Language Switcher

V2025

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති සාධනයේ චන්ද්‍රිකා ලකුණ !

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ඉන්දියන් සාගරයේ උපායමාර්ගික මර්මස්ථානයක පිහිටා ඇති කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාවේ පැවැත්මට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබීම අතිශයින්ම වැදගත් වන බැවින් අප රටේ රාජ්‍ය පාලනයක සාර්ථක බව මනින එක් ප්‍රධාන මාපකයක් වන්නේ එම යුගයේ විදේශ ප්‍රතිපත්තියයි. රාජ්‍ය නායිකාවක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාර්ය සංසිද්ධීන් පිළිබඳව කරන විමසීමකදී ඇයගේ රාජ්‍ය තාන්ත්‍රික නිපුණභාවය මැනවින් පෙන්වන එක් ක්‍ෂේත්‍රයක් ලෙස විදේශ ප්‍රතිපත්තිය සඳහන් කළ හැකිය. 

1994 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියේ විවිධ ක්‍ෂේත්‍ර ගැඹුරු අර්බුදයන්ට මුහුණ දී තිබිණි. ඉන් එක් ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වූයේ විදේශ ප්‍රතිපත්තියයි. සීතල යුද්ධය නිමා වීමෙන් පසුව ජාත්‍යන්තර තලයේ සිදුවූ තියුණු දේශපාලන වෙනස්කම් මෙන්ම ඉන්දියාවේ වේගවත් නැගීමත් සමඟ දකුණු ආසියාතික කලාපයේ ඇතිවෙමින් පැවති භූ දේශපාලන වෙනස්කම් හමුවේ නිවැරදි විදේශ ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගත නොහැකිව ශ්‍රී ලංකාව අතරමංව සිටිනු පැහැදිලිව පෙනිණි. ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නය තීව්‍රවීම හා බෙදුම්වාදී අභියෝගය ජාත්‍යන්තරකරණය වීම නිසා ඉස්මතු වූ ප්‍රශ්නවලට මුහුණදීමට පැහැදිලි දැක්මක් හෝ වැඩ පිළිවෙළක් විදේශ ප්‍රතිපත්තියට නොවීය. මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රශ්නය සාර්ථක ලෙස අමාන්ත්‍රණය කිරීමට ප්‍රවේශයක් නොතිබීම නිසා රට පිළිබඳව ජාත්‍යන්තර ප්‍රතිරූපය දැඩි ලෙස පහත වැටිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙෂ බෙදුම්වාදී බලවේගවලට ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. විදේශ ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ ඉස්මතු වූ ප්‍රශ්නයන්ට මුහුණ දීමට පැවති රජයට පැහැදිලි දැක්මක් හෝ විදේශ අමාත්‍යාංශයට නිවැරදි වැඩපිළිවෙළක් නොතිබුණි. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිතුරන් ඈත්වී ගොස් අප වේගයෙන් හුදකලා විය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිසි කළමණාකරණයකින් තොරව දැඩි ලෙස අවුල් වී තිබුණි. රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා දක්‍ෂ නිලධාරීන් පත් නොකිරීම හා රාජ්‍ය තාන්ත්‍රික සේවයට දේශපාලන ගජමිතුරන් පත් කිරීම කැපී පෙනුණි. මෙම පසුබිම යටතේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති වූ පසු අවධානය යොමුවිය යුතුව තිබූ ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියයි. 

