Language Switcher

V2025

චම්පික Vs චම්පික - මාධව රුවන්පතිරණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

(ලීඩර් ටීවී ඉදිරිපත් කළ ඩිරෙක්ට් පොලිටික්ස් වැඩසටහනේ 43 සේනාංකයේ නායක පාටලී චම්පික රණවක හා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.)

'ද ලීඩර් ටීවි' සමග චම්පික රණවක සංවාදය අවසානය දක්වා ඇසීමේදී පෙනී යන්නේ චම්පික රණවක ඇත්ත වශයෙන්ම පිළිගන්න, ඔහුට අවබෝධ වී ඇති සමස්තයට පිටුපාමින් ආණ්ඩු බලය සඳහා තම ස්ථාවරයන්ගෙන් විතැන්වීමට සිදුව ඇති බවය.

ඒ කෙසේ වෙතත් අධිවේගී මාර්ග තැනීම අත්හිටවීම (අදහස් ප්‍රකාශ කිරීම තුල පෙනී යන්නේ ඔහු අධිවේගී මාර්ග වලට එරෙහි වුවද ජනතා ප්‍රසාදය නැති වෙන බැවින් වෙනත් කතාවක් ගොතාගෙන ඇති බවකි), කැලෑ එලි කිරීම නවතා දැමීම, වාහන ගෙන්වීම අතිශය සීමා කොට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම වැනි දේශාපලන තීරණ වල සිටිනා බවකි.

එවැනි ස්ථාවරයක මෙරට ආණ්ඩු බලය ලබා ගත හැකි වෙනත් කිසිවෙකුත් නොමැති බැවින් ඊළඟ ආණ්ඩු බලය 43 වන සේනාංකය ට ලබා ගත හැකි නම් වර්තාමන සංවර්ධන පිස්සු විකාරය පිළිබඳව සාවදාන වීම සඳහා විවේකයක් හෝ ලැබෙනු ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ UNP ය සමග එකතුව චම්පික ඇතුළු පිරිසට මෙය කල හැකිද යන්නයි.

පාරිසරික අර්බුදයක් ඇති බව චම්පික පිළිගනී. ඒ අතරම ඔහු කියනා කාරණය වන්නේ මිනිසුන් අති දැවැන්ත සංවර්ධනමය පිම්මක් සාක්ශාත් කොට ගෙන ඇති බවය.

ඉන් පසුව ඔහු පවසන්නේ බර වැඩ නොකරන අයෙකුට දිනකට කිලෝ කැලරි 2100ක් අවශ්‍ය බවත්, එසේ නමුත් ආසන්න වශයෙන් ඒ වගේ 120 ගුනයක් එක් අයෙකු දැනට බල ශක්තිය පාවිච්චි කරන බවය.

ඒ අනුව ලෝක ජනගහනය බිලියන හතක් වුවද එවැනි 120 ගුණයක් සිටිනවා වැන්නක් "මහී කාන්තාව" ට (ඔහුගේ දෘෂ්ටිවාදී ආස්ථානය) පෙනෙන බවය.

ඒ අනුව ඔහු පවසා සිටිනුයේ, පවතිනුයේ ජනගහනයේ ප්‍රශ්නයක් නොවන බවත්, එය පාරිභෝජනයේ ප්‍රශ්නයක් බවත්ය.

ඔහු එහිදී වැදගත් කරුණු කිහිපයක් ඉස්මතු කරමින් සම්පත් හිඟය සහ පාරිසරික අර්බුධය හෙතුවෙන් "අපට මේ සෙල්ලම" කරගෙන යා හැකිද යන්න ප්‍රශ්නය කරයි.

 ''ලංකාව යනු ඉතාම අවම මට්ටමකින් කාබන් විමෝචනය කරනා රටකි.''

ඔහු කරුණු දක්වනුයේ විද්‍යාත්මක ගණනය කිරීම් තුලය. එම ගණනය කිරීම් වලට අනුව ලංකාව යනු ඉතාම අවම මට්ටමකින් කාබන් විමෝචනය කරනා රටකි.

චම්පිකට අනුව එබැවින් ලංකාව පරිසර දූෂණය ට අදාළ රාජ්‍යයක් නොවේ. ඒ අනුව එසේ එවැනි රාජ්‍යයක් බවට පත් වීමට නම් ලංකාව ලෝකයේ දියුණු රටවල් මට්ටමේ පරිසර දූෂිත රාජ්‍යයක් බව ට පත්විය යුතු ව ඇත.

ඒ අනුව ඔහු පවසන්නේ ගල් අඟුරු බලාගාර සෑදීම හේතුවෙන් ලංකාව පරිසර දූෂණ මට්ටම ට ලඟා වීමක් නොමැති බව ය. ඔහු එසේ පවසන්නේ විද්‍යාත්මක ගණනය කිරීම තුලය. ඔහු කියන දේ වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අඩුවෙන් පරිසරය දූෂණය කලාට කමක් නැත යන්න ඔහුගේ අදහසයි.

