Language Switcher

V2025

කොරෝනා කාලේ ඉගෙනුම එපා කරවන ඔන්ලයින් ඉගෙනුම !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
දුරස්ථ ඉගෙනුම (Distance Learning) ඔන්ලයින් ඉගෙනුම (e- Learning) හයිබ්‍රිඩ් ඉගෙනුම (Hybrid learning/Blended learning) වැනි යෙදුම් වර්තමානයෙහි රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ යෙදුම් බවට පත්ව තිබේ. මෙම වචන සවනත වැටෙන විට සමහර ගුරුවරු, බොහෝ දරුවෝ මෙන්ම දෙමව්පියන්ද මුහුණ අඳුරු කරගන්නා ආකාරය අද සුලබ දසුනකි.  
 
කොරෝනා විසින් අපට අහිමි කල දෑ බොහෝය. ඒ අතරින් ද ප්‍රමුඛතම සංසිද්ධිය වන්නේ දරුවන්ට පාසල අහිමි කිරීමය. මානව ඉතිහාසයේ අධ්‍යාපනය බරපතල ලෙසම  කඩාකප්පල්  වූ යුගය වශයෙන් කොරෝනා සමය හැඳින්විය හැකිය. අප වැනි රට වල ළමා පරපුරෙන් සියයට අනූ නමයක් පමණ පාසලෙන් ඈත් කිරීමට කොරෝනා සමත්ව තිබේ.
 
අද අප ජීවත් වන්නේ දැනුම පදනම් කරගත් සමාජයකය. දැනුම, ඥානය සහ තොරතුරු සමස්ත සමාජයේ ප්‍රාග්ධනය බවට පත් වෙමින් එහි උච්චස්ථානයට පැමිණෙමින් තිබෙන මොහොතක කොරෝනා වෛරසය විසින් එම දැනුම් සමාජය අක්‍රිය කර ඇත. වෛරසය අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආන්තික, ග්‍රාමීය සහ අර්ධ නාගරික ජනයාට විශේෂිතව ද, පොදුවේ මීළඟ පරම්පරාවටද දැනුම් සමාජය ජය ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනයට යතුර වූ පාසල අහිමි කර ඇත.
 
එමගින් පවුල තුළ නිර්මාණය වී ඇති ආතතිය සහ අවිනිශ්චිතභාවය සමස්ත සමාජයේම බලවත් තිගැස්මක් ඇති කිරීම වැඩි ඈතක නොවේ. මෙම වියමන මගින් උත්සාහ කරනු ලබන්නේ කොරෝනා විසින් අක්‍රිය කරනු ලැබූ ඉගෙනුම් ක්‍රියාවලිය සක්‍රීය කිරීමට ආදේශ වූ ඔන්ලයින් ඉගෙනුම(e-learning) ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ ශක්‍යතා, සීමා සහ යථාර්තයන් මෙරට අත්දැකීම් ඇසුරින් විමසා බැලීමයි.
 
ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශය !
 
කොවිඩ්- 19 විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන අවස්ථා ද උදා කරදී තිබේ. මේ වන විට ලෝකයේ විවිධ රටවල අධ්‍යාපනයට නව අර්ථකථන සහ ප්‍රවේශ ලබා දෙමින් ඉගෙනුම්- ඉගැන්වීම් පිළිබඳ නව මොඩලයන් අත්හදා බලනු ලැබේ. ඒවා බොහෝ දුරට  දුරස්ථ අධ්‍යාපන සංකල්පය මත පදනම් වී ඇත. අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය පහසුකම් කාරක(facilitator) බවට පත්කරගනු ලබන මෙම අධ්‍යාපන ප්‍රවේශයෙහි පදනම වන්නේ සහයෝගී ඉගෙනුම (collaborative learning) මගින් දැනුම ගොඩනැඟීමයි(construction of knowledge).
 