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව නැවත දිශාගත කිරීමේ ප්‍රථමාරම්භය වූයේ  විදේශ අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒ සදහා විදේශ අමාත්‍යාංශයට නව නියමුවෙක්  අවශ්‍ය විය. කෘතහස්ත අන්තර්ජාතික සිවිල් සේවකයෙකු වූ ලක්‍ෂමන් කදිරගාමර් මහතා තෝරා ගෙන ඔහුට දේශපාලනයට පිවිසීමට ආරාධනා කොට ඔහු විදේශ අමාත්‍යාවරයා ලෙස පත් කිරීම එහි පළමු පියවර විය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ පෘථුල ජාත්‍යන්තර දේශපාලන දැක්ම හා කදීර්ගාමර් ඇමතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික කෘතහස්ත බව එකට මුසුවීම හරහා විදේශ ප්‍රතිපත්තිය නැවත වරක් ක්‍රමවත්ව ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා නිවැරදිව දිශානතිගත වීම ආරම්භ විය. ජාත්‍යන්තර හා කලාපීය භූ දේශපාලන වර්ධනයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නොබැඳි විදෙස් පිළවෙත වර්ධනය කර ගනිමින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නව තලයකට ගෙන ඒම ඇයගේ මූලික අරමුණ විය. සිය පියාගේ හා මවගේ කීර්තීමත් විදේශ ප්‍රතිපත්ති සාධනයේ උරුමය ඇයට ඒ සඳහා විශාල පිටිවහලක් විය. විදේශ ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ ශක්තිමත් ලෙස පියවර ගැනීමට බණ්ඩානායක දියණියක ලෙස ඇය ඒ වනවිටත් හිමි කර ගෙන තිබුණු අන්තර්ජාතික කීර්තිය මෙන්ම ජාත්‍යන්තර තලයේ ඇය සතුව තිබු සමාජ ප්‍රාග්ධනය ඇයට හැකියාව ලබා දී තිබිණි. එය වඩාත් උද්දීපනය වූයේ තත්කාලීන ජාත්‍යන්තර දේශපාලනයේ නව ප්‍රවණතාවන් පිළිබදව ජනාධිපතිතුමිය දැක්වූ අසීමිත උනන්දුව හා විනිවිද ගිය දැනුම නිසාය. සෑම කැබිනට් රැස්වීමකින්ම පසුව ලක්‍ෂ්මන් කදිර්ගාමර්  විදේශ අමාත්‍යවරයා සමඟ වෙනම අන්තරජාතික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාවන් පැවැත්වූ අතර ඒ තුළින් අවශ්‍ය නිසි මඟ පෙන්විම ලබා දෙනු ලැබීය.

නව අභියෝගයන්ට මුහුණ දිම වස් විදේශ අමාත්‍යාංශය පෙළ ගැස්විමේ මිළඟ පියවර එහි අභ්‍යන්තර ප්‍රතිසංස්කරණයන් දියත් කිරීමයි. එක අතකින් පළපුරුදු විදේශ සේවා නිලධාරීන් නැවත බලගන්වමින් ඔවුනට ලෝකයේ ප්‍රධාන කේන්ද්‍රයන් හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුත සේවාවේ වගකීම් පැවරූ අතර අනික් අතට  දක්‍ෂ පුද්ගලයින් විදේශ දුත සේවාවට බඳවා ගැනීම සඳහා පියවර ගත්තේය. කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව තරග විභාග හා සම්මුඛ පරීක්‍ෂණ මඟින් තරුණ දක්‍ෂ නිලධාරීන් විදේශ සේවාවට ඇතුළත් කර ගැනීම මෙහිදී සිදුවිය.  ශ්‍රී ලංකාවේ විදේශ දුත සේවාවේ කීර්තිය සහ ගෞරවය නැවත ස්ථාපිත වීම මෙමඟින් සිදුවිය.

අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ මඟින් නව අභියෝගයන්ට මුහුණදීම සඳහා විදේශ අමාත්‍යාංශය සූදානම් කළ පසු ලෝක දේශපාලනයේ නව වර්ධනයන්ට අනුරූපව විදේශ ප්‍රතිපත්ති සාධනය වෘත්තීමය තලයකට ගෙන ඒම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය යටතේ දියත් විය. එසේ කිරීමේදී විදේශ ප්‍රතිපත්ති සාධනය මූලික ප්‍රස්තුතයන් තුනක් මත පදනම් විය.

               1.විදේශ ප්‍රතිපත්තියේ අරමුණ සහ ඉලක්ක පැහැදිලිව හඳුනා ගෙන ඒවා  ප්‍රමුඛතා ගත කිරීම.

                2. එම අරමුණු සහ ඉලක්ක ඉටුකර ගැනීම සඳහා අපගේ ශක්තීන් සහ දුර්වලතා සැලකිල්ලට ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම.

              3. හඳුනාගත් ක්‍රියා මාර්ග දියත් කිරීම සඳහා අදාළ අවකාශයන් තුළ රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණයන් සකස් කොට ඒවා සවිබල ගැන්වීම.

