එයාර් බස් ගනුදෙනුව : නියෝමාලිගේ ගිණුමෙන් මුදල් ලැබූ අයෙකු හෘදයාබාධයකින් මියගිහින් !

එයාර් බස් ගනුදෙනුව : නියෝමාලිගේ ගිණුමෙන් මුදල් ලැබූ අයෙකු හෘදයාබාධයකින් මියගිහින් !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් එයාර් බස් ගුවන් යානා 10 ක් 2013 දී මිලදී ගැනීම සම්බන්ධව ඇති චෝදනා සම්බන්ධ විභාගය පසුගියදා යළි කැදවන ලදී. 

ඒ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියෙහි ය.

එම අවස්ථාවෙහි දී කරුණු දැක්වූ  නියෝජ්‍ය නීතිපති තුසිත් මුදලිගේ මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ මෙහි ඇති තවත් ගිණුම් කිහිපයකට මුදල් යවා ඇති බවත් ශ්‍රී ලාංකික කෘෂි සමාගමකට අයත් ගිණුමකට යූරෝ 160,000 ක් මාරු කිරීමෙන් පසු චෙක්පත් දෙකක් භාවිතා කරමින් කෘෂි සමාගමෙන් මුදල් ලබා ගත් 27 හැවිරිදි යොහාන් අබයරත්න හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

රහස් පොලීසියට දුන් ප්‍රථම ප්‍රකාශයෙහි දී ඔහු කියා සිට තිබුණේ එකී ගිනුමේ අනෙක් හිමිකරු වන කොළඹ ජිවත්වන සිය සහෝදරයාගේ නිවසේ ලිපිනය තමන් නොදන්නා බවයි.

මෙම තරුණයා හදිසි හෟදයාබාධයකින් මිය යාම මෙම මුදල් ලබා දෙන ලද්දේ කුමන අරමුණකට කවිරුන් සඳහා ද යන්න සොයා ගැනීම දුෂ්කර වීමට ඉඩ තිබේ.

මෙයට පෙර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ සිමිකාඩ්පත් ගැනීමට පාවිච්චි කරන ලද ජාතික හැදුනුම් පතේ හිමිකරු වූ පී. ජේසුදාසන් ද හෟදයාබාධයකට ගොදුරුව සිරගෙදරදී හදිසියේ ම මිය ගියේ ය.

අදහා ගන්න බැරි සිදුවීම් !

නියෝජ්‍ය නීතිපති තුසිත් මුදලිගේ මහතා අධිකරණයට කියා සිටියේ විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක  සහ එම ගිනුමෙන් මුදල් ලැබූ ව්‍යාපාරික නිමල් පෙරේරා යන දෙදෙනාම තම බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් පිළිබඳව තමන් නොදන්නා බව කියා සිටින බවයි.

පසුගිය ආන්ඩුව සමයේ ද රාජපක්ෂ ඥාතිවරියක වූ ඩේසි ආච්චිට නොදන්නා කෙනෙකුගෙන් මැණික් මල්ලක් ලැබී තිබූ අතර බැසිල් රාජපක්ෂ පවුල සම්බන්ධ වී මල්වානේ අක්කර අටක ඉඩමක සාදන ලද බංගලාවකට හිමිකරුවකු සිටියේ ද නැත. එම රීතියම අනුව යමින් කපිල වන්ද්‍රසේනලාගේ සහ නිමල් පෙරේරාලාගේ ගිනුම්වලට ආ මුදල් ගැන ඔවුන් දන්නේ නැත.

නිමල් පෙරේරා සිය ගිනුමට ඇමෙරිකානු ඩොලර් 800,000 ලැබුණේ කෙසේ දැයි නොදන්නා බව ප්‍රකාශ කර ඇති බව දැනුම් දුන් විට මහේස්ත්‍රාත් රංග දිසානායක අසා සිටියේ තමන්ගේ ගිනුමට ඩොලර් ලක්ෂ අටත් පැමිණි සැටි නොදන්නා තවත් අය සිටින්නේ ද යන්නයි.

මෙම සියලු දෙනාම රාජපක්ෂවරුන්ම හෝ ඔවුන්ගේ සමීප ව්‍යාපාරිකයින් වෙති.

පුදුම නමුත් ඇත්ත ය.

නඩුව අප්‍රේල් 27 වනදා යළි විභාගයට ගැනේ. එදිනට විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේය.

(srilankabrief.org)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න