Language Switcher

V2025

නව ලිබරල්වාදය සහ නව ජාතිකවාදය අතර ඇති පොදු දෙය !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අද යුගයේ ජාතිකවාදීන් නිදහස් වෙළඳපල ක්‍රමයට විරුද්ධ නැත. ජාතිකවාදීන් "නිදහස් වෙළඳපල මූලධර්මවාදය" (මෙය කලක් ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට උප සභාපතිවරයෙකුද වූ ජෝසෆ් ස්ටිග්ලිට්ස් ගේ යෙදුමකි) වැළඳගෙන තිබේ. මෙය සැබවින්ම අලුත් යමක් නොවේ. 1980 දශකයේ නව ලිබරල් හැරවුම ආරම්භ වූයේම මාගරට් තැචර්ගේ සහ රොනල්ඩ් රේගන්ගේ නව-ගතානුගතිකවාදී ජාතිකවාදය සමග අතිනත ගෙනය. 
 
තම බටහිර ස්වාමීන් දෙදෙනාට පෙරම බලයට පත් ශ්‍රී ලංකාවේ ජේ.ආර් ජයවර්ධන ජනවාර්ගික ජාතිකවාදයේ අග්‍රගන්‍ය ප්‍රකාශකයෙකු විය. ඔහුගේ විවෘත ආර්ථික ව්‍යාපෘතිය ජාතිකවාදය, මිලිටරිවාදය සහ විධායක අධිකාරීත්වය සමග කදිමට ගැලපුණි. ජේ.ආර්ගේ පුරෝගාමියා වූ චිලියේ පිනෝචේද ඔහුගේ මග ගමන් කළ ආර්ජන්ටිනාවේ කාලෝස් මෙනම්ද, වෙනිසුවෙලාවේ කාලෝස් පෙරෙස්ද, බ්‍රසීලයේ ෆර්නැන්ඩෝ මෙලෝද, පේරුහි ඇල්බර්ටෝ ෆුජිමෝරිද ඔහු වැනිම අධිකාරීවාදීන් වූහ. ජේ.ආර්ගේ බලය සෙලවීමට පටන් ගත්තේ ඔහු අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් ලෙස ඉන්දීය ආධිපත්‍යයට හිස නමන්නට සිදු වීමෙන් සිංහල රණකාමී ජාතිකවාදයේ ධජය ඔහුගෙන් ගිලිහී යාම සමගය. එසේ නොමැතිව ජනවාර්ගික ජාතිකවාදයට නව ලිබරල්වාදය සමග එක්ව ගමන් කළ නොහැකි නිසා නොවේ. එය අසූව දශකය තුළ පවා පැවතිය හැකි වූ කසාදයකි.
 
සැබවින්ම නව ලිබරල්වාදය නව ජාතිකවාදයන් සමග සංකලනය වීමේ ජාත්‍යන්තර නිදසුන් ඕනෑ තරම් තිබේ. එසේනම්, ඒ දෙක අතරැති පොදු දෙය කුමක්ද? නව ලිබරල්වාදය සේම නව ජාතිකවාදයද පදනම් වන්නේ තනි පුද්ගලයා මතය. නව ජාතිකවාදීන් සාම්ප්‍රදායික සමූහයන් ගැන කොතරම් කතා කළද, එහි මූලික ආමන්ත්‍රණය යොමු වන්නේ පුද්ගලයා වෙතය. ඒ බොහෝ විට පුද්ගලික වාණිජ මාධ්‍ය භාවිත කරමින්ය. (එබැවින්, සිංහල ජාතික චින්තනවාදයේ දාර්ශනික ප්‍රකාශනය "මගේ ලෝකය" වීම පුදුමයට කාරණයක් නොවේ). නව ලිබරල්වාදීන් සේම නව ජාතිකවාදීන්ද රාජ්‍යය සහ පුද්ගලයා අතර සෘජු සම්බන්ධයක් පරිකල්පනය කරයි. පුද්ගලයා රාජ්‍යය සමග සම්බන්ධ කරන ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම සිවිල් සමාජ සාමූහිකත්වයන්ද වැදගත් කොට නොසලකයි. ඒවා ජන සම්මත පාලකයාගෙන් සිංහල බෞද්ධයා දුරස් කොට තබන යාන්ත්‍රණයන්ය. එපමණක් නොවේ. පාලක ආයතන පවා සාමූහික විය යුතු නැත. පාලකයා හොඳ සිංහල බෞද්ධයෙකු වීම ප්‍රමාණවත්ය. ඔහුව සෘජුව ආමන්ත්‍රණය කිරීමට සිංහල බෞද්ධ පුද්ගලයාට හැකි විය යුතුය. 
 