විදේශ ප්‍රතිපත්ති සාධනය යනු ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිතව වෘත්තීයමය නිපුණතාවයකින් යුතුව ප්‍රවේශ විය යුතු ක්‍ෂේත්‍රයක් වන බව දැඩිව අවධාරණය කළේ මෙම පසුබිම යටතේය. විදේශ ප්‍රතිපත්ති සාධනය සඳහා ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ගේ සහාය ලබාගැනීම සඳහා වැඩසටහනක් සකස් කිරීම මෙහිදී වැදගත්ය. විශ්වවිද්‍යාල මෙන්ම පුද්ගලික අංශයේ විද්වතුන්ගේ සහාය ලබාගැනීම සඳහා විදේශ අමාත්‍යංශය තුළ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් ජනාධිපතිතුමිය හා විදේශ අමාත්‍යතුමාගේ නායකත්වයෙන් පත්කිරීම මෙහිදී සඳහන් කළ යුතුය. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ විවිධ ප්‍රතිපත්ති පත්‍රිකා සකස් කිරීම මෙම කමිටුවේ වගකීම විය. එමඟින් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අභන්තර සංකථනයක් වර්ධනය කිරීම හරහා නව ප්‍රතිපත්ති රාමුව සකස් කර ගැනීමට බලාපොරොත්තු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1994 න් පසුව රටේ ජාතික අපේක්‍ෂා ඉටුකර ගැනීමට හැකිවන අයුරින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව දිශානතිගත විය.

ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනක බාහිර ආරක්‍ෂාවේ පළමු මෙන්ම අවසාන පවුර වන්නේ යහපත් රාජ්‍යතාන්ත්‍රිකත්වයයි. එය ඇයගේ විදේශ ප්‍රතිපත්තියේ එක් ප්‍රධාන සංකල්පීය පදනමක් විය. ජාතික අවශ්‍යතා පිළිබඳව නිවැරදි තක්සේරුවකින් යුතුව විදේශ ප්‍රතිපත්තියේ ඉලක්ක හඳුනාගැනීම ප්‍රතිපත්ති රාමුවේ මූලික අවශ්‍යතාවක් විය. ඒ අනුව ජාත්‍යන්තර අවකාශය තුළ බෙදුම්වාදී අභියෝගයන් පරාජය කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාව විය. ඊට අමතරව ආර්ථික සංවර්ධනය සඳහා ආයෝජන ආකර්ශණය කර ගැනීම හා පළුදු වී ගිය ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමට වැදගත් තැනක් හිමි විය. වෙනස්වන ලෝක දේශපාලනය තුළ රටක අභ්‍යන්තර ප්‍රතිපත්තිය හා විදේශ ප්‍රතිපත්තිය අතර ඇති අන්‍යෝන්‍ය සබඳතාව සහ බලපෑම ග්‍රහණය කරගැනීම සාර්ථක විදේශ ප්‍රතිපත්තියක අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ. රාජ්‍යයේ අභ්‍යන්තර දේශපාලන සුජාත බව හා ජාත්‍යන්තර තලය තුළ විශ්වාසනීයත්වය ඉන්ද්‍රීය ලෙස එකට බැදුණු අංග දෙකක් වේ. ඒ අනුව විදේශ ප්‍රතිපත්තිය යනු අභ්‍යන්තර ප්‍රතිපත්තිම‍යේම දිගුවක් වේ.

