Language Switcher

V2025

විදුලි කප්පාදුවේ ටෙන්ඩර් මගඩියක් : හිටපු සභාපතිගේ අනාවරණයක් !

පසුගිය පෙබරවාරි  09 දින පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා විදුලි කප්පාදුවක්  දිවයින පුරා කඩින් කඩ ප්‍රදේශ ගණනාවකම ඇති විය. එය හදිසි පද්ධති බිද වැටීමක් නිසා සිදු වු අකරතැබ්බයක්  නොවේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද මෙම විදුලි කප්පාදුව මින් පෙර දැණුම් දීමකින් තොරව සිදු කළ එකකි. එවැනි විදුලි කප්පාදුවක්  හෝ පද්ධතියේ නඩත්තු කටයුත්තක් සදහා හෝ විදුලිය කප්පාදු කෙරේ නම්, එය කල් ඇතිව මහජනයා වෙත දැණුවත් කර සිදු විය යුත්තකි. පවත්නා රෙගුලාසි  අනුව, විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම තම ප්‍රදේශයන්ට බලපවත්නා විදුලි විසින්ධි කිරීමක් සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් නිශ්චිත අවසරයක්  ගත යුතුව තිබේ. එසේ ගන්නා අවසරය මත විදුලි විසන්ධි වන ප්‍රදේශ හා කාලවකවානු සවිස්තරාත්මකව තම පාරිහෝගිකයා වෙත ප්‍රසිද්ධියේ දැණුම් දිය යුතුය. මේ කිසිදු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර කරන ලද ඉහත විදුලි කප්පාදුව නෛතික නොවන හිතුවක්කාර ක්‍රියාවකි. 

මෙම හිතුවක්කාර ක්‍රියාව ගැන විස්මය පලකළ විෂයභාර අමාත්‍යවරයා මෙම කප්පාදුව පිළිබද විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට සය පුද්ගල කමිටුවක් පසු දිනම පත් කළේය. එපමණක් නොව, ඔහු විසින් හෙළිදරව් කළ පරිදි, එදින මෙගාවොට් 2600ක ස්ථාවර විදුලි සැපයුමක් පද්ධතිය තුළ තිබු අතර දිනයේ ඉල්ලුම මෙගාවොට් 2220 ට නොවැඩි විය. අතිරික්ක මෙගාවොට් 380ක විදුලි ධාරිතාවක් තිබිය දී මෙවැනි හිතුවක්කාර කප්පාදුවක් සිදුකිරීම, හුදු හිතුවක්කාර කමට එහා ගිය කුමන්ත්‍රණයකි. මෙම කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂම ද ලංකා විදුලිබල මණ්ඩලය ද විමර්ශණයක් සිදුකරන බවට ප්‍රකාශ නිකුත් වුව ද එවැනි කිසිදු වාර්තාවක් කප්පාදු කළ වේගයට සමාන ලෙසින් පෙබරවාරි 15 වෙනි දින දක්වා එළි නොදැක්විණි. 

මෙම සිදුවීමට අමතරව විදුලිබල ක්ෂේත්‍රයට අදාලව සැලකිල්ලට ගත යුතු තවත් සිදුවීම් ගණනාවක් පසුගිය දින කිහිපය තුළ ඇති වු බවට මාධ්‍යය වාර්තා පළවිය. එනම්,

  1. විදුලිබල මණ්ඩලය, වර්ෂයක් සදහා පෞද්ගලික අංශය වෙතින් මෙගාවොට් 228ක හදිසි විදුලි මිළදී ගැනීම් සදහා ටෙන්ඩර් කැදවීමක් කරන බවට දැණුම් දීම.

  2. තාප විදුලි බලාගාර සදහා ඛනිජ තෙල් සංස්ථාවෙන් මිළ දී ගත් ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 85ට ආසන්න ණය මුදල කොටස් වශයෙන් හෝ පියවීමට අමාත්‍යාංශ තීන්දුවක් ගැනීම හා හිග මුදල් නොගෙවීමේ පදනම මත ඛනිජ තෙල් සංස්ථාව විසින් කෙරවලපිටිය ඩීසල් බලාගාරය වෙත ගිවිසුම් පරිදි අත් හිටුවා ඇති තෙල් නිකුත් කිරීම නවතා ඉදිරියට අවශ්‍ය තෙල් නිකුත් කිරීමට නියෝග නිකුත් කිරීම.

