MCC අත්සන් කරන්න සූදානම් : තොරතුරු ජනතාවට නෑ - රාවය අනාවරණය මෙන්න !

 MCC අත්සන් කරන්න සූදානම් : තොරතුරු ජනතාවට නෑ - රාවය අනාවරණය මෙන්න !

පසුගිය යුගයේ මහත් ආන්දෝලනයට ලක්වුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව 'රාවය' පුවත්පත වාර්තා කර තිබේ.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ අධ්‍යයනයක් කර නිර්දේශ ඉදිරිපත් කරන්නට ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ කමිටු ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුරුවරුන්ගෙන් අධ්‍යයන වාර්තාව පිළිබඳව 'රාවය' කළ විමසුමේදී ඒ බව තහවුරුවී ඇත.

'රාවය'ට පිළිතුරු ලබාදී ඇති ආචාර්ය ගුණරුවන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළිදරව් කල නොහැකි බවය.

මේ වනවිට එම්සීසී ගිවිසුම පිළිබඳ අධ්‍යයනයේ අතුරු වාර්තාවක් රජයට භාරදී ඇති බවත් තව සිව්මසකින් අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවත් පවසා ඇති ආචාර්යවරයා, අධ්‍යයන වාර්තාවේ අන්තර්ගත තොරතුරු, තොරතුරු පනත ප්‍රකාරව ඉල්ලා සිටියද ලබාදිය නොහැකි බව සඳහන් කර තිබේ.

එහෙත් මෙම ගිවිසුම් ගැන 2019 නොවැම්බර් 09 'දේශය' පුවත්පතේ වාර්තාවකට අනුව එවකට සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් නොදන්නා හෙයින් එය අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත්ය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් ඊමේල් ලිපියක් මගින් රාවයට දන්වා එවා ඇත්තේ එම්.සී.සී. ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිදුකරන අධ්‍යයනය අගය කරන බවය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ, එම්.සී.සී. ගිවිසුමේ අධ්‍යයන වාර්තාව නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

එම්.සී.සී. ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක මුදලක් හිමිවීමට නියමිතය. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනා ගනිමින් ඒ සඳහා ව්‍යාපෘතීන් කීපයක් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ එම්.සී.සී. ගිවිසුම කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවට ජනතාවට පොරොන්දු විය. එහෙත් අද එය ජනතාවගෙන් වසන් කොට ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව තල්ලු වී ඇත.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න