කොරෝනා නිසා මහ ජන්දයට මොකක් වෙයිද ?

කොරෝනා නිසා මහ ජන්දයට මොකක් වෙයිද ?

කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිති. අසල්වැසි ඉන්දියාවේ පවා කොරෝනාවෛරස් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් ඉහළ යමින් පවතී.

කෙසේ වෙතත්, මුලින් හමුවූ චීන ජාතික කාන්තාව හැරුණුකොට ශ්‍රී ලංකා දේශසීමාව තුළදී වෙනත් කොරෝනාවෛරස් ආසාදිතයෙකු මෙතෙක් හමුවී නොමැත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට ප්‍රශංසාව හිමිවුව ද, ශ්‍රී ලංකාව සමග සෘජු සබඳතා ඇති රටවල් කිහිපයකම කොරෝනාවෛරසය අතිශය බරපතළ ආකාරයකින් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අවදානම පහවගොස් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉතාලිය සහ දකුණු කොරියාව වැනි ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් වාසය කරන රටවල කොරෝනාවෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

මේ හේතුවෙන්, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් මෙන්ම නෞකා මගින් පැමිණෙන මගීන් අනිවාර්යයෙන් දින 14ක නිරෝධානයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම අනුව අදාළ රටවල ක්‍රියාත්මක ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල මගින් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි කාල සීමාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රධාන හේතු:

  1. අප්‍රේල් මාසයේදී එළඹෙන අලුත් අවුරුදු සමය සඳහා ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනකු යළි සිය මව් රටට පැමිණිය හැකිය.
  2. එළඹෙන මහ මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමේ අරමුණින් තවත් විශාල පිරිසක් පැමිණිය හැකිය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි අවධානයක් යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, "අවදානමක් සහිත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන," බවය.

"කොරෝනාවෛරසයේ බලපෑම අවම කර ගන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. ඒකේ මූලික පියවරක් විදිහට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් එන පුද්ගලයින් අනිවාර්යයෙන් නිරෝධානය සඳහා යොමු කෙරෙනවා," වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

 111188443 8f7bb4d3 4088 44f2 bf37 972c2ee63790

කොරෝනාවෛරසය මහ මැතිවරණයට බලපාන හැටි

එළඹෙන අප්‍රේල් මස අගදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හරහා ද කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීමේ අවදානමක් පවතින්නේ ද යන්න පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ, කොරෝනාවෛරසය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය.

"මේ පවතින තත්ත්වයම පැවතුණොත් නිරෝධායන මධ්‍යස්ථානවල සිට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙළක්, ඒ කියන්නේ තැපැල් මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමවේදයකින්, ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙනවා."

කෙසේ වෙතත්, සෞඛ්‍ය වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැඩි වුවහොත් ඊට වඩා වෙනස් තීන්දුවක් ගත යුතු වනු ඇති බවය.

"කුමක් හෝ හේතුවකින් ඉතාලිය වගේ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වුණොත් මහ මැතිවරණය කල් දාන්න සිද්ධ වෙයි. මොක ද ඒ වගේ තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීමෙන් අවදානම ඉහළ යන්න පුළුවන්," වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ, කොරෝනාවෛරසය ඉදිරි මහ මැතිවරණයට කෙසේ බලපානු ඇත් ද යන්න සම්බන්ධයෙන් මේ සතියේදී වැඩි අවධානයක් යොමු කරන බවය.

"අපි ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කරනවා මේ ගැන. ඒ සාකච්ඡා අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලැබෙන නිර්දේශ සලකලා ඉදිරි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් දෙන්න අපේක්ෂා කරනවා," ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ලෝකයේ තත්ත්වය

මේ වන විට ඉතාලිය, එක්සත් රාජධානිය ආදී යුරෝපා රටවල් කිහිපයක මෙන් ම ඇමෙරිකාව තුළ ද කොරෝනාවෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

එම වෛරසය ආසාදනය වීමෙන් එක්සත් රාජධානියේ තිදෙනෙකු මරණයට පත් වී තිබේ.

මේ වන විට එක්සත් රාජධානයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 278 දෙනෙකි.

ලන්ඩන්හි හීත්‍රෝ ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක වන ගයන්ත්‍රා බණ්ඩාරනායක ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ, ලන්ඩන් නගරයේ වෙළෙඳසල්වල සනීපාරක්ෂක ද්‍රව්‍ය හිඟයක් පවතින බවය.

එරට පාසල් කිහිපයක් ද මේ වන විට වසා දමා තිබේ.

යුරෝපා කලාපයේ කොරෝනාවෛරසය වැඩියෙන් ම පැතිර යන රට බවට පත්ව ඇත්තේ, ඉතාලියයි. එහි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් වාසය කරති. විශේෂයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ලොම්බාර්ඩි ප්‍රදේශය ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසක් වෙසෙන ප්‍රදේශය බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඉතාලිය තුළ මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, දකුණු කොරියාව තුළ ද කොරෝනාවෛරසය ශිඝ්‍රයෙන් පැතිර යන අතර, එහි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සේවය කරති.

කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 3800කට අධිකය. වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 101,000 ඉක්මවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න