මෙහිදී අන්තර්ජාලය, තොරතුරු තාක්ෂණ මෘදුකාංග, නව තොරතුරු තාක්ෂණ මෙවලම් විසින් ගුරුවරයා සහ ශිෂ්‍යා මෙන්ම ශිෂ්‍යා සහ ශිෂ්‍යයා අතර ද සාකච්ඡා, අන්තර් ක්‍රියාකාරීත්වය, පවතින දැනුම පරික්ෂා කිරීම සහ අභියෝගයට ලක් කිරීම මෙන්ම සාක්ෂි සෙවීමට, නිරීක්ෂණයට සහ අලුතින් සිතීමට පහසුකම් සලසයි. 
මෙම ප්‍රවේශය මගින් වෙනස් වෙමින් පවතින සමාජයට අවශ්‍ය පුරවැසියන් ගොඩනගනු ලබයි. ඒ අනුව සිසුන් තුළ නිර්මාණශීලී විචාර චින්තනය(creative critical thinking), දැනුම ගොඩනැගීම(construction of knowledge), විශ්ලේෂණය, විකල්ප විසඳුම් සෙවීම, අවදානම් ගැනීම ආදී කුසලතා ප්‍රගුණ කිරීමට අපේක්ෂිතය.  
 
e- ඉගැන්වීම් -ඉගෙනුම් ක්‍රියාවලිය, සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපන ක්‍රියාවලියෙන් බොහෝ දුරට වෙනස් මුහුණුවරක් ගනී.  මෙහිදී සාම්ප්‍රදායික භෞතික පන්ති කාමරයේ ස්ථානය, “වර්චූවල්” (virtual) පන්ති කාමරයක් විසින් ගනු ලබයි. මෙම පරිවර්තනය සඳහා යොදා ගත හැකි විවිධ සමාජ, සංස්කෘතික, අධ්‍යාපන සහ මානසික මට්ටම් වලට ගැලපෙන තොරතුරු තාක්ෂණ මෙවලම් විශාල ප්‍රමාණයක් තිබේ.
 
එම මෙවලම් නිර්මාණශීලීව, සුමටව සහ ඵලදායිව අධ්‍යාපන අරමුණු සඳහා ගුරුවරුන් විසින් යොදාගැනේ. “වර්චූවල්” (virtual) පන්ති කාමරයක් සාම්ප්‍රදායික පන්ති කාමරයට වඩා ළමයාට ආකර්ෂණීය ස්ථානයක් වනවා පමණක් නොව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි, කාර්යක්ශම, ලාභදායී සහ මනා කාල කළමනාකරණය කරන්නක් බවටද පත්කර ගත හැකිය.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය සක්‍රිය ඉගෙනුම් ක්‍රියාවලියකට, විවිධත්වයෙන් යුතුව ඉගැන්වීමට, සිසුන්ගේ අවධානය වඩාත් හොඳින් රඳවා ගැනීමට, කරුණු වඩාත් හොඳින් පැහැදිලි කිරීමට සහ කරුණු වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඉඩ සලසයි.
වර්තමානයේ ඔන්ලයින් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා බහුලව භාවිතා කරන තොරතුරු තාක්ෂණ මෙවලම් වන්නේ “Zoom” සමග ඒකාබද්ධ කරනු ලැබූ “Moodle”, Google Class Room, “Black Board”, “Web Board”, සහ WebCT ය.
 