ජනවාර්ගික අර්බුදයට ‍දේශපාලන විසදුමක් ලබාදීම හා ‍‍කොටි සංවිධානය මගින් ඉදිරිපත් වු ‍බෙදුම්වාද‍යේ සන්නද්ධ අභි‍යෝගය යුද ‍පෙරමුණ තුළ පරාජය කිරීම එකට බැදුණු ක්‍රියාදාමයක් විය යුතු බව ජනාධිපති කුමාරතුංග දැඩි ‍‍ලෙස විශ්වාස කළාය. ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලබාදීම මගින් ර‍ටේ සියලු ජනවර්ගයන්ට ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාදාමයට සක්‍රීය ‍ලෙස දායකවීමට ඇති ඉඩප්‍රස්ථා පුළුල් කිරීම ‍බෙදුම්වාද‍යේ සන්නද්ධ අභි‍යෝගය ‍දේශපාලන වශ‍යෙන් පරාජය කිරීමට මග සකස් කරන බව ද ජනාධිපතිතුමිය ප්‍රකාශ කළාය. එ‍සේම ජනවාර්ගික අර්බුදයට ‍දේශපාලන විසදුමක් ලබාදීමට ශ්‍රී ලංකා රජ‍යේ ඇති කැපවීම ජාත්‍යන්තර තලය තුළ ‍බෙදුම්වාදී ‍දේශපාලන ව්‍යාපෘතිය පරාජය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් විය. රටතුළ ත්‍රස්තවාදි කටයුතු ‍බෙදුම්වාදී යුද්ධය පවත්වා ගැනීම සදහා ජාත්‍යන්තර තලය තුළ ‍කොටි සංවිධානය ගෙන ගිය මුදල් රැස් කිරීම්, අවි මිලදි ගැනිම්, අවි ජවාරම්, නීති වි‍රෝධි මිනිස් ජාවරම් ලබාදුන් ශක්තිය අති විශාල විය. ජාත්‍යන්තර ‍දේශපාලනය තුළ ‍බෙදුම්වාදය පරාජය කිරීම සදහා ශ්‍රී ලංකා‍වේ රජය සිය සුජාතභාවය නැවත ලබා ගත යුතු විය. ඒ සදහා ජනවාර්ගික ප්‍රශ්නයට ‍දේශපාලන විසදුමක් ඇතිකර ගැනීම සදහා ශ්‍රී ලංකා රජ‍යේ ඇති අවංක බව හා කැපවීම සහතික කිරීම මූලික අවශ්‍යතාවක් විය. ‍කොටි සංවිධානය ඒ පිළිබදව සාකච්ඡා කිරීම ප්‍රති‍‍ක්‍ෂේප  කරද්දී පවා ඒක පාර්ශ්විකව ‍දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම හා ‍දේශපාලන විසදුමක් සදහා රට සුදානම් කිරීම මගින් ජාත්‍යන්තර තලයේ  ශ්‍රී ලංකා‍වේ සුජාත බව තහවුරු ‍කෙරිණි. ‍කොටි සංවිධාන‍යේ අධම බව ‍මෙන්ම එය ත්‍රස්තවාදී රාමු‍වෙන් පිටට පැමිණිමට ඇති අකැමැත්ත ද ‍ලෝකය හමු‍වේ නිරුවත්ව ප්‍රදර්ශනය විය. අවි ජාවරම් හා අ‍නෙකුත් ත්‍රස්තවාදී ක්‍රියා ජාත්‍යන්තර ‍දේශපාලනය තුළ නිරාවරණය කිරීම නිසා ‍කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ‍ලෙස ‍ලෝක‍යේ ප්‍රධාන රටවල් එය තහනම් කිරීමට පියවර ගනු ලැබු‍වේ ‍මෙම යුග‍යේදීය. 9/11 සිදුවීමට ‍පෙර එනම් 1998 දි එක්සත් ජනපදය ද 2000 දී බ්‍රිතාන්‍යය ද ‍කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර එය තහනම් ‍කෙරිණි.

එයට සමගාමීව ‍කොටි සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදී ‍දේශපාලන ප්‍රවාහයට ක්‍රමිකව ‍ගෙන ඒම සදහා ජාත්‍යන්තර බලපෑම ‍යොදා ගැනීමට වැඩපිළි‍වෙළක් ද දියත්කරනු ලැබීය. ඒ සදහා තුන්වන පාර්ශ්වීය මැදිහත්වීමක් ලබාගැනීම සදහා පියවර ගනු ලැබීය. එහිදී පිළිගත් රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ග ‍මෙවලම් වු සද් ප්‍රයාශය(Good Office), පහසුකම් සැපයීම (‍Facilitation), මැදිහත් වීම(Mediation) වැනි ක්‍රියාමාර්ග ‍මෙන්ම ප්‍රගාමි නියුක්ත වීම (Proactive Engagement), සමීප රාජ්‍ය දූත‍ ‍සේවය (Proximate Diplomacy) හා ත්‍රසර රාජ්‍ය දූත ‍සේවය (Shuttle Diplomacy) වැනි රාජ්‍ය තාන්ත්‍රික ‍මෙවලම් විවිධ අවකාශයන් තුළ අවස්ථානුකුලව ‍යොදාගනු ලැබිය. ‍මෙම ප්‍රථමාරම්භයන්ට ‍කොටි සංවිධානය යහපත් ප්‍රතිචාරයක් ‍නොදැක්වීම නිසා සිදුවූ‍යේ ‍කොටි සංවිධානය ජාත්‍යන්තර තලය තුළ ‍දේශපාලන වශ‍යෙන් පරාජයට පත්වීම හා රට තුළ යුදමය වශ‍යෙන් පරාජය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විමයි.