  3. නඩත්තු කටයුතු සදහා දින 100කට නවතා තිබු විදුලිබල මණ්ඩලයට අයත් නොරච්චෝල ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 280ක පළමු ඒකකය පසුගිය ජනවාරි 17 දින සිට නැවත පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතව තිබුණත් එය පෙබරවාරි 02 දින දක්වා ප්‍රමාද කිරීම.

  4. අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් හා රාජ්‍ය බැංකු දෙකේ වගකිව යුතු නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා විදුලිබල මණ්ඩලය  විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 85ට ආසන්න ණය මුදල කොටස් වශයෙන් පියවීම සදහා රුපියල් බිලියන 10 ක් හදිසි ණය මුදලක් රාජ්‍ය බැංකු දෙක වෙතින් ඉල්ලීම.

  5. විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය පියවීම සදහා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් බිලියන 2ක කෙටිකාලීන ණයක් ලංවීම වෙත ලබාදීමට තීරණය කිරීම

  6. මෙගාවොට් 130 ගෑස් බලාගාරයක් කැළණිතිස්ස පරිශ්‍ර‍යේ පිහිටුවීම සදහා පසුගිය දෙසැම්බර් මාසයේ කැදවු ටෙන්ඩරයට අනුකූලව තෝරා ගනු ලැබු  සමාගමට එම ඉදිකිරීම ලබා නොදී වෙනත් සමාගමක් වෙත එකී ප්‍රදානය ලබාදීමට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් බලපෑම් කිරීම. 

විදුලි කප්පාදුව ඇතුළු ඉහත සිද්ධි කිහිපයම සැලකිල්ලට ගත් කළ විදුලිබල ක්ෂේත්‍රය නැවතත් බලගතු අර්බුදයකට ලක්වෙමින් තිබෙන බැව් කාට වුවත් වැටහේ. එපමණක් නොව, එකී අර්බුදය තීර්වකොට යළිත් විදුලිබල මණ්ඩලය ඩීසල් මාෆීයාවේ අණසකට නතු කිරීමේ කුප්‍රකට කුමන්ත්‍රණය ද යළි යළිත් ක්‍රියාත්මක වී තිබේ. මෙම කුමන්ත්‍රණයට ඉහත සිද්ධි පමණක් නොව ඊට පසුබිම සැකසු පසුබිම් කතාවක් ද ඇත. එය විවරණය කිරීම මෙම ලිපියේ අරමුණ යි.

ජනන සැලස්ම හා ගැටුම !