මෙම මෘදුකාංග සහ යෙදවුම්  බොහෝමයක් නොමිලේ බාගත හැකි ඒවාය. ඉහතින් සඳහන් ඉගැන්වීම් -ඉගනුම් භාවිතයට මෙන්ම විෂය අමුද්‍රව්‍ය තැන්පත් කිරීම සහ බෙදා හැරීම ඉගෙනුම් - ඉගැන්වීම් අන්තර්ගත නිර්මාණය කිරීම, සාකච්ඡා, අන්තර් ක්‍රියාකාරීත්වය, පැවරුම් බාරදීම සහ ඇගයුම, බහුමාධ්‍ය භාවිතය, සිසුන් පන්ති කාමරයෙන් පිටත ක්‍රියාකාරකම් වලට පෙළඹවීම, පාඨමාලා සහ කාලසටහන් කළමනාකරණය, ගුරුවරයා හා සිසුන් අතර ක්ෂණිකව පණිවිඩ හුවමාරුව, විභාග පැවැත්වීම සහ ඇගයුම, සිසුන්ගේ ප්‍රතිපෝෂණය ලබාගැනීම, ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය ආදී විවිධ අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග සහ යෙදුම් පහසුකම් සලසයි.
මෙම මෙවලම්වල විශේෂත්වය වන්නේ භාවිතා කරන්නාට ඉතා සුලු දැනුමක් සහ මූලික කුසලතා තිබෙන්නේ නම් භාවිතයට ගැනීමට තිබෙන හැකියාවයි. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ඔන්ලයින් අධ්‍යාපනය සඳහා මෙම මෙවලම් භාවිතයට අවශ්‍ය කුසලතා, දැනුම, යටිතල පහසුකම් සපයමින් පාසල් නොමැති වටපිටාවක් තුළ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කර දී තිබේ. 
 
ආණ්ඩුවේ   ඔන්ලයින් අධ්‍යාපන සූදානම !
 
2020 මාර්තු මාසයේ සිට මේ දක්වා මෙරට පාසල් තුළ කරනු ලබන අධ්‍යාපනය මුළුමනින්ම ඇනහිට තිබේ. කොරෝනා වෛරසය පැමිණීමට පෙර සිටම මෙරට පාසල් අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචනයක් සමාජය තුළ පැවතිණි.  පාසල් තුළ ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලිය සිසුන් බහුතරයකට මෙන්ම ගුරුවරුන්ට ද තරමක අප්‍රසන්න අත්දැකීමක් විය. ඒ සඳහා බලපානු ලබන සාධක සංකීර්ණය.
 
එහෙත් කොරෝනා වෛරසය මෙරට අධ්‍යාපන ක්‍රමය තීරණාත්මක වෙනස්කමකට භාජනය කිරීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙරට පාසල් අධ්‍යාපනය ඉහළ පෙළේ අධ්‍යාපනඥයින්, අධ්‍යාපන පරිපාලකයින්, කුසලතාපූර්ණ ගුරුවරුන්ගෙන් සන්නද්ධය. ඔවුන්ගේ මැදිහත්වීම මේ සඳහා ලබා ගත හැකිය. 
 
      කොරොනා වෛරසය හේතුවෙන් පාසල් වසා දමන විට ආණ්ඩුව පළමුව කළ යුතුව තිබුණේ පළමු මාස තුනක කාලය මෙරට පාසල් අධ්‍යාපනය ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, යාන්ත්‍රණ, යටිතල පහසුකම්, මගපෙන්වීම්, කුසලතා, සහ ආකල්ප සංවර්ධනය කිරීමේ  ක්‍රියාවලියකට යෑමයි.
 
මෙහිදී අන්තර්ජාල ඉගනුම්- ඉගැන්වීම් මෙවලම් පිළිබඳව සහ ඒවා භාවිතා කිරීමට පොලඹවන ආකල්පමය වෙනස් කිරීම් සඳහා වන පුහුණුව සහ කුසලතා ගුරුවරුන් තුළ සංවර්ධනය කිරීම පළමුව කළ යුතුව තිබිණි. මෙහිදී Moodle, සහ Google Class Room මෘදුකාංග පුහුණුව අනිවාර්ය අවශ්‍යතාවයක් විය. එහෙත් ආණ්ඩුව ඒ වෙනුවට කළේ භෞතික පන්ති කාමරයේදී ඉගැන්වූ විෂය නිර්දේශය, ඉගැන්වීම්- ඉගැන්වූ, ඇගයුම් ක්‍රම ඒ ආකාරයටම Zoom තාක්ෂණය මගින් කිරීමට පාසල් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දීමයි.
 