ජාත්‍යන්තර  ‍දේශපාලන‍යේ නව ප්‍රවණතාවන් පිළිබදව කුමාරතුංග ජනාධිපතිතුමියට පුළුල් දැක්මක් තිබිණි. ශ්‍රී ලංකා‍‍වේ සාම්ප්‍රදායික ‍නොබැදි පිළි‍වෙත නව තලයකට ‍ගෙන ඒම සදහා එය දැඩි ‍ලෙස උපකාරී විය. සීතල යුද්ධය නිමාවී‍මෙන් පසුව, වි‍‍ශේෂ‍යෙන්ම ‍ගෝලීයකරණය ‍වේගවත් වි‍මේ ප්‍රවණතාව තුළ ජාත්‍යන්තර ‍දේශපාලන සන්දර්භ‍යේ කැපී‍පෙ‍නෙන ‍වෙනස්කම් සිදුවිය. එහි ප්‍රධාන වර්ධනයක් වූ‍යේ ජාත්‍යන්තර ‍පොදු අවකාශයක (International Public) වැඩීමයි. ඒ සමගම අන්තර්ජාතික දේශපාලන‍යේ රාජ්‍ය ‍නොවන පාත්‍රයන්‍‍ගේ (Non-state Actors) භූමිකාව ‍නොවූ විරූ ‍ලෙස වැදගත් විය. එම භූමිකාව ‍නොසලකා සිටීමට කිසිම රාජ්‍යයකට හැකියාවක් නැත. එය ‍තේරුම් ‍ගෙන ශ්‍රී ලංකා‍‍වේ විදේශ ප්‍රතිපත්ති සාධන‍යේදී සාධකයක් ‍ලෙස අන්තර්ජාතික ‍පොදු අවකාශය සලකා ඒ පිළිබදව අවධානය දැක් වු රාජ්‍ය නායිකාව වූ‍යේ ජනාධිපති කුමාරතුංග යි.

නව  ජාත්‍යන්තර  ‍දේශපාලන‍ සන්දර්භය තුළ රාජ්‍ය පාත්‍රයන් (State Actors) ‍මෙන්ම බහුවිධ රාජ්‍ය ‍නොවන පාත්‍රයන් ක්‍රියාත්මක වීම නිසා ජාත්‍යන්තර  ‍දේශපාලන‍යේ තීරණ ගැනී‍‍මේ බහුවිධ ඒකක විවිධ ක්‍ෂේත්‍රයන් තුළ වර්ධනය විය. ‍මෙම තත්වයන් යට‍තේ මීට ‍පෙර අනුගමනය කළ රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගික ‍මෙවලමක් වූ බලතුලනය (Balance of Power) හා බැදි ක්‍රියාමාර්ග දැන් යල් පැනගිය ඒවා බවට පත්විය. ඒ අනුව වි‍දේශ ප්‍රතිපත්තියේ ඉලක්කය වන්‍‍නේ බලතුලනය ‍නොව වි‍දේශ සබදතා කළමනාකරණය කිරීමයි. පසු සීතල යුද්ධ සන්දර්භය තුළ එක් ප්‍රස්තුතයකදී එක් ආකාරයක බල ‍පෙළ ගැස්මක්  ඇතිවන අතර ‍වෙනස් ප්‍රස්තුතයකදී ඊට වඩා ‍වෙනස් බල‍පෙළගැස්මක් ඇතිවීම මීට ‍හේතුවයි. ‍මෙය ‍තේරුම් ‍ගෙන වි‍දේශ සබදතා කළමනාකරණය කිරීම වි‍දේශ ප්‍රතිපත්ති‍යේ නව ‍තේමාව බවට පත්විය.