ලංකා විදුලිබල මණ්ඩලය විසින් වසර පහෙන් පහට යාවත්කාලීන කරනු ලබන විදුලි ජනන සැලැස්ම නිසි කලට ක්‍රියාත්මක නොවේ. ඊට බලපාන්නා වු හේතු රැසකි. පවත්නා ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූල නොවන ලෙස විදුලිබල මණ්ඩලය තම ජනන සැලැස්ම සකස් කිරීම එක් ගැටළුවකි. මෛත්‍රී පාලනය යටතේ මෙන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යෙයේ දැක්ම” ට අනුවත් පුනර්ජනනීය බලශක්ති වෙත දක්වන ප්‍රමුඛතාවය ලංවීමට එතරම් වැදගත් නැත. ලෝකය මුහුණ දෙන දරුණු කාලගුණික ගැටළු නිසා මුළු ලෝකයම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙනුවෙන් සුවිශාල ප්‍රමුඛතාවයක් ලබා දීම අද ජගත් ප්‍රවණතාවය යි. එනමුත්, ලංවීම ඒ පිළිබද දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි. “අඩුම අඩු වියදමින් බලශක්තිය නිපදවීම” යන යල්පැන ගිය සංකල්පයට මුවාවී ලංවීම තවමත් තාප බලාගාර මත වැඩි විශ්වාසයක් තබා කටයුතු කරයි. ගල් අගුරු, තෙල් හෝ ගෑස් තවමත් නොමැති අප රට නිරන්තරයෙන් එම පොසිල ඉන්ධනයන් හි ජාත්‍යන්තර මිළ උච්ඡාවඡනයන්ගේ බලපෑමට ලක් වන බවත්, රුපියලේ අගය බාල්දු වීම මතත්, ලංවීමේ අඩුම අඩු වියදම යථාර්තයක් නොවන බැව් පිළිගැනීමට මැලිකමක් දක්වයි. ජනන සැළැස්මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනයට යම් ඉඩකඩක් වෙන් කළත්, ප්‍රායෝගිකව එම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට ඉඩනොදෙන, ලංවීම තුළම ක්‍රියාත්මක අදිසි බලවේග රැසකි. දෙවනුව, ජනන සැලස්මට අනුව යෝජිත ප්‍රධාන බලාගාර හෝ ව්‍යාපෘති නිසි තරගකාරී මිළ ගනන් මත ඉදිනොකිරීම නිසා ඇතිවන තාක්ෂණික ගැටළු තවෙකකි. එසේ තරගකාරී මිළ ගනන් කැදවා දුෂිත දේශපාලනඥයන්ගේ හෝ වගකිව යුතු නිලධාරීන්ගේ බලපෑම මත, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරවීම නිසා ඇතිවන නීතිමය ගැටළු තවත් එකකි. මෙම සෑම ක්‍රියාදාමයකදීම පාරිහෝගික අයිතිවාසිකම් රැකීමේ බලධාරියා වන මහජන උපයෝගිතා කොමිෂම අසරණ තත්වයට පත් වේ. බලශක්ති කර්මාන්තය නියාමනය කිරීමේ  කොමිෂමේ වගකීම හා නිතීමය බැදීම උල්ලංඝණය වීමත් අදාල පාර්ශව අතර කඹ ඇදීමේ උග්‍ර සටනක් නිර්මාණය වීමත් දැකිය හැකිය. ප්‍රතිඵලය කාලවකවානු තුළ රටට වඩාත් ම සුදුසු ජනන සැලැස්ම ක්‍රියාත්මක නොවීම ය. වාර්ෂිකව වැඩිවන ඉල්ලුමට සරිලන විදුලි සැපයුම කඩාකප්පල් වු මඩ ගොහොරුවක් තත්වයට උවමනාවෙන් ම නිර්මාණ ය කිරීමය. අනතුරුව සිදුවන්නේ එම මඩ ගොහොරුව සියළු පාර්ශව විසින් ඉහගෙන කෑමය. මෙහි අනුටු ප්‍රතිඵල තවත් මෙහි සාකච්ඡා කළ හැක. 

මාෆියාවට සරිලන ඉලක්ක !

පසුගිය ආණ්ඩු සමයේ ජනන පද්ධතියට කිසිදු ප්‍රධාන බලාගාරයක් එකතු වුයේ නැත. විශේෂයෙන් ඉදිකිරීමට නියමිතව තිබු සාම්පුර් ගල්අගුරු බලාගාරය, රජය හා ලංවිම අතර ඇති වූ ඉහත ප්‍රතිපත්ති ගැටුම නිසා ඉදිනොවිණ. අත්සන් කළ ගිවිසුම් අනුව එහි තාක්ෂණික ප්‍රමිතිය ද ප්‍රශ්ණකාරී වී තිබිණ. 2015 දී මහජන උපයෝගිතා කොමිෂම විසින් ලංවීමට මෙගාවොට් 320ක් තාප බලාගාර මගින් ජනන පද්ධතියට එකතු කිරීමට අවසරය දී තිබිණ. ගාල්ල වරාය පරිශ්‍රයේ පමණක් මෙගාවොට් 100ක බලාගාරයක් සදහා තාක්ෂණික ශක්‍යතාවය ද තිබිණ. නමුත් විදුලිබල මණ්ඩලය එම අවස්ථාව ප්‍රයෝජනයට නොගත්තේය. එම සැළසුම ක්‍රියාත්මක වී නම් විදුලි සැපයුම රජයට අයත් තාප බලාගාර මතින් හෝ ස්ථාවර වෙනු ඇත. ඒ වෙනුවට දැන්, ලංවීම වසරක් සදහා ඩීසල් හෝ දැවි තෙල් බලාගාර මගින් විදුලිය ලබාගැනීමට පෞද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැදවා ඇත. සෑම වසරක් පාසාම එම විෂම ක්‍රියාවලිය ඉදිරියට යනු ඇත. 2015 වසර වන විට සැලසුම් ආරම්භ වු මෙගාවොට් 1000ක මන්නාරම සුළං බලාගාර උද්‍යානය ටෙන්ඩර් ක්‍රමවේද යටම ගිල්වන ලදී. යහපත් ආරම්භයක් ගත් සුර්යබල සංග්‍රාමය, ඇමති පුටු වෙනසකින් පසුව ඇණ හිටිණ. ද්‍රව ගෑස් බලාගාරයකට ටෙන්ඩර් කැදවුවද අමාත්‍යාංශ ඉහළ නිලධාරියෙකුගේ අත්තනෝමතික අත පෙවීම මත එය අධිකරණ කටයුත්තක් බවට පත්විය. 2017 දී විදුලිබල මණ්ඩලය කළ ඇස්මේන්තුවකට අනුව, ඉල්ලුම සපුරාලීමට මෙගවොට් 1000ක අලුත් බලාගාර අවශ්‍ය බැව් කියා සිටියත් මේ වනවිට මෙගාවොට් 20ක් පමණක් සුර්යබලය මගින් සපුරා තිබීම කාගේ කාගෙත් කෙරුවාව කියාපාන්නක් විය. මේ අනුව බාහිර පාර්ශවයන්ගෙන් වැඩි මුදලට විදුලිය මිළදී ගන්නා තැනට වැඩ සිදුවීම විදුලිබලයේ අදිසි මාෆියාවේ දක්ෂතාවය මිසක් අන් කුමක්ද?