භෞතික පන්ති කාමරයේ උගන්වන විෂය නිර්දේශය, ඉගෙනුම්- ඉගැන්වීම් අන්තර්ගත, ක්‍රමවේද සහ මෙවලම්, “වර්චූවල්” (virtual) පන්ති කාමරයට නොගැලපෙන බව හෝ එසේ සිදු කිරීමෙන් ඉගනුමට සිසුන්ගේ තිබෙන ළැදියාවෙන් ඔවුන් බැහැර කරන බවට වැටහීමක් මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයින්ට තිබූ බවක් දක්නට නොමැත.
 
විභාග ඉලක්ක කරගත් කටපාඩම් ප්‍රවේශයක් සහිත පාසල් විෂය නිර්දේශය ඔන්ලයින් අධ්‍යාපනයට නොගැලපේ. අවම වශයෙන් දැනට පවතින විෂය නිර්දේශය 60% දක්වා අඩු කිරිමට මෙන්ම ඔන්ලයින් දුරස්ථ අධ්‍යාපන ප්‍රවේශයට ගැලපෙන පරිදි ඒවායේ අන්තර්ගතය නැවත සලකා බැලීමටත් අවධානය යොමු කළ යුතුව තිබිණි. 
 
මීට අමතරව පහත සඳහන් කරුණු කෙරෙහි ද අධ්‍යාපන ප්‍රතිපත්ති තීරකයින් ගේ අවධානය යොමු විය යුතුව තිබිණි.
 
1. පන්තිකාමර වල ඉගැන්වීමට පුරුදු වී, පන්ති කාමර මානසිකත්වයක, ආකල්ප, ඉගෙනුම් ක්‍රමවේද සඳහා පුහුණු වූ ඒ සඳහා අවශ්‍ය කුසලතා සංවර්ධනය කරගෙන සිටි ගුරුවරුන් ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් සඳහා පුහුණු කිරීම. ඔවුන් තුළ “වර්චූවල් (virtual) පන්තිකාමරයක වැඩ කිරීම සඳහා ආකල්පය වෙනස් කිරීම්, Moodle ආදී තොරතුරු තාක්ෂණ මෙවලම් නිර්මාණශීලීව සහ කාර්යක්ෂමව සහ ඵලදායිව භාවිතා කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම ද මුල් මාස තුන තුළ කළ යුතුව තිබිණි.
 
2. ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද අන්තර්ජාල පහසුකම්, පරිගණක සහ මෘදුකාංග නොමිලේ ලබා දීම, විෂය අමුද්‍රව්‍ය, අන්තර්ජාල මාධ්‍යයට ගැලපෙන පරිදි සම්පාදනය කිරීම අත්‍යවශ්‍යම කරුණක් විය. මෙරට අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්- දුරකථන සමාගම් කොරෝනා සමයේ අකාර්යක්ෂම සහ පාරිභෝගිකයා ගසා කන වංචා සහගත ව්‍යාපාර උපාය මාර්ග භාවිතා කිරීම නිසා ඔන්ලයින් අධ්‍යාපනයට මෙරට අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය අහිතකර ලෙස බලපෑ බව පෙනෙන්නට තිබේ. එම සමාගම් ලාභ උපාය මාර්ගවලින් බැහැර කර ඔවුන්ට තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට දිරි දීම සඳහා මැදිහත්වීම රජය විසින් සිදුකල යුතුව තිබිණි. 
 
