එළැඹෙන මහ මැතිවරණයට ජවිපෙ , මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ව තරග කරන පුවත අසත්‍යක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කරන අතර අදාළ නිවේදනය "මුස්ලිම් කොන්ග්‍රසය හා සම්බන්ධ අසත්‍ය පුවත පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි" යන ශීර්ෂයෙන් යුතුය.
එම නිවේදනය පහත දැක්වෙයි.
පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක රාවුෆ් හකීම් මහතා කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් පිළිබඳ පුවතක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
එම පුවතට අනුව රාවුෆ් හකීම් මහතා කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවයි. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බවක්ද ඔහු කියා සිටී.
මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය හුදු රාවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණි. දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙසය.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2020.02.24

