Language Switcher

V2025

කොරෝනාවෙන් කොර වූ "කොඩි ගහ යට" !

කොලඹ මේ වන විටත් කොරෝනා ව්‍යාප්තියේ අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇත. ඇත්තෙන්ම මේ වන විට මෙම කොරෝනා වසංගතයෙන් රටම අවදානමක අභියස තිබෙන මොහොතක "කොලඹ" වඩාත් තීරණාත්මකය.කුඩා නිවාස මහල් නිවාස අතරේ පැල්පත් ආශ්‍රිතව ජීවත්වන පිරිස් තවත් තීරණාත්මකය.

ඒ මන්ද ?

මේ අති බහුතරයක් ජනතාව ජීවත් වන්නේ අක්කර ගණන් වල හෝ පර්ච්ස් දහයෙ පහලොවක ඉඩම් ඇති නිවෙස් වල නොවේය.දෙදෙනකුට හැරෙන්නට බැරි පොඩි ඉඩකය.සමහර පැල්පත් වල ඇතැමුන් නිදා ගන්නේ ශිෆ්ට් එකටය. පවුලේ පිරිසට ප්‍රමානවත් ලෙස නිවසේ ඉඩ නැති අවස්ථාවක ඔවුන්ගෙන් පිරිසක් නිදාගන්නා විට තවත් පිරිසක් සිටින්නේ නිදි වර්ජිතවය.ජීවන තත්වය එතරම් සුන්දර නැත බොහෝ පිරිසක් එදා වේල ටුවර්ස්‍ ය.මාසෙ පඩියට නොව දවසෙ පඩියට ජීවත්වන ඔවුන් ජීවන සටන ගෙනියන්නේ මහා බාදක මැදය.
මෙහෙම අමාරු ජීවන ගමනකට මුහුණ දෙන අල්ලපනල්ලේ මේ මිනිසුන්ගේ කර මත වැටුනේ තවත් කරුමයක්ය. ඒ අන් කිසිවක් නොව මේ වන විට ලොවම මරණයේ භීතිකාව ගෙන පැතිරෙන මාරාන්තික "කොරෝනා" වෛරසයයි.

අප රටක් ලෙස කොරෝනාවට එරෙහිව මේ වන විටත් ගෙන ඇති ක්‍රියාමාර්ග සාපේක්ෂව ප්‍රශස්තය.සෞඛ්‍ය අංශ ,ආරක්ෂ අංශ වන කැපවීම විශිෂ්ඨය.එහෙත් මෙවන් උවදුරකදී අඩුපාඩු වීම ස්වභාවිකය.වඩා වටින්නේ ඒ අඩුපාඩු නිවැරැදි කර ගනිමින් රටක් ලෙස අප මේ උවදුරෙන් ගොඩ ඒමයි.මේ වන විට පැල්පත් වාසීන්ගේ ප්‍රශ්නයත් එසේමය.

අදිරි නීතිය සමග ඔවුන් මුහුනපා ඇති ප්‍රශ්න දිවයිනේ සෙසු පලාත් වල වෙසෙන ජනතාවට සාපේක්ෂව වැඩි යැයි මා සිතන්නේ එහෙයිනි.

අමාරුවෙන් එදා වේලේ සරිකර ගත් ඔවුන් අද අසරණය.එලවලු පලා ටිකක් ගෙවත්තෙන් ගන්නට තරම් ඔවුනට ඇති ඉඩ කඩක් නැත.වියලි ආහාර ඔවුනට අත්‍යවශ්‍යය,එහෙයින් ආහාර ප්‍රශ්නය ඔවුනට දැඩිව බලපා ඇත.සමහරුට හරි වැසිකිළි කැසිකිළි පහසුකම්ද නැත,ගිනි රස්නයක් ඇති මේ දවස් වල ගෙයක් තුලට වීම සෙල්ලම් නැත.කොහොමත් බහුතර කොලඹ උන්ට ගෙයි අස්සෙ සිටීමේ හා ඉක්මන් නින්දට යෑමේ පුරුද්දකුත් නැත.එහෙත් ඔවුන් මේ මොහොතේ එසේ සිටිය යුත්ත්තේ කොරෝනා එතරම් අවදානම් නිසාය.

මේ මොහොතේ රජය දිලිඳු ජනතාව වෙනුවෙන් දියත් කරනා සහන වැඩපිළිවෙළ තවමත් පැල්පත දක්වා නිසි ලෙස විහිදී යන්නේ ද යනු ප්‍රශ්නයකි.එලෙසම ඇතැම් මාධ්‍ය ආයතන සහ තවත් සංවිධාන ක්‍රියාත්මක කර ඇති සහන පැල්පත් දක්වා විහිදී තිබේද යන්න ප්‍රශ්නයකි.මේ මොහොතේ සැබෑ ප්‍රශ්නය සොයා කටයුතු කිරීම වඩා සුදුසුය.

රජය හා අනෙක් සහන සංවිධානය මේ පිලිබඳ තවත් සාධනීය ලෙස මැදිහත්ව කටයුතු කරන්නේ නම් වඩා අගනේය.එය අප කාටත් සුබය.ඒ මන්ද, යම් හෙයකින් මේ පැල්පතක දෙදෙනකු තිදෙනකු දක්වා කොරෝනා ව්‍යාප්ත වුවහොත් එය එහි ඇති ජන ඝනත්වය නිසාවෙන් පැය කිහිපයකින් හෝ දින දෙක තුනකින් වසංගතය උත්සන්නවී ව්‍යාප්ත වීමේ අවදානම දැඩිව ඇත.මේ සටහන මා තබන විටත් මරදාන ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හමුවී හමාරය.

පැල්පත් වාසීන්ගේ මෙම ප්‍රශ්න අඩුවැඩි වශයෙන් මහල් නිවාස ඇතුළු කොලඹ නගරයේ බොහෝ තැන් වල ඇත.එහෙයින් මේ පිලිබඳ වැඩි සැලකිල්ලක් බලධාරින් සහ වගකිවයුතු ආයතන දක්වන්නේ නම් එය යහපතකි.

සැ.යු - මෙය දෙපැත්ත බෙදාගෙන බැන ගන්න දේශපාලන මාතෘකාවක් කර නොගෙන,ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීම වඩා අගනේය

#මා #lka #Covid19 #SriLanka #CoronaVirus #colombo
මාධව ද මෙල්ගේ ෆේස්බුක් ගිනුමෙනි