3. පවුල සහ නිවස තුළ ඔන්ලයින් ඉගෙනුමට ගැලපෙන ඊට සහයෝගය ලැබෙන වටපිටාවක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසීම, ළමුන් තුළ සහ දෙමව්පියන් තුළ ඒ සඳහා වන ආකල්පමය වෙනසක් ඇති කිරීම, ඔන්ලයින් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ විභාග, ඇගයුම් ක්‍රම පිළිබඳ නිශ්චිත, විවෘත පැහැදිලි කිරීම්, මගපෙන්වීම්, නිර්ණායක රෙගුලාසි, ආදර්ශ ආකෘති, අධ්‍යාපන බලධාරීන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම.
 
ඔන්ලයින් අධ්‍යාපනයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ආණ්ඩුව සහ අධ්‍යාපන බලධාරීන් ඔන්ලයින් උගන්වල ගුරුවරුන්ගේ ඇඳුම ගැන නියෝග නිකුත් කිරීමට පටන් ගැනීම හාස්‍යයට කරුණකි.
 
පාසල් වසා දමා ඔන්ලයින් පාසලට මාරු වීමේ ප්‍රතිඵල
ඉහතින් සඳහන් කළ පියවර නිර්මාණශීලීව භාවිතයට නොගෙන භෞතික පන්තිකාමර ආකෘතිය, විෂය නිර්දේශය, විභාග ක්‍රම සහ ගුරුවරයා ඒ ආකාරයටම “වර්චූවල්” (virtual) පන්තිකාමරයට මාරු කිරීම පමණක් සිදු කිරීම නිසා මෙරට ළමා පරපුරට මෙන්ම ගුරුවරුන්ටද, දෙමව්පියන්ට ද අධ්‍යාපනය යන්න අමිහිරි අත්දැකීමක් බවට පත්ව තිබේ. 
 
පන්ති කාමරයේ දී භාවිත කළ විෂය නිර්දේශය, ඉගැන්වීම් රටාව භාවිතා කරමින් අන්තර්ජාල මාධ්‍යයේ ගති ලක්ෂණ පිළිබඳ සංවේදී නොවී, ඒකාකාරී කෑකෝ ගැසීම්, අන්තර් ක්‍රියාකාරිත්වයක් නොමැති, ක්‍රියාකාරකම් නොමැති, ඉහළ සිට පහළට කරනු ලබන වමාරන  ආකෘතියේ දේශන “වර්චූවල්” (virtual) පන්ති කාමරයෙන් සිසුවා බැහැර කිරීමට සමත්ව තිබේ. “Moodle” වැනි දියුණු, පහසුවෙන්, කාර්යක්ෂමව සහ ඵලදායිව භාවිතයට ගත හැකි අන්තර්ජාල අධ්‍යාපන මෙවලම් ඔවුන් භාවිතයට නොගනී. ඒ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය කුසලතා සහ පහසුකම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇත. 
 
  සිසුවා පන්ති කාමරයේ ඉන්න බව පරිගණක තිරය මත ගුරුවරයාට පෙනුනද බොහෝවිට භෞතිකව ඔහු එහි නැත. ඒ වෙනුවට ඔහු මානසිකව අක්‍රීයව හෝ පරිගණක ක්‍රීඩාවක් කරමින් හෝ කුතුහලය සහිත වෙබ් අඩවියක සැරිසරමින් සිටී. Youtube හරහා හුවමාරුවන “zoom” අකරතැබ්බ මීට කදිම උදාහරණයකි. තවදුරටත් ඉගෙනුම යනු ළමා පරපුර ආකර්ෂණය කරගන්නා ප්‍රපංචයක් නොවේ. එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල අතිශය භයානකය.
 