 තාක්ෂණික වංචා !

විදුලිබල මණ්ඩලයට පෞද්ගලික තාප බලාගාර මගින් විදුලිය මිළ දී ගැනීම නිසා සිදුවන වාර්ෂික මුල්‍ය පාඩුව රුපියල් බිලියන 80ක් ලෙස ගණන් බලා ඇත. එනමුදු, සිදුකරන තාක්ෂණික චංචා නිසා එම අගය ඊට වඩා ඉහළ අගයක් ගනී. ලංවීම සහ දැවිතෙල් බලාගාර සමාගම් අතර ඇති විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුම් ප්‍රශ්ණකාරී එකක් ලෙස අභියෝගයට ලක් වුයේ අද ඊයේ නොවේ. එම පෞද්ගලික බලාගාර මගින් රුපියල් 26ක් වැනි සමාන්‍ය අගයකට විදුලි ඒකකයක් මිළදී ගැනීමට ගිවිසුම් ගත වනුයේ වර්ෂයකට අවම වශයෙන් දින 300ක් වත් එකී බලාගාරයෙන් විදුලිය මිළදී ගන්නාවූ සුත්‍රයකට අනුවය. නමුත් එම බලාගාරය ක්‍රියාත්මකව ඇත්තේ දින 75ක් වැනි සුළු කාලයක් පමණි. ගිවිසුම් ප්‍රකාරව ජනනය කරන විදුලි ඒකකයට පමණක් නොව ප්‍රාග්ධණ ආයෝජනයද පියවෙන අයුරින් ඒකකයක මිළ තීරණය වීමේ සුත්‍රයට අනුව අවසානයේදී එම සමාගමට ඒකකයක් සදහා රුපියල් 60ක පමණ මුදලක් ගෙවනු ඇත. මෙසේ මිළ දී ගන්නා විදුලි ඒකකයක් පාරිහෝගිකයාට අලෙවිකරණ සාමාන්‍ය මිළ රුපියල් 16කි. මේ අනුව විදුලිබල මණ්ඩලයේම සුදු කරපටි දුෂිතයින් පිරිසක් නිසා මණ්ඩලය විදින ශුද්ධ පාඩුව සුළුපටු එකක් නොවන බැව් වැටහෙනවා ඇති. තවද, මෙම තාක්ෂණික වංචාවට අනුව විදුලි ඉල්ලුමේ අර්බුදයක් නොමැති තත්වයක් තුළත් මෙම බලාගාර සමග ගිවිසුම් ගතව අඩුකාලයක් ක්‍රියාත්මක කර මුදල් ගෙවීමට ප්‍රතිපාදන සකසා ගෙන ඇත. මේ මාෆියාව කෙතරම් සුක්ෂම ද යන්න ඉන් පෙණේ. 

විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිළ දී ගන්න දක්වන උනන්දුවට සමාන උනන්දුවක් වෙනත් ලාභදායි විකල්ප කෙරෙහි නොදක්වයි. ලංවීම යනු අත්දැකීම් බහුල, මෙරටේ පමණක් නොව දකුණු ආසියා කලාපයේ ම පැරණිම වෘත්තීය ආයතනයකි. එය විදුලිබල ක්ෂෙත්‍රයේ අන් කලාපීය ආයතනයන්ට වඩා ඉදිරියෙන් සිටින අවස්ථාද නැතුවා නොවේ. විදුලිය සම්ප්‍රේෂණයේදී හා ‍බෙදාහැරීමේදී,  පද්ධතියේ සිදුවන තාක්ෂණික හානිය අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව ගැණිය හැක. කලාපීය අනෙක් රටවල් හා සංසන්දනය කළ විට ලංකාව ප්‍රශස්ත තැනක සිටී. රට පුරා විදුලියන ඉලක්ක සපුරා ගැනීමේදී ද ලංවීම කෘතහස්ත කාර්යභාරයක් ඉටුකර තිබේ. 

රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් රැකියාවන්ට පිවිසෙන දක්ෂතම විදුලි ඉංජිනේරුවන්  පිරිස ලංවීම විසින් අවශෝෂණය කරගනු ලැබේ. ඔවුහු එහි සෑම ක්ෂේත්‍රයකම අධීපතීත්වය දරති. අදක්ෂතාවය, අලසකමට වඩා වංචනික මුදලට වහල් වීමේ සදාචාරයට මෙහි වගකිව යුතු ඉංජිනේරු කෙරුමෝ යට වී තිබිම අවාසනාවකි. ඔවුන් දුෂිත දේශපාලකඥයන්ගේ හා නිලධාරීන්ගේ රැකවරණය යටතේ බල ගණුදෙනුවේ කොටස්කාරයෝ වී සිටින්නේ තමන්ගේ ඉංජිනේරු වෘත්තීය සංවිධානයේ ශක්තියද අයුක්ති සහගත ලෙස යොදා ගනිමින් ය. 

රාජ්‍ය අංශයේ විවිධ ආයතන තුළ ඇති ස්වයං විදුලි ජනන ධාරිතාව මෙගවොට් 500ට ආසන්න ය. ජල ප්‍රවාහන මණ්ඩලයේ පමණක් මෙගාවොට් 35ක ධාරිතාවක් ද, වරාය අධිකාරිය සතුව මෙගාවොට් 10ක් ද, හම්බන්තොට නව සම්මන්ත්‍රණ ශාලාව සතුව හම්බන්තොට දිස්ත්‍රික්කයටම විදුලිය සැපයිය හැකි මෙගාවොට් 4ක් ද යනාදී වශයෙන් විවිධ ආයතන සතුව විවිධ ස්ථානවල මෙවැනි ස්වයං ජනන යන්ත්‍ර පිහිටා තිබේ. විදුලි හිගයක දී මෙම ස්වයං ජනන යන්ත්‍ර සම්ප්‍රේෂණ පද්ධතිය හා සමමුහුර්ත කර තාක්ෂණික වශයෙන් යොදා ගත හැකි බැව් බලශක්ති විශේෂඥයන්ගේ මතය වුව ද එවන් මතවලට බිහිරි අලීන් ලෙස කටයුතු කිරීම ලංවීමේ හැදියාව වී ඇත. දිවයිනේ සෑම වර්ග අඩියකින්ම කිලෝවොට් 4ක සුර්ය බලයක් නිපදවිය හැකි විභවයක් ඇතත් ඒ පිළිබද දරණ උත්සාහය හුදෙක් පුද්ගලික අංශ වෙතම පවරා තිබේ. විවිධ තාක්ෂණික සීමාකම් ඇතත් පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අනාගත ලෝකය තබා ඇති විශ්වාසය ශක්තිමත් කරන තැනට ලංවීම ක්‍රියා නොකරන්නේ විසිරුණු බලශක්තියෙන් විසිරුණු අත්වාසියක් පමණක් ලැබෙන නිසා විය යුතුය. බලශක්ති සංරක්ෂණය ගත්තද ලංවීම හිතන්නේ පටුවටය. එය තම ආදායම අඩු කරන මර උගුලක් ලෙසය. මේ අනුව ලංවීම සතු විදුලි ඉංජිනේරු දැණුම අවභාවිතයට පත් වී තිබීම කණගාටුවට කරුණකි. එය නවීන ආර්ථික ව්‍යවහාරයන්ට අනුව සුදු අලි‍යෙකු තත්ත්වයට පත්වී හමාරය.