ජාත්‍යන්තර  ‍දේශපාලන‍යේ ‍පොදු අවකාශය වැදගත්වීමට හා සමගාමීව මානව හිමිකම්, යහපාලනය, වගවීම හා විනවිද බව තවදුරටත් හුදු අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න ‍නොවීය. එය ජාත්‍යන්තර  ‍දේශපාලන‍යේ ද සාධක බවට පත්විය. මානව ආරක්ෂාව (Human Security) පිළිබද සංකල්පයේ වැඩීමද ‍මේ සමග සිදුවිය.ඒ හා අත්වැල් බැදගත් තවත් ප්‍රවණතාවක් වූ‍යේ එක්සත් ජාතීන‍්ගේ සංවිධාන‍යේ භූමිකාව නැවත සකස් ‍වෙමින් ජාත්‍යන්තර  ‍දේශපාලන‍යේ නව භූමිකාවක් ඉටු කිරීමට ඉදිරියට පැමිණිමයි. මානව ආරක්ෂාව පිළිබද ‍කොමිසම හා මානව ‍හිමිකම් කොමිසම වැනි එක්සත් ජාතීන්ගේ පවුලට එක් වු නව ආයතන මෙන්ම නව ප්‍රඥප්ති මගින් ‍මෙම භූමිකාව පිළිබිඹු විය. එම වර්ධනයන් ‍නොසලකා කටයුතු කිරීම වි‍දේශ ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ ගැඹුරු අර්බුදයන් ඇතිකරන බව ‍තේරුම් ‍ගෙන ඒ අනුව වි‍දේශ ප්‍රතිපත්ති‍ය සකස් කරගත් රාජ්‍ය නායිකාව වු‍යේ ජනාධිපති කුමාරතුංගයන්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යේ නව භූමිකාවත් සමග අන්තර්ජාතික ‍දේශපාලන‍යේ නව කෘත්‍යමය ක්‍ෂේත්‍රයන් (Functional Areas) හා යාන්ත්‍රණයන්(Machanisms) වර්ධනය විය. ජාතික රාජ්‍යයේ සාම්ප්‍රදායික බලසීමාවන් අතික්‍රමණය කරමින් නව අන්තර්ජාතික පටිපාටින් (International Regimes) වල වැඩීම වි‍දේශ ප්‍රතිපත්ති‍ය සාම්ප්‍රදායික රාමු‍වෙන් මිදී නව මානයන් ‍වෙත ‍යොමු කිරීමට බලක‍ළේය. අන්තර්ජාතික පටිපාටින් ‍ගේ වැඩීම නිසා වි‍දේශ ප්‍රතිපත්ති‍ය කළමනාකරණය කිරීම දැඩි  වෘත්තියමය  නිපුණත්වයකින් යුතුව කළයුතු  වි‍ශේෂඥ ක්‍ෂේත්‍රයක් බවට පත්විය. එය මැනවින් ‍‍තේරුම් ‍ගෙන කුමාරතුංග ජනාධිපතිතුමිය ඒ සදහා  වි‍දේශ ‍සේවය සුදානම් කිරීමට ක්‍රමවත් වැඩපිළි‍වෙළක් සැලසුම් කළාය. එහි ප්‍රතිඵලයක් ‍‍ලෙස ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තල‍යේදී ජාතික වශ‍‍යෙන් උනන්දු වන කාරණා පිළිබද පැහැදිලි දැක්මකින් යුතුව ශක්තිමත් ‍ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබිණි.

වි‍දේශ ප්‍රතිපත්ති‍ සාධන‍යේදී ලංකාවට අදාළ මූලික භූ ‍දේශපාලන අවකාශයන් හදුනා‍ගෙන එම අවකාශයන් තුළ ඇති වි‍ශේෂතාවන් සලකා ගනිමින් කටයුතු කිරීම වි‍දේශ ප්‍රතිපත්ති‍ය වඩාත් වෘත්තිමය තලයකට ‍ගෙන ඒමට අත්‍යවශ්‍ය ‍‍වේ. ශ්‍රී ලංකා‍වේ වි‍දේශ ප්‍රතිපත්ති‍යට අදාළ අවකාශයන් තුළ ශ්‍රී ලංකාව උනන්දු වන කාරණා වඩාත් ක්‍රමවත්ව ඉටුකර ගැනීමට අවශ්‍ය ප්‍රධාන ‍දේශපාලන රාමුන් පහක වි‍ශේෂයන් හදුනා ගැනීම වැදගත් විය.