විදුලි බලශක්තියට ගැටගැහෙන අනෙකුත් නිෂ්පාදන, ප්‍රවාහනය, ඒවාට අදාළ යටිතල පහසුකම් වැනි තවත් බොහෝ දේවල් විසින් ඇති කරන පාරිසරික බලපෑම් ඇත. පරිසර විද්‍යාවේ කාබන් මානය යනු තවත් හොඳම තකතීරු විශේෂඥ නිර්නායකයක් පමණි. ඒ ගැන කතා කිරීම වුවද වැඩකට නැති දෙයකි.

පාරිසරික අර්බුදය විද්‍යාව තුලින් විසඳිය හැකිද, හැකි නම් ඒ ගෙනෙන විසඳුම් තුල තවත් අලුත් ප්‍රශ්න ඇති කරමින් එන්න එන්නම අර්බුදය උග්‍ර වන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී තමන් මුලින් අදහස් දැක් වූ ස්තාවරයෙන්ද විතැන් වෙමින් සහ ප්‍රශ්නයද මගහරිමින් මුලින් දැක්වූ අදහසට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් චම්පික විසින් ප්‍රකාශ කරයි.

ඇත්තටම ඔහු තුලින් ඒ ප්‍රකාශ වන්නේ "පරිසරවාදයේ" විරුද්ධභාශයයි.

කාබන් විමෝචනය නැවැත්වීම සඳහා ගෙනෙන විකල්ප ඊට වඩා හානිදායක බව නොපෙනීම කෙතරම් විශේෂඥභාවයක් ද ? චම්පිකට අනුව හරිත යනු එයයි (ඔහු එසේ පවසයි)...

ඔහු ඊළඟට කතා කරනුයේ කැලෑ කැපීම වෙනුවට කල යුත්තේ දැනට තිබෙන භූමි වල ඵලදාව වැඩි කර ගැනීම කරා අප යා යුතු බවය. ඇත්තටම ලෝකයට හොඳටම කෙල වී ඇත්තේ මේ කෙලිය කිරීමට ගොස් ය.

උදාහරණයකට චම්පික පොල් පලදාව වැඩිකර ගත යුතු බව පවසයි. නමුත් පොල් පලදාව වැඩි කොට ගැනීමට ගොස් දැන් සිදුව ඇත්තේ කිසිඳු රෝගයක් නොමැතිව වැවුන පොල් ගස අතුරුදහන් වෙමින් ලෙඩ රෝග සහිත, නිශ්චිත රසායනික පොහොර පටිපාටියක් අනීවාර්ය වූ, දුර්වල පොල් ගසක් ඉතිරි වීමය.

එබැවින් දැන් ඇත්තටම සිදුව ඇත්තේ පොල් පලදාව අඩු වීමය. දැනුමකින් ශාඛ අභ්‍යන්තරිකව වෙනස් කිරීමට යාමෙන් නැවත සංස්කරණය කල නොහැකි අර්බුද හටගෙන ඇත. ඒ අනුව දඹදෙණිය යුගයේ සිට පැවතුන පොල් වගාවට විවිධාකාර ලෙඩ රෝග ඇති වීමට පටන්ගෙන ඇත.

 වී ගොවි තැන :

waga kuburu 1000px

ඉන් පසුව චම්පික වී ගොවි තැන පිළිබඳව කතා කරයි. 1960 දශකයේ කෘෂි රසායන සහ රසායනික පොහොර ලංකාව තුල හඳුන්වා දෙනුයේ අස්වැන්න වැඩි කර ගැනීම සහ වී වගාව සඳහා වන කාලය අඩු කරගැනීම යන ආකර්ශනීය ඉදිරිපත් දීම් හරහාය.

ඉන් වී අස්වැන්න දෙගුණයකට වඩා වැඩි විය. තවත් අස්වැන්න වැඩිකර ගැනීම සඳහා වී වර්ග හඳුන්වා දෙන ලදී. අස්වැන්න සඳහා වන කාලය අඩු, මිටි ගොයම් ගස් සහිත වී වර්ග නිසා අලුත් ප්‍රශ්න ඇති විය.

එසේම ඒවා වගා කිරීමට නම් ඊට අදාළ අනීවාර්ය පොහොර පටිපාටියක් සහ කෘෂි රසායන පටිපාටියක් නියම කොට ඇත. ඉන් බැහැරව කිසි සේත්ම නූතන විද්‍යාව විසින් නිපදවන ලද එම වී වර්ග වගා කල නොහැක.

නමුත් වී වගා කරුවන් එවැනි වී වර්ග වගා කිරීමට පෙළඹුන ප්‍රධාන කරුණ වන්නේ කලින්ට වඩා අඩු කාලයකින්, අඩු ශ්‍රමයකින්, අඩු භූමි ප්‍රමාණයකින් ලබා ගත හැකි වැඩි අස්වැන්න නිසාය. ඔවුන්ට එසේ ලැබෙන අදායම සඳහා කල හැකි, මිල දී ගත හැකි දේවල් වෙළඳ පොළ හරහා ක්‍රමයෙන් පැමිණෙන්නට විය.

