Language Switcher

V2025

අර්බුදය හා අනුර කුමාර 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ජවිපෙ ජාතික ජන බලවේගයේ නාමයද යොදාගෙන 20 වනදා පවත් වන ලද සමුළුවේදී ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේ "මේ රට බාරගන්න අපි සූදානම්" ය කියාය. ඔහු එසේ කීවේ එය තම පක්ෂය කරන්නට යන අලුත්ම වැඩක් ලෙස අසන්නන් තුළ හැඟෙන ආකාරයටය. එහිදී කරන ලද කථාවේදී තම පක්ෂය අනෙක් පක්ෂ දෙක මෙන් නොව රටේ පාලන බලයට සම්බන්ධයක් නොතිබුනු, එම පක්ෂ දෙකට වෙනස්, අදූෂිත සංස්කෘතියකට උරුම කම් කියන පක්ෂයක් ලෙස පෙන්නුම් කරන්නටද උත්සහ කලේය. ඔහු කියන දේවල යම් සත්‍යක් තිබෙන්නේය. එහෙත් ඉරි ගසා පෙන්වන තැන් වල දෝෂ පවතී.

ඉතිහාසය කෙටියෙන්

ජවිපෙ උත්පත්තිය 1964 ලෙස සැලකුවහොත් එම පක්ෂයේ දැන් වයස අවුරුදු 57 කි. එහි පාර්ලිමේන්තු ඉතිහාසයද අවුරුදු 27 ක් පරණය. එක ක්‍රමයකට නොව විවිධ ක්‍රම වලට පාලන බලය හිමි කර ගැනීමට උත්සහ දරා තිබෙන පක්ෂයක් ලෙස සැළකිය හැකිය. 1971 දී සන්නද්ධ කැරැල්ලක් මගින් බලය අල්ලන්නට උත්සහ කළේය. 1982 දී ජනාධිපතිවරණයට තරඟ කලේ ශ්‍රීලනිපට තිබෙන දෙවැනි තැන අහිමි කොට එම තැන තම පක්ෂය වෙත හිමි කර ගැනීම සදහාය. 1983 ඇති කරන ලද පක්ෂ තහනම මුවාවක් කොටගෙන නැවත රහසිගත දේශපාලනයකට යොමු වී 1987-89 කාලයේදී බලය අල්ලාගැනීමේ අරමුණින් බිහිසුණු කැරැල්ලක් කරළියට ගෙනාවේය. එම කැරැල්ලේ පරාජයෙන් පසුව 1994 දී නැවත දක්ෂ ලෙස ප්‍රචණ්ඩ මාවත අතහැර පාර්ලිමේන්තු මාවතට මාරු විය.

ඉන්පසු 2001 සැප්තැම්බර් වලදී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවක් සදහා අවබෝධතා ගිවිසුමක් ඇති කරගත්තේය. ඉන්පසු 2004 ජනවාරි වලදී පොදුජන එක්සත් පෙරමුණ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් මැතිවරණ සන්ධානයක් ඇති කර ගත්තේය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයට එම සන්ධානයෙන් තරඟ කොට එම පක්ෂයට තිබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 16 සිට 39 දක්වා ඉහළ දමා ගැනීමට සමත් විය. ජනාධිපතිනි චන්ද්‍රිකාගේ එම සන්ධාන ආණ්ඩුවේ ප්‍රභල ඇමති ධූර හතරක් හිමිකර ගත්තේය. ජනාධිපතිනිය මුළුමනින් ජවිපෙ මත නොයැපී එජාපයෙන් කණඩායමක් ආණ්ඩුවට එකතු කරගැනීම නිසා ජවිපෙ එම සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ගියද 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර කළේය. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීම සදහා පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා කරළියට ගෙනාවේය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කරන වැඩසටහනට අනියම් ලෙස ආධාර කළේය. නිත්‍යානුකූල හිමිකමක් නැතිව ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද හිමිකර ගත්තේය. 2019 ජනාධිපතිවරණයට ජාතික ජනතා බල වේගයෙන් තරඟ කළේ ජනාධිපතිවරණය ජය ගැනීමේ අරමුණින් නොවේ, එමගින් පාර්ලිමේන්තු බලය වර්ධනය කරගැනීම සදහාය. එහෙත් ඒ අරමුණ සපුරා ගැනීමට හැකිවූයේ නැත. වර්තමානයේදී විරුද්ධ පක්ෂයේ දක්ෂිනාන්ශික කදවුරේ පෙනෙන්නට තිබෙන අවුල් සහගත තත්වය තුල ඊළග මැතිවරණයෙන් පාලන බලය හිමි කර ගැනීමේ හැකියාව සමහර විට තමන් ලැබෙනු ඇතැයි කිසියම් ප්‍රමාණයකට හෝ විශ්වාස කරන තත්වයකට පත්ව තිබෙන බව පෙනේ.

මතවාදි තලය

එම ඉලක්කය සපුරා ගැනීම සදහා මතවාදි තලය සකස් කරනු පිණිස විශේෂ තර්ක ක්‍රමයක්ද සකස් කරගෙන තිබෙන බව පෙනේ. ඒ අනුව මේ රට විනාශ කළේ මාරුවෙන් මාරුවට රට පාලනය කල දූෂිත පක්ෂ දෙක විසිනි. ජවිපෙ ඔවුන් මෙන් දූෂිත නොවනවා සේම ඔවුන් මෙන් රට පාලනය කරද නැත. ඒනිසා ඒ දෙපිරිස විසින් විනාශ කර තිබෙන රට ගලවා ගැනීමේ ඇත්ත අයිතිය තමන්ට තිබෙන්නේය කියා ඔවුන් විශ්වාස කරන බවද පෙනේ. එහෙත් රටේ දේවල් සිදුවී තිබෙන්නේ ඔවුන් හිතන තරම්ම සරල අකාරයකට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. සමාජයක මතවාදි තලය කෙරෙහි බලපාන්නේ පාලක පක්ෂ පමණක් නොවේ; එසේ නොවන කණ්ඩායම් ද බලපායි. රජරට කලාපයේ බහුලව දක්නට තිබෙන වකුගඩු රෝගය කෘෂි පොහොර හා කෘෂි රසායන නිසා ඇති වී තිබෙන්නක් බව සමාජ ගත කලේ මතවාදි ගුරු කුලයක් මිස පාලක පක්ෂයක් නොවේ. මුස්ලිම් වද බෙහෙත් කථාව සමාජ ගත කලේද එවැනි කණ්ඩායමකි. මේ වන විට දෙමළ විරෝධි වර්ගවාදය අත් හැර තිබුනද සිංහල බෞද්ධ සිත් සතන් තුළ ප්‍රගතිශීලි පෙනුමක් ඇති දමිළ විරෝධි වර්ගවාදයක් ඇති කිරීමෙහි ලා ජවිපෙ ලොකු කාර්‍යභාරයක් ඉටු කළේය. ප්‍රචණ්ඩ අරගල න්‍යාය හා ඒ සදහා යොදාගත් භාවිතයද ලංකාවේ දැන් ඇතිවී තිබෙන කුණුවීම, බංකොලොත්භාවය හා අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැළකිය හැකිය. සොරකම බලවත් වරදක් වුවද ධනය සොරකම් කරන්නන් අතින් සිදුවන හානියට වැඩි හානියක් ධනය විනාශ කරන්නන් අතින් සමාජයට සිදු වන්නේයැයි කිව හැකිය. සොරකම් කරන ධනය පවා විවිධ ආකාරවලට නැවත සංසරණය වීමක් සිදුවේ. එහෙත් විනාශ කල ධනයක් එසේ වන්නේ නැත. ලංකාවේ කැරළිකාර ව්‍යාපාර අතින් සිදුවී තිබෙන ධන විනාශයේ තරම අති විශාලය. ලංකාවේ දැන් ඇතිවී තිබෙන අර්බුදය කෙරෙහි වංචාව හා දූෂණය පමණක් නොව එවැනි ධන විනාශයන්ද බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.

ජවිපෙට සිය පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සතුටු විය හැකි දේවල් තිබිය හැකිය.එහෙත් එම විෂයේදී ලංකාවේ දේශපාලන පක්ෂ වලට ආදර්ශයට ගත හැකි ආදර්ශ මාදිලියක් බවට පත් වීමට ජවිපෙ සමත් වූයේ නැත. ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලනයට එකතු වන විට පාර්ලිමේන්තුව තිබුනේ දූෂණයෙන් කුණුවෙමින් තිබෙන තත්වයකය. 1978 ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ වැදගත් ලක්ෂණයක් බවට පත්ව තිබුණි. විටින් විට බලයට පත්වන ජනාධිපතිවරුන් සිය මන්ත්‍රීන් කණ්ඩායම පක්ෂපාති හා තෘප්තිමත් තත්වයක තබාගත්තේ ඔවුන්ට ද නීතිවිරෝධී ලෙස ධනය උපයාගැනීමට මාර්ග හදා දීමෙනි. ඒ සදහා ජනාධිපතිවරුන් මන්ත්‍රී වරුන්ට රජය සමග ව්‍යාපාර කරන්නට ඉඩදුන්නේය. ඒනිසා සමහරෙක් ආණ්ඩුවේ වටිනා ඉඩම් අත්පත් කරගනිමින් වැවිලි කරුවන් බවටද, සමහරෙක් ලොකු කොන්ත්‍රාත් කරුවන් බවටද, තවත් සමහරෙක් විවිධ බලපත්‍ර ලාභී ව්‍යාපාරිකයන් බවටද පත් වූහ. චන්ද්‍රිකා පාලන කාලයේදී බාර් ලයිසන් දෙන ලද්දේ මන්ත්‍රීවරුන් හරහාය. ඒ නිසා මන්ත්‍රීවරුන් ලොකු පිරිසක් බාර් හිමියන් බවට පත්විය. මේ වැනි දේවල් මන්ත්‍රීන්ට අකැප ඔවුන්ගේ තනතූරු හා ප්‍රජා අයිතිය අහිමි කිර්‍රීමට හේතුවන බරපතල වැරදි ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ජනාධිපති වරුන් වැළකුවේය. එම තත්වය පාර්ලිමේන්තුව විශාල ප්‍රමාණයකට දූෂිත කිරීමට හේතුවී තිබුනි. පාර්ලිමේන්තුවේ පැවති එම අවලස්සන තත්වයට එරෙහිව හඩනගන ප්‍රතිපත්තියක් මගින් එම තත්වයේ වෙනසක් ඇති කිරීමේ හැකියාව ජවිපෙට තිබුනද මොනයම් හේතුවක් නිසා හෝ එම පක්ෂය ඒ ගැන කතා කිරීමෙන් වැළකී සිටින පිළිවෙතක් අනුගමනය කලේය. ඒ මගින් එම පක්ෂය මහජනයා අතර ලොකු පිළිගැනීමක් හිමි කරගැනීමට තිබුන අවස්ථාවක් අහිමි කරගත්තේය.

විසඳුම කුමක්ද?

අන් පක්ෂවල මන්ත්‍රී වරුන්ගේ භාවිතයට වඩා ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ භාවිතය හොද විය හැකි වුවද ඩියුටි ෆ්‍රී වාහන සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනය කළ ප්‍රතිපත්තියද දෝෂ සහගතය. අවශ්‍ය නම් විකුණා මුදල් කර ගත හැකි ආකාරයට මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ලබා දීමේ ක්‍රමයද සැලකිය හැක්කේ මන්ත්‍රී වරුන්ට අයතා වරප්‍රසාද ලබාදෙන, නීතියට පටහැනි, දූෂිත ක්‍රමයක් ලෙසය. එම ක්‍රමය පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි රට මත අති විශාල වැය බරක් ඇති කිරීමට හේතුවු ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. පසුව රජයේ සේවයේ ඉහල ශ්‍රේණිවල නිලධාරින්ට ද ඒ ක්‍රමයට වාහන දෙන්නට සිදුවූයේ මන්ත්‍රීවරුන් සදහා පවත්වාගෙන ගිය ක්‍රමය සාධාරණය කිරීමට අවශ්‍ය වූ නිසාය. අවසානයේ එය රටට ඔරොත්තු නොදෙන තරමේ අති විශාල වැය බරක් පැටවීමට හේතුවූ නාස්තිකාර හා දූෂිත ක්‍රමයක් විය. දැන් රටේ දේශපාලකයන් පමණක් නොව සුප්‍රා ගනයට වැටෙන රාජ්‍ය නිලධාරින්ද පාව්ච්චි කරන්නේ ලක්ෂ 300 කට වැඩි වටිනාකමක් ඇති ඉන්ධන පරිභෝජන වියදම ඉහලම මට්ට්මක පවත්නා සුඛෝපභෝගි මෝටර් රථය. රටේ ඇතිවී තිබෙන බංකොලොත් භාවය කෙරෙහි රාජ්‍යයේ දූෂිත ඩියුටි ෆ්‍රී වාහන ක්‍රමයද බලපා තිබෙන්නේයයි කිව හැකිය. වාහන විකුණූ මුදල් පක්ෂයට දුන්නා මිස අප ගත්තේ නැතැයි කීවාට එම වරද නිවැරදි වන්නේ නැත. පක්ෂයේ භාණ්ඩාගාරයට ගියේ රජයේ හාණ්ඩාගාරයට යායූතු මුදල්‍ ය. එබදු නාස්තිකාර හා විනාශකාරි ක්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩ හැරීමෙන් හා එහි කොටස් කරුවකු ලෙස ක්‍රියා කිරීමෙන් ජවිපෙ වරදක් කර නැතැයි කිව නොහැකිය.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එය ජයගත යුතු අකාරය ගැන තියුණු විග්‍රහයක් ජවිපෙට තිබෙන බවක් 20 වනදා සිදු කරන ලද කථා වලින් නම් පෙනෙන්නේ නැත. එසේම එම සමුළුව වෙනුවෙන් "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" යන හිසින් පළ කර තිබෙන පොත් පිංචෙන්ද ඒ ගැන හොද විග්‍රහයක් කරන්නට සමත් වී නැත. ලංකාවේ අර්බුදය ගැන ඇත්තටම ඔවුන්ට තිබෙන විග්‍රහය කුමක්ද? ඔවුන් එම අර්බුදයට ඉදිරිපත් කරන විසදුම් මොනවාද? ඒ සමග ඇසිය යුතු තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තිබේ. ඊළග ජනාධිපතිවරණයට පෙර රාජ්‍යයේ බිද වැටීමක් ඇති වුවහොත් කරන්න යන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නයට යම් සංවේදි භාවයක් තවමත් පෙන්නුම් කර ඇත්තේ චම්පික රණවක සහ රනිල් වික්‍රමසිංහ පමණය. ඊළග මැතිවරණයට පෙර ආණ්ඩුවේ බිදවැටීමක් සමග රාජ්‍යයේ බිද වැටීමක් ඇතිවුවහොත් විය හැක්කේ කුමක් ද?