 

  1. දකුණු ආසියාතික උප කලාපීය රාමුව

  2. අප්‍රිකාව ද ඇතුළත්වන ඉන්දීයානු සාගරබද කලාපීය  රාමුව

  3. බටහිර යුරෝපය හා ඇ‍මෙරිකා එක්සත් ජනපදය ඇතුළත් වන ‍ලෝක ‍දේශපාලන‍යේ බල‍කේන්ද්‍ර රාමුව

  4. නවක ‍ලෙසින් වැදගත් වු එක්සත් ජාතීන්‍‍ගේ සංවිධානය හා ඒ හා බැදි එක්සත් ජාතීන්‍‍ගේ සංවිධාන පවුල

  5. අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා අ‍නෙකුත් සංවිධාන

‍මෙහිදී ශ්‍රී ලංකාවට විශේෂ‍යෙන්ම වැදගත් වූ අවකාශයක් ‍ලෙස දකුණු ආසියාතික අවකාශ‍යේ වන බල ‍පෙළගැස්මට අනුකූලව වි‍දේශ ප්‍රතිපත්ති‍ය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය විය. දකුණු ආසියා භූ ‍දේශපාලන තත්වයන් ‍නොසලකා කටයුතු කිරී‍මේ ප්‍රතිඵලයක් ‍ලෙස 1980 දශක‍යේදී ශ්‍රී ලංකාවට ඉතා අධික මිලක් ‍ගෙවීමට සිදු විය. ඉන්දියාව ප්‍රරෝධනීය (Coercive) රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ලංකාවට එරෙහිව දියත් කර ලංකා‍වේ අභ්‍යන්තර අවකාශයට මැදිහත් විය. නැවත එවැනි මැදිහත් වීමකට ඇති අවස්ථා ඇහිරිය යුතු විය. ලංකා‍වේ වි‍දේශ ප්‍රතිපත්ති‍‍යේ එක් ප්‍රධාන අරමුණක් වන්‍‍නේ ඉන්දීයානු සාධකය කළමනාකරණය කිරීමයි. ඉන්දීයාව ‍ලෝක බලයක් බවට ‍වේග‍යෙන් පත්වීමත් සමග ‍මෙහි වැදගත්කම වඩාත් වැඩි විය. ඉන්දියාව සමග ද්වි පාර්ශ්විය සබදතා විවිධ ක්‍ෂේත්‍රයක් තුළ ශක්තිමත් ‍ලෙස පවත්වා‍ගෙන යන අතර ඒවා සාර්ක් රාමුව තුළට ‍ගෙන බහු පාර්ශ්වීය තලයක් තුළ අසමාන බව සමනය කිරීමට කටයුතු කිරීම දකුණු ආසියාතික ප්‍රතිපත්ති‍යේ මූලික හරය විය. සාර්ක් රාමුව නවතලයකට අවතීර්ණ වූ බව සෆ්ටා(Safta) ගිවිසුම මගින් පැහැදිලි විය. අසමාන බලයන් ‍දෙකක් අතර ද්වී පාර්ශ්වීය සබදතාවන්හිදී එකිනෙකාට ‍වෙනස් ප්‍රතිපත්ති ස්ථාමයන් ඉදිරිපත් වූ විට ‍යොදා ගන්නා උපාය මාර්ග වන අනුනයනය (Persuation) හා එකග කරවා ගැනීම වැනි නිවාරක රාජ්‍ය දූත ‍සේවා ඉන්දු ලංකා සබදතාවන් කළමනාකරණය කිරීමට ‍යොදා ගනු ලැබීය. ශ්‍රී ලංකා‍වේ ජනවාර්ගික ප්‍රශ්නය පිළබදව ඉන්දියා‍වේ සං‍වේදී බව  ‍තේරුම් ‍ගෙන ඉන්දියානු මැදිහත්වීමකට ඉඩක් ‍‍නොතැබීමට කටයුතු කිරීම අතිශයින් වැදගත් ‍විය. ඉන්දියන් සාගර සාම කලාප යෝජනාව මැකී ගිය පසුව ඉදිරියට පැමිණි ඉන්දියන් සාගර වට සංවිධානය (Indian Ocean Rim Association) හා බිම්ස්‍ටෙක් (BIMSTEC) පර්ෂදය තුළ හා ක්‍රියාකාරී ‍වෙමින් ශ්‍රී ලංකාව ප්‍රගාමි භූමිකාවක් ඉටු කිරිමට ඉදිරිපත් විය. ඉන්දීය සාගර රාමු‍වේදී ශ්‍රී ලංකා‍වේ ජාතික අවශ්‍යතා ඉටුකරගැනීම සදහා පැහැදිලි දැක්මකින් යුතුව කටයුතු කිරී‍මේදී ආසියා‍වේ චීනය හා ජපානය ඇතුළු අ‍නෙකුත් බලවතුන් සමග සබදතා වර්ධනය කරගැනීමට පියවර ගනු ලැබීය. චීන‍යේ ‍වේගවත් වර්ධනය ඉන්දියන් සාගරික කලාප‍යේ කැපී ‍පෙ‍නෙන සාධක‍යක් විය. එහිදී ඉන්දීයා‍වේ උපාය මාර්ගික සං‍වේදීතාවන් පිළබදව සවිඥානික ‍වෙමින් ඉන්දියන් සාගරික රාමුව තුළ ශ්‍රී ලංකා‍වේ වි‍දේශ ප්‍රස්ථා පුළුල් කරගැනීමට කටයුතු කිරීම නිසා කුමාරතුංග ජනාධිපතිතුමිය‍ගේ ධූර කාලය අවසන් වන විට ශ්‍රී ලංකා‍වේ වි‍දේශ ප්‍රතිපත්ති‍ය ඉන්දියන් සාගර කලාප‍‍යේ භූ ‍දේශපාලන වර්ධනයන්ට අනුකුලව ර‍ටෙහි ජාතික අවශ්‍යතා ඉටුකරගැනීමට හැකි අයුරින් දැඩි වෘත්තීයමය නිපුණතාවක් හා පැහැදිලි දැක්මක් සහිතව දිශානතිගතව තිබිණි. 

