මහින්දගේ නියෝග වතුරේ : රේගු ප්‍රධානියා වැඩ භාරගෙන !

මහින්දගේ නියෝග වතුරේ : රේගු ප්‍රධානියා වැඩ භාරගෙන !

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය සිය ධුරයෙ වැඩ භාරගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පැවැති චාම් උත්සවයකදී ඔහු වැඩභාරගෙන ඇති බවත් වාර්තා වෙයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ  විසින් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත  රවිප්‍රිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කළේ  පසුගිය 19 දාය.

මහින්දගේ පොරොන්දුව වතුරේ !

කෙසේ වුවත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කිරීමට රජය විසින් ගත් තීරණය අත්හිටුවන බවට මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට සහතික වී තිබිණ.  එම සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග පසුගිය 20 දා පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවකදී එම පොරොන්දුව ලබාදී තිබුණු අතර එහිදී සැළකිල්ලට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉදිරිපත් කළ විරෝධයයි.

රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර ශ්‍රී  ලංකා පරිපාලන සේවයේ ශ්‍රී ලංකා පරිපාලන සේවය විශේෂ තනතුරක් වේ. එමෙන්ම එය ශ්‍රී ලංකා පරිපාලන සේවා තනතුරු ලයිස්තුවේ අංක එකෙහි සඳහන් තනතුරද වේ. මේ සඳහා නිලධාරියකු පත් කරන විට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ  නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මුලික සුදුසුකම් මොනවද ?

ඒ සඳහා වන අවම සුදුසුකම වනුයේ පරිපාලන සේවයේ විධායක මට්ටමේ වසර 18 ක අවම සේවා කාලයක් මෙන්ම ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක්, කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධියක් සහ පරිපාලන සේවය විශේෂ තනතුරු පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණි වලදී සම්පූර්ණ කළ යුතු ධාරිතා ප්‍රවර්ධන මට්ටම් තුන (Capacity Development Levels) සම්පූර්ණයෙන් නිමකොට සමත් වී තිබීම අනිවාර්ය වේ.

නමුත් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් ඉතා අක්‍රමවත් ලෙස මෙම තනතුර සදහා විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය පත්කොට තිබිණ.

ඔහු මූලික උපාධිය පවා නොමැති නිළධාරියෙකු බවට වෘත්තීය සමිති චෝදනා කරති. ආරක්ෂක අංශ විසින් සම්පූර්ණ කළ යුතු පාඨමාලාවක් පමණක් හදාරා ඇති සාමාන්‍ය පෙළ පමණක් සමත් කොට ඇති නිලධාරියකුට රේගු දෙපාර්තමේන්තුව වැනි රටෙහි ප්‍රධාන ප්‍රධාන ආදායම් උපදවන ආර්ථික මර්මස්ථානයක් වූ ස්ථානයක පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා යෙදවීම බරපතල කාරණයක් බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අගමැතිවරයාට පෙන්වා දී ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී විශ්‍රාමික රියර් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කිරීමට ගත් උත්සාහයේදී රේගුවේ වෘත්තීය සමිති හා ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධයක් දක්වමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලැබිය.  නමුත් අද ?

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න