විශාල පිරිසක් යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙමින් වෙනත් රැකියා සහ නිෂ්පාදන වෙත යොමුවෙමින් සිටීම තුල වී වගාව සඳහා පැමිණි විකල්ප විසින් අලුත් ගැටළු ඇති කරන ලදී. ඒ තත්වය මේ වෙන විට තවත් උග්‍ර වී ඇත්තේ විශාල පිරිසකගේ ආහාර අවශ්‍යතාවය සඳහා සුළු පිරිසක් වගා කිරීමට වීම තුලය.

එම තත්වය තුල නූතන විද්‍යාව විසින් ගෙනෙන ලද විකල්ප සහ විසඳුම් වල ඍජු සහ වක්‍රාකාර ප්‍රතිපල මේ වනවිට ලැබී ඇත.

ජලජ ජීවීන් සහ කුඹුරු ආශ්‍රිතව සිටි ජීවීන් නොමැති කුඹුරු, ජල මූලාශ්‍ර සහ භූ ගත ජලය විස වීම, සහල් විස වීම, විවිධ ලෙඩ රෝග, එසේ තිබියදීත් දිගින් දිගටම කෘෂි රසායන සහ රසායනික පොහොර නැතුවම බැරි තත්වයක් උදා වීම වැනි දේවල් ඍජු ප්‍රතිපල කිහිපයක් ලෙස දැක්විය හැකිය.

එසේම ඍජු නොවූ අවශේෂ ප්‍රතිපල ගොවීන්ට ලැබෙන අතිරික්තය පාරිබෝජනය සඳහා යෙදවීම තුල ලැබී ඇත. එනම් මේ ඇති වී තිබෙන තත්වය නවීන කෘෂිකර්මාන්තය පැමිණීමට පෙර අතීතයේ නොවූ විරූ තත්වයකි. එම තත්වය ඇති කලේ විද්‍යාත්මක විසඳුම් විසිනි.

නමුත් එම විද්‍යාවට ඇති වී තිබෙන තත්වය නැවත සංස්කරණය කල නොහැක (චම්පික ද එය සංවාදය ආරම්භයේදී පිළිගනී. එනම් ඔහු උදාහරණයකින් පවසන්නේ මේ දිනවල යුරෝපය සිසාරා හමා යන සුළි සුළඟ කිසිඳු විද්‍යාවකට නැවැත්විය නොහැකි බවය. විද්‍යාව විසින් ඇතිකොට ඇති තත්වයන් සියල්ල එසේය).

සංවාදය ආරම්භයේදී චම්පික ප්‍රකාශ කොට සිටිනුයේ පවතින්නේ ජනගහනයේ ප්‍රශ්නයක් නොවන බවය. නමුත් ඔහු වී ගොවි තැන ගැන කතා කරමින් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාශ කරයි.

එනම් රට 1950 වන විට රට සහලින් ස්වයංපෝෂිත නොවූ බවත්, ජනගහනය වැඩි වීම තුල නවීන කෘෂිකර්මාන්තයට යාමට සිදුවීම අනීවාර්යක් වූ බවත්ය.

ප්‍රශ්නය වන්නේ සහල් නිෂ්පාදනය මදි නම් පවතින්නේ සහ පැවතිය හැක්කේ එක් අනීවාර්ය විසඳුමක් ද යන්නයි. එසේම ජනගහනය එක වර වැඩි උනිද යන්න තවත් ප්‍රශ්නයකි. නමුත් ප්‍රශ්න අසන සිරිමලී එය නොවිමසයි.

 තේ වගාව :

ඔහු තේ වගාව ගැනද කතා කරයි. ඒවායේ අස්වැන්න වැඩි කල යුතු බව කියයි. තේ වගාව ආරම්භ කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එය මෙරටට අවශ්‍ය වූ වගාවක්ද නොවේ.

තේ වගාව නිසා සිදු වූයේ ලංකාවේ මිනිසුන් දේශීය පානයන් වෙතින් විතැන් වී තේ පානයට ඇබ්බැහි වීම සහ කඳුකර කැලා විනාශ වීම, ජනාවාස වීම (එතුලින් සිදුවන නොයෙකුත් විනාශයන් ඇත), වැනි තත්වයන් නිසා ඇති වී තිබෙන බලපෑම් වලට මුහුණ දීමට සිදු වීමයි.

ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් වගා කල තේ හැඳින්වූයේ රිකිලි තේ ලෙසය. නමුත් පසු කාලීනව රිකිලි තේ වෙතින් විද්‍යාත්මක තේ වෙත මාරු වූයේ ඵලදාව වැඩි කොට ගැනීම සඳහාය.

නමුත් නව තේ වර්ග සඳහා ද ඉහත සඳහන් කල වී වලට මෙන්ම රසායනික සත්කාරය අවශ්‍ය විය. එනම් තේ පැල සිටුවීමේ සිටම රසායනික සත්කාර පටිපාටියක් අනීවාර්ය කොට ඇත. එසේ නොමැති නම් එම තේ වගා කල නොහැකිය.

තේ වගා කරනුයේ රටේ කඳුකර පෙදෙස් වලය. ඒ අනුව එම වