Language Switcher

V2025

කොරෝනා ආසාදිතයන් 51 දක්වා ඉහළට : විනෝද චාරිකා තහනම් : මිනිස්සු සැමන් -පරිප්පු පෝලිමේ !

අද (18) දිනයේදී නව කොරෝනා ආසාදනය වූවන් 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින්ය.

ඊයේ (17) දිනය වන විට මෙරට කොරෝනා ආසාදිතයන් 43ක් සිටි අතර ඒ අනුව මේ වන විට එම ප්‍රමාණය 51 දක්වා ඉහළ ගොස් තිබේ.

විනෝද චාරිකා තහනම් !

එසේම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර ඇති බවය. වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම වෙනුවෙන් ලබාදුන් නිවාඩුව නිරෝධායන කටයුතු වෙනුවෙන් මිස විනෝද චාරිකා වැනි දේ සඳහා යොදාගැනීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධව පොලිසිය තදින් ක්‍රියාකරනු ඇති බවත් ඇය පැවසුවාය.

ජනතාව එකට රැස්වීම නිසා වෛරසය පාලනය කිරීමට දුෂ්කර වෙනවා - හමුදාපති 

මෙම මාධ්‍ය හමුව අමතමින් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් නිවාඩු කාලයේ ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී තිබෙන බවය.

එසේම මාර්තු 1 - 15 කාලය තුළ පිටරටින් ලංකාවට පැමිණි පිරිසට ලියාපදිංචි වීමට කාලයක් ලබා දුන් බවත් ඒ කාලසීමාව තුළ පුද්ගලයින් 4000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද හමුදාපතිවරයා පැවසීය.

ඇතැම් පුද්ගලයින් මේ දින දෙකේ හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට නිවෙස්වල ස්වයං නිරෝධායනයකට ලක් වෙන ලෙස දැනුම් දි ඇතැයි ද පැවසු ඔහු  ඇතැම් පිරිස් රට තුළ මෙවැනි ආපදා තත්ත්වයක් පවතින විට ඉතා සැහැල්ලුවෙන් ක්‍රිඩා කිරීමට යොමුව ඇතැයි ද මහජනතාව රැස්වෙන විට මෙම තත්ත්වය පාලනය කිරීමට අසීරු වන බවත් පැවසීය.

ජනපතිට පිං දෙමින් ජනතාව සැමන් පෝලිම් වල !මේ ආකාරයට ජනතා ඒකරාශීවීම නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම දුෂ්කර කරවන්නක් බැවින් එය හැකි සෑම අයුරින්ම පාලනය කිරීමට කටයුතු යොදන පසුබිමේ දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් (17) දින රාත්‍රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කිරිමත් සමග වතුකරයේ ජනතාව සහන මිලට එම භාණ්ඩ ලබා ගැනිම සදහා (18) දින උදැසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙන අයුරු දක්නට ලැබෙන බවය.

එම පුවත පහත දැක්වෙයි.

Capture