2005 අ‍‍ගෝස්තු මස 12 දින ‍කොටි සංවිධානය කදිරගාමර් ඇමතිතුමා ඝාතනය ක‍ළේය. ඒ වසර අවසාන‍යේ කුමාරතුංග ජනාධිපතිතුමිය‍ගේ නිල කාලය අවසන් විය. ඉන්පසුව ජනාධිපති කුමාරතුංග  යට‍තේ ‍ගොඩනැගුණු වි‍දේශ ප්‍රතිපත්ති‍යේ ජීවය ක්‍රම‍යෙන් ‍බොද වීමට පටන්ගත් අතර එහි පදනම්වලින් ක්‍රම‍යෙන් ඉවත් වීම සිදුවිය. උපායමාර්ගික දැක්මකින් ‍තොරව අභි‍යෝගයන්ට ප්‍රතිචාර දැක්වීම නිසා වි‍දේශ ප්‍රතිපත්ති‍ය නැවත වරක් 1994 ට පෙර තිබූ අයුරින් අතරමං විය. නිසි පරිචයක් හා ‍වෘත්තීයමය පුහුණුවක් නැති දේශපාලන හිතවතුන් හා  දේශපාලන බලධාරීන් ‍ගේ ලාබාල ඥාතීන් රාජ්‍ය දූත ‍සේවා‍වේ වැදගත් තනතුරුවලට පත් කිරී‍මේ ප්‍රතිඵලයක් ‍ලෙස එහි ගුණාත්මක බව ‍වේග‍යෙන් පහළ වැටිණි.

2009 න් පසු ‍මෙම තත්වය තවත් උත්සන්න වූ අතර ජාත්‍යන්තර තලය තුළ රට ‍වේගයෙන් හු‍දෙකලා විය. වි‍‍දෙස් සබදතා ක්‍ෂේත්‍රයේ ඉස්මතු වූ ප්‍රශ්න නිසි ‍ලෙස කළමනාකරණය ‍නොකිරීම නිසා ඒවා අර්බුදයන් දක්වා වැඩිණි. 2015 ජනාධිපතිවරණ‍යෙන් පසු ඇති වූ ‍දේශපාලන ‍වෙනසත්  සමග වි‍දේශ ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ ද නව ප්‍රථමාරම්භයක් සදහා අවස්ථාව විවර විය. වි‍දේශ ප්‍රතිපත්ති ක්‍ෂේත්‍රයේ අර්බුද‍යෙන් ‍ගොඩ ඒම සදහා නැවත වරක් වි‍දේශ ප්‍රතිපත්ති‍ සාධන‍යේ චන්ද්‍රිකා ලකුණ ඉස්මතු කරගැනීම වැදගත් ‍වේ . එය ග්‍රහණය කරගනිමින් නව තත්වයන්ට අනුව එය වර්ධනය කරගැනීම මගින් ශ්‍රී ලංකා‍වේ වි‍දේශ ප්‍රතිපත්ති‍ය නැවත නිවැරදි දිශානති ගත වනු ඇත.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි කීරවැල්ල

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found