දැරිය අතුරුදහන් : අපයෝජකයා නිදැල්ලේ - අන්තර් ජාල පෙත්සමට අත්සන් කරන්න

දැරිය අතුරුදහන් : අපයෝජකයා නිදැල්ලේ - අන්තර් ජාල පෙත්සමට අත්සන් කරන්න

පුද්ගලයකු  විසින් ඉතාමත් බාල වියේ දැරියක ලිංගික අපයෝජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් දැන්  සති ගණනාවක සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබෙයි.

අපයෝජනයට ලක්වෙන දැරිය වීඩියෝ පටයේ ඉතා හොඳින් හඳුනාගත හැකි අතර, අපයෝජකයාගේ කටහඬ ද පහසුවෙන්ම හනුනාගත හැකිය. වීඩියෝ විශ්ලේෂකයන් පවසන පරිදි අපයෝජකයා හඳුනාගත හැකි ආකාරයේ ලකුණුත් වීඩියෝ පටයේ දකින්න පුළුවන්.  

එහෙත් විනිසුරුවරියක සමඟ සාකච්ඡා කරන හඬ පටයක නීති විරෝධී ලෙස ප්‍රචාරයට පත්වීමත් සමඟ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ පොලිසියට මේ දැරිය ගැන තවමත් ආරංචි වී නැති අතර  විමර්ශන පවත්වා, අධිකරණ තීන්දුවකුත් දුන් නඩුවක් ගැන චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට  ගැනීමට උපදෙස් දුන් නීතිපතිත් තවම නින්දෙන් ඇහැරී නැත.

මේ අතර අපයෝජනයට ලක් වූ දැරිය දැන් අතුරුදහන්ව ඇති බවත් වාර්තාවෙයි.

දැරියගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්වය, තර්ජනය කොට ඇය කිසියම් තැනක සඟවා සිටින්නේද, දැනට ඇය සිටින්නේ කොතනකද යන කිසිවක් සොයා බැලීමට ළමා ආරක්ෂක බලධාරීන්ට උනන්දුවක් ඇති හැඩක් නොපෙනේ.

 ජනාධිපති ගෝඨාභය ගෙන්ද ප්‍රතිචාරයක් නැහැ !

නීතිවේදීන්, ළමා ආරක්ෂක ක්‍රියාධරයන්, කලාකරුවන්, ජනතා විමුක්ති පෙරමුණ සහ සාමාන්‍ය පුරවැසියන් ඇතුළු බොහෝ දෙනා පොලිසියට, ළමා ආරක්ෂක අධිකාරියට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ළමා කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කළ පැමිණිලි ගැන තවමත් කිසිම ප්‍රතිචාරයක් නැත.
 
මේ අවනඩුව මුළු ලොවටම කියා පෑමට ඔවුන්දැන් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කොට තිබෙයි .
 

අන්තර්ජාල පෙත්සමට මෙතනින් පිවිසෙන්න. Stop child abuse in Sri Lanka

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා ප්‍රබල හඬක් නැගු නමුත් රන්ජන් ගේ හඬ පට ගැන සති ගණනාවක් තප්පු ලමින් රස විඳි ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යත් මේ ගැන නිහඬයි.

කෙසේවුවද ලාබාල දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කළ පුද්ගලයකු පිළිබඳව පොලිසියට පැමිණිලි කළද මේ දක්වා කිසිදු නිත්‍යානුකුල පියවරක් නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් කලාකරුවන් සහ ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් පසුගිය 19 දා සවස කොටුව දුම්රියපොළ ඉදිරිපස උද්ඝෝෂනයකත් යෙදී සිටියා.

සෑම වසරකම දරුවන් 10,000 ක් පමණ අපයෝජනයට !

ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම දරුවන් 10,000 ක් පමණ අපයෝජනයට ලක්වන අතර, තවත් අපචාර කොපමණ ප්‍රමාණයක් පැමිණිලි කිරීමෙන් තොරවම වැසී යනු ඇති දැයි ක්‍රියාධරයන් ප්‍රශ්න කරනවා.
 
විශේෂයෙන්ම පන්සල, පල්ලිය, කෝවිල වැනි ආගමික සිද්ධස්ථාන තුළ සිදුවන මෙවැනි අපචාරත් කොතරම් ඇද්ද? පන්සලේ ලොකු හාමුදුවන්ගේ ලිංගික අපයෝජනයට ලක්වන සාමනේර හිමිවරුන් ගැන නිරන්තරයෙන් වාර්තාවන අතර මෑතදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එසේ අතවරයට ලක්වූ සාමනේර හිමිවරුන් දෙදෙනෙකුගේ කතාව කඳුළු පිරි දෙනෙතින් හෙළි කළා ඔබට මතක ඇති.

කිසියම් සමාජයක් මනින සැබෑ නිර්ණායකය ඒ සමාජයට අධි වේගී මාර්ග කීයක් තිබෙන්නේද යන්න නොවේ. ඒක පුද්ගල ආදායමත් නොවේ. සමාජයේ කොතරම් පිරිසකට මහා මන්දිර තිබෙන්නේද, සුඛෝපභෝගී වාහන තිබෙන්නේද යන්නත් නොවේ.
 
සමාජයක සැබෑ ප්‍රගතිය මනිනු ලබන්නේ ඒ සමාජය සිය දරු පරපුරට සලකන්නේ කෙලෙසද යන්න අනුවය. ඉතින් දිනකට ළමා අපචාර 30ක් පමණ සිදුවන සමාජයක් ‘ලෝකෙන් උතුම් රට’ විය හැකිද?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න