත් පමණි. 46 (5) වගන්තියෙන් මෙය අර්ථ ගන්වා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා තනි ආණ්ඩු සංකල්පයට පිවිසීම යනු මෙම 46(5) වගන්තියෙන් බැහැර වන බව වන අතර එහිදී ඔහුට ඉතිරිවන්නේ කැබිනට් ඇමතිවරුන් 30 ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40 ක් පමණි.

එනම් මුලු ඇමතිවරුන් ප්‍රමාණය 70 නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියෙන් දක්වා ඇත.

ශ්‍රීලනිප ඇමතිවරුන් බිළිබා ගැනීමට !

රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ කරගැනීමට ශ්‍රීලනිපයේ එකඟතාවය හිමි නොවන අතර එසේ වුනහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බිලි බා ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තාවේ.

එජාපයේ මෙම මෙහෙයුමට බිලි බා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වන මනූෂ නානයක්කාර , ඉන්දික බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපයේ ප්‍රධානියෙකු සමඟ එජාපයේ ඉහළින්ම ආරාධනා කොට ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බවද සඳහන්.

එහෙත් ශ්‍රීලනිපයෙන් හොරෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගෙන ආණ්ඩු පිහිටුවීමට ගියහොත් එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ඇති අතර, එසේ ප්‍රතික්ෂේප කිරීමේත් ඇමතිවරුන් පත්කිරීමේත් පූර්ණ බලය පවතින්නේද ජනාධිපතිවරයා අතෙහි වීම සුවිශේෂීය.

එජාපයේ ඇමතිවරුන්ට ඉවත් වී යාමට සිදුවීම:

අනෙක් කරුණ නම් මෙවැනි තත්වයක් යටතේ එසේ පත්කිරීම සඳහා එජාපයට ඇමතිධුර නොමැති අතර, තිබෙන ඇමතිධුරවලින් එජාපයේ ඇමතිවරුන්ට ඉවත් වී යාමට සිදු වීමයි.

ඊට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් තම බලවත් අප්‍රසාදය පළකොට ඇත.

එජාපයේ මෙම දැවැන්ත පරාජයත් සමඟ ආණ්ඩු බලය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව එජාපය ඊයේත්, අදත් අභ්‍යන්තර සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද අතර ඊයේ එම පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැය ගණනාවක සාකච්ඡාවක්ද සිදුකරන ලදී.