ණය බර හා බංකලොත්බව !

ලංවීම රුපියල් බිලියන 85කට වැඩි මුදලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය ය. එම සංස්ථාවටම, පෞද්ගලික තාප බලාගාර සමාගම් විසින් පියවිය යුතු මුදල රුපියල් බිලියන 32කි. ඩීසල් හා දැවිතෙල් බලාගාර ජනන ක්‍රියාවලියේ වැඩි ඉඩක් ගන්නා තරමට, ලංවීම පමණක් නොව ඛනිජ තෙල් සංස්ථාවද මුල්‍ය අර්බුදයකට යනු ලබයි. එම ණය පියවීම සදහා රාජ්‍ය මුල්‍ය පමණක් නොව ඊට මැදිහත්වන රාජ්‍ය බැංකු දෙක වන මහජන හා ලංකා බැංකුව ද මෙම මුල්‍යය අර්බුදයේ කොටස්කාරයන් වේ. වර්ෂකට ලංවීම තුළ පමණක් රුපියල් බිලියන 300කට වැඩි මුල්‍ය ගණුදෙණුවක් සිදුවන අතර එය ලංකා ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානයක්වේ. එය ණය බරින් මිරිකී මුල්‍යමය වශයෙන් බංකලොත් වනවා යනු රාජ්‍ය බැංකු දෙකටද එහි බලපෑම නොඅඩුව දැණෙනු ඇති. රටේ සාමාන්‍ය ජනතාවගේ බැංකු දෙක බවට ප්‍රචලිත මෙම රාජ්‍ය බැංකු දෙකේ අරමුදල් ලංවීමේ ණය පියවීමට යොදා ගැනීම ම දුෂිත ඩීසල් මාෆීයාවට රටේ ජනතාවගේ මුදල් කොල්ලකෑමට ලබාදෙන වරයකි. ජනන වියදම වැඩිවන විට එය විදුලි ගාස්තුවට කරනු ලබන බලපෑම ද සුළු පටු නොවේ. විදුලි බිලට එකතුවන රජයේ සහණාධාර පංගුව වැඩිවීම මහා භාණ්ඩාගාරයට බරක්වන අතර නැතහොත් විදුලි බිල වැඩිවී මහජනයාට බරක් වනු ඇත.  ලංවීම ණය බරින් මුදවා ගැනීමට ලාභ ලබන ලංකා විදුලි පුද්ගලික(ලෙකෝ) සමාගමද දැන් ඉදිරිපත්ව ඇත. එම සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් බිලියන 2ක්, කෙටි කාලීන ණයක් වශයෙන් ලංවීමට ලබාදීමට යයි. එය ආණ්ඩුවේ බලපෑම මත සිදුවන ක්‍රියාවක් විය හැක. බෙදාහැරීමේ බලපත්‍රයක් පමණක් ඇති ලෙකෝ සමාගම තම පුර්ව අත්දැකීම් සැලකිල්ලට ගත්තේනම් මීට වඩා ණුවණැති ක්‍රියාවකට යොමුවනවා නියතය. එම මුදල විදුලි ජනන ක්ෂේත්‍රෙයේ තම සහෝදර ජනන සමාගමක් හා එකතුව ආයෝජනය කළේ නම්, ලැබෙන ප්‍රතිඵලය මීට වඩා ඵලදායක වනු ඇත. ලංවීමේ ඒකාධිකාරයෙන් මිදී කාර්යක්ෂම බෙදාහැරීම් සේවාවක් සමගින් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ඇරඹී ලෙකෝ සමාගම ද දැන් ඩීසල් මාෆීයාව බේරාගැනීමේ ගැලවුම්කරුවෙකු බවට පත්ව තිබීම තවත් ඛේදවාචකයකි. 

බන්දුල චන්ද්‍ර‍සේකර - (හිටපු සභාපති, ලංකා විදුලි පුද්ගලික සමාගම)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found