මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු වි තිබෙන බවත් ඉන්ධන මිල ඉහළ යාම හෝ පහළ දැමීම තීරණය වන්නේ කෙටිකාලීනව සිදුවන මිල උච්ඡාවචනයන් තුළින් නොවන බවත් එම තත්ත්වයන් දිර්ඝ කාලයක් සිදුවෙනවා නම් අපි ඒ සම්බන්ධව තින්දු තීරණ ගන්නවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) තංගල්ල ආසනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
වත්මන් රජය කියන්නේ මහජනතාවට සහන දෙන්න අකැමැති රජයක් නොවෙයි. පසුගිය පෙබරවාරි මාසයේ මුල් සතියේ ම ඇමරිකාවත්, ඉරානයත් අතර යුධමය තත්ත්වයක් ඇති වුනා. ඒ ඇති වුණ ලෝක දේශපාලන කැළඹිම නිසා ඉන්ධන මිල නොසිතු පරිදි ඉහළ ගියා. ඒ වෙලාවේ අපි රජය විදියට එක්සත් ජාතික පක්ෂයේ ඊනියා මිල සූත්‍රය අනුව කටයුතු කළා නම් ඉන්ධන මිල රුපියල් 12කින් ඉහළ නංවන්නට සිදුවෙනවා.
නමුත් අපි රජය විදියට එමඟින් සිදු වුණු පාඩුව දරා ගත්තා. ඉන්ධන මිල ශත පහකින්වත් වැඩි කලේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂයේ සමහරු කියනවා අපේ ඉන්ධන මිල සූත්‍රය තිබුණා නම් මේ වනවිටත් ඉන්ධන මිල අඩුවෙලා කියලා.
ඔව් අඩු කරන්නට තිබුණා. කොහොමද කියන එක තමුන්නාන්සේලා දැන ගන්න ඕනෑ . මම මේ ගැන හොයා බැලුවා. ඉන්ධන මිල සූත්‍රය තිබුණා නම් පෙබරවාරි මාසයේ පෙට්‍රල් ඩීසල් හැම ඉන්ධනයකම මිල රුපියල් 12කින් වැඩි වෙනවා. එතකොට මිල අඩුවන විට අඩු කරන්නට වෙන්නේ කීයකින්ද? ඒ අයගේ ඉන්ධන මිල සුත්‍රය අනුව රුපියල් 02කින් අඩු කරන්නට තිබුණා. රුපියල් 12කින් වැඩි කරලා රුපියල් 02කින් අඩු කරනවා කියන්නේ ජනතාවට සහනයක්ද? කියන ඒක මම එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න කැමතියි.
දැන් ඒ අය කිඹුල් කඳුළු හෙළනවා මේ ඉන්ධන මිල සහන දෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුවක් කියන්නේ මහජනතාවට වද දෙන ආණ්ඩුවක් නොවෙයි. අපි මහජනතාවට දිය හැකි සියලුම සහන දෙනවා. මෙම ඉන්ධන මිල සහනය රජය දෙන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ සමහරු රජයට චෝදනා කරනවා. මම කියන්නේ මහජනතාවට සහන සලසන්න අපිට එක්සත් ජාතික පක්ෂයේ උපදෙස් අවශ්‍ය නැහැ කියන ඒකයි.
දැන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල සෑහෙන්න අඩු වෙලා තිබෙනවා. එම නිසා එහි වාසිය මහජනතාවට අපි ලබා දෙනවා. ඒ නිසා මම හෙට (11) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනවා. මම දැනටමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කළා. ඒ අනුව ඉන්ධන මිල සහනය ලබා දීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට මම කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
අමරේ කියන්නේ බොරු : මංගලගේ නිවේදනය මෙන්න !
මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සංඛ්‍යා දත්ත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල සම්බන්ධ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් ඉන්ධන මිල රුපියල් 20 කින් අඩුකර බස් ගාස්තු පවා අඩු කිරීමට හැකියාව තිබූ බවයි.
එසේම ජනතාවට පීඩනයක් එල්ලකර ඇති ජීවන විවියදම පහත හෙළීමට එය අවස්ථාව කරගන්න තිබූ බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිකුත්කළ විශේෂ නිවේදනය පහත දැක්වෙයි.
යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිල සූත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.
ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සූත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දු වී තිබිණි.
ඒ වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් සඳහා ද යහපාලන රජය විසින් මිල සූත්‍රයක් හඳුන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස 2015 දී රු 2000 ට වඩාවැඩි මුදලකට විකුණු 12.5 කිලෝ ග්‍රෑමයක ගෑස් සිලින්ඩරයක මිල අද වන විට රු 1500 දක්වා අඩු කර තිබේ
ඒ අනුව සින්ගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර එය 2019 සැප්තැම්බර් මස ට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල
|
ඉන්ධන වර්ගය |
පැවති මිල රු. |
2019 සැප්10 දාසංශෝධිත මිල රු |
2020 මාර්තුවේ වෙනස් කළ යුතු ව තිබූ මිල රු |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
138/- |
137/- |
117/- |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
163/- |
161/- |
141/- |
|
ඔටෝ ඩීසල් |
104/- |
104 |
84/- |
|
සුපිරි ඩීසල් |
134/- |
132/- |
112/- |
අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.
ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබේ. මෙමගින් බස් ගාස්තු සහ ත්‍රී වීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යාවශ්ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරි කී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණි. පොහොට්ටු රජයේ සහන මල්ල අපේක්ෂාවෙන් සිට අපේක්ෂාබන්ගත්වයට පත්වූ ජනතාවටත් තෙල් මිල අඩු කිරීමෙන් සහනයක් ලබා දිය හැකිය.
මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