නව-ලිබරල්වාදීන් සේම නව-ජාතිකවාදීන්ද තම උන්නතිය සඳහා යම් යම් සමූහයන් නිර්මාණය කර ගන්නා බව සැබෑය. නමුත්, ප්‍රායෝගික දේශපාලනයේදී මේ දෙපිරිසම වැඩියෙන් විශ්වාසය තබන්නේ තනි පුද්ගලයන්, පුද්ගල ප්‍රතිරූප, පුද්ගල සබඳතා යනාදිය කෙරෙහිය. ඔවුන් පොදුවේ දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති සහ විශේෂයෙන් සංවිධාන ගත ශ්‍රමය යනාදියට එරෙහි වෙති. නමුත්, පක්ෂ හෝ සංවිධාන තුළ සිටින යම් යම් සුවිශේෂී පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබති. ඔවුන්ගේ බලය බොහෝ විට පදනම් වන්නේ සංවිධානගත නොවූ පුද්ගලයන් සහ සමාජ කාණ්ඩ මතය. හැනා අරෙන්ඩ් පැවසූ ලෙස අධිකාරීවාදයේ සරු බිම තැනෙන්නේ වෙළඳපලකරණය විසින් එතෙක් පැවති සාමූහික ජීවිතය විසුරුවා හැරීම මගිනි; අධිකාරීවාදී පාලකයින්ගේ ආමන්ත්‍රණයට ආකර්ෂණය වන්නේ හුදෙකලා වූ, අසරණ වූ, මුල් ඉදිරී ගියා වූ, යන එන මං නොදන්නා වූ, ආතක් පාතක් නැති වූ පැවැත්මවල්ය. නව ලිබරල්වාදය එවන් පැවැත්මවල් වඩ වඩාත් නිර්මාණය කරන අතර නව-ජාතිකවාදය එකී පැවැත්මවල් මත වැඩේ. 
 
මේ අනුව නව ජාතිකවාදීන් (නිදසුනක් ලෙස ජාතික චින්තනවාදීන්) නව ලිබරල් තර්කණය වැළඳගෙන සිටින්නේ මන්දැයි යන්න නිරර්ථක ප්‍රශ්නයකි. ගැටළුව ඇත්තේ ඒ දෙක අතර මූලධාර්මික වෙනසක් ඇතැයි පරිකල්පනය කළ විවේචකයින්ගේය. එසේම, පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු සංවිධානගත දේශපාලනයේ වැදගත්කම ප්‍රතික්ෂේප කොට පුද්ගල මැදිහත්වීම් ප්‍රමුඛ කොට සැලකීම වනාහී නව-ලිබරල් තර්කණයට අනුගත වීමක් ලෙස වටහා ගැනීම යුක්ති යුක්තය. ඊනියා සමාජ මාධ්‍ය දේශපාලනය මෙකී නව ලිබරල් තර්කණය හා කදිමට අනුගත වේ. 
 
අවසන් වශයෙන්, නව-ලිබරල්වාදය පරිශීලනය කොට දේශපාලනය තේරුම් කිරීම යනු දේශපාලනය ආර්ථිකයට ඌණනය කිරීමක් නොවන බවද කිව යුතුය. ශිෂෙක් කදිමට පෙන්වා දෙන පරිදි 1980 දශකයේදී ඌනිතවාදී වූයේ සංස්කෘතික සාධකය නොතකා හැරීම නම්, දැන් ඌනිතවාදී වනුයේ ආර්ථික සාධකය නොතකා හැරීමය. ආර්ථික ඌනිතවාදය පිළිබඳ ප්‍රචලිත තර්කයට පිළිතුරක් මාක්ස්වාදියෙකු නොවූ මිෂෙල් ෆූකෝගෙන් අපට උකහා ගත හැකිය. ෆූකෝට අනුව නව-ලිබරල්වාදය යනු හුදෙක් ආර්ථික උපාය මාර්ගයක් පමණක් නොව ආණ්ඩුකරණය, සංස්කෘතිය සහ පොදු ජන ජීවිතය පුරා පැතිරුණු  දේශපාලන තර්කණයකි. එය අපට සිතන්නේ සහ ක්‍රියා කරන්නේ කෙසේදැයි කියා දෙයි. නව-ලිබරල්වාදයේ දේශපාලන ගම්‍යයන් විමසා බැලිය යුත්තේ එම පුළුල් අරුතිනි. 
 
FB IMG 1622109164750- සුමිත් චාමින්ද 
(ෆේස්බුක් ගිනුමෙනි )

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found