ඇමතිවරුන් 30 සමඟ UNP ආණ්ඩුවක් : සියළු අමාත්‍යවරුන් කොළඹ රැඳෙන්නැයි දැනුම්දීමක්

ඇමතිවරුන් 30 සමඟ UNP ආණ්ඩුවක් : සියළු අමාත්‍යවරුන් කොළඹ රැඳෙන්නැයි දැනුම්දීමක්

අමාත්‍යමණ්ඩලය 30 කට සීමා කර එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එම පක්ෂයේ සිරිකොත මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් පෙන්වීම වෙනුවෙන් මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 10 කට ආසන්න පිරිසක් සමඟ පක්ෂය සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ රාජපක්ෂ විරෝධීන් 10ක් එජාප ආණ්ඩුවට

මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සරල බහුතර ආණ්ඩුවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර ඇත්තේ දැඩි රාජපක්ෂ විරෝධී ප්‍රවණතාවක සිටින මැති ඇමති පිරිසක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සමඟි සන්ධානයකට එළඹුණහොත් එම පිරිස් අතරින් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට පවා අපේක්ෂාවෙන් සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඇමතිවරුන්ට කොළඹින් පිට යන්න එපා : පක්ෂ නායකත්වය දැනුම්දීලා

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියළු අමාත්‍යවරුන් කොළඹින් බැහැර නොවන ලෙසට පක්ෂ නායකත්වය දැනුම්දී ඇති බවද සිරිකොත ආරංචිමාර්ග පවසයි.

එජාප නායකයින් අදත් ජනාධිපති සමඟ සාකච්ඡාවක

තවද එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී සරල බහුතරය පෙන්වා ආණ්ඩුවක් පත්කර ගැනීමේ පක්ෂයේ අදහස නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙනු ඇති බවත් සිරිකොත ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.

ඕන කෙනෙක් සමඟ ආණ්ඩුවක් හදනවා : ඇමති මලික්

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට තවත් වසර දෙකහමාරක කාලයක් පවතින බැවින් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය දැක්වීමට කැමැත්ත පල කරන ඕනෑම පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම  මාධ්‍ය වෙත පවසා ඇති බවද වාර්තා වෙයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බවද මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් නොමැති බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න