ඩිජිටල් අසමානතාව (Digital Divide)
 
ඔන්ලයින් අධ්‍යාපනය ඵලදායී සහ කාර්යක්ෂම වීමට නම් සෑම ගුරුවරයකුට මෙන්ම සිසුවෙකුට ද පරිගණකයක් මෙන්ම වේගවත් අඛණ්ඩ සීමා රහිත අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය. එමෙන්ම ඔවුන්ට පරිගණක සාක්ෂරතාවය මෙන්ම යම්තාක් දුරට ඉංග්‍රීසි භාෂා හැකියාව ද තිබිය යුතුය. එහෙත් මෙරට ග්‍රාමීය, අර්ධ නාගරික බහුතර ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ඉහත පහසුකම් මෙන්ම කුසලතා ද දුරස්ථ ය. ගැහැණු ළමයින්ගේ නිවසේ රාජකාරි සහ ශාරීරික සහ මානසික දුබලතා සහිත ළමයින් ආදී ආන්තික ප්‍රජා කණ්ඩායම්වල අධ්‍යාපන අවස්ථා පිළිබඳ තත්ත්වය මීටත් වඩා ඛේදනීය වී ඇත.
 
රටේ ජනගහනයෙන් අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ සියයට හතලිහකට පමණි. එයද කාර්යක්ශම සේවාවක් නොවේ. බොහෝ සිසුන්ට ගස් හෝ කඳු මුදුන්වලට වී මැදියම් රැයේ දී පවා ඔන්ලයින් පන්තිකාමරයට ප්‍රවේශවීමට අරගල කරන්නට සිදුව ඇත්තේ ඒ නිසාය.
ජනගහනයෙන් සියයට 125ක් පමණ ජංගම දුරකථන භාවිතා කරන බව ප්‍රකාශ වුවද ජංගම දුරකථනය ඔන්ලයින් ඉගෙනුම්- ඉගැන්වීම් සඳහා කාර්යක්ෂම සහ ඵලදායි පහසුකම් කාරකයෙකු නොවේ. ඒ අනුව මේ වන විට මෙරට සිසුන්ගෙන් සියයට හැටක් අධ්‍යාපනයෙන් බැහැර කර තිබේ. 
 
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට බහුතර ළමා පරපුරට මූලික මිනිස් අයිතිවාසිකමක් වන අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි වී දැන් වසරකට ආසන්නය. දැනුම පදනම් කරගත් සමාජයක ඔවුන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිතය. එය සාමකාමී සමාජ පැවැත්මට ද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.
 
වර්චූවල්” (virtual) පන්ති කාමරය සහ පවුල !
 
“වර්චූවල් (virtual) පන්ති කාමරයේ එක් කොටසක් වන්නේ නිවසයි. පාසල සහ පන්ති කාමරය බවට නිවස පත් කිරීමේ වගකීම දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් සතුය. ගෙදර දොරේ වැඩ සහ රූපවාහිනි යන්ත්‍ර හඬ, පවුලේ සාමාජිකයින්ගේ සහ සුරතලුන්ගේ ශබ්ද සහිත නිවසේ වටපිටාව හා  සම්බන්ධ ආකල්ප, සහ චර්යාවන් ළමයාට “වර්චූවල් (virtual) පන්ති කාමරයක් තුළ නිදහසේ අවධානයෙන් රැඳෙන්නට ප්‍රබල බාධාවක් බවට පත්ව තිබේ.
 
“වර්චූවල් (virtual) පන්ති කාමරයේ ඉගනුමට සුදුසු වටපිටාවක් සකසා දීම දෙමවුපියන්ගේ මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන්ගේ ද විශාල වගකීමක් වනවා පමණක් නොව ඒ සඳහා ඔවුන්ගේ කැපවීම ද අවශ්‍ය වේ. පොතපත කියවීමේ, පරිසරය සමඟ ගනුදෙනු කිරීමේ, ක්‍රීඩා කිරීමේ, සම වයසේ මිතුරන් සමග සාමූහික ක්‍රියාකාරකම් යෙදීමේ සහ විනෝද වීමේ අවස්ථාද දරුවන්ට උදා කිරීම සඳහා දෙමව්පියන් නිර්මාණශීලී ප්‍රවේශයක් කෙරෙහි යොමු වීම මෙන්ම ඒ වෙනුවෙන් කැප වීම ද අවශ්‍යය.
 
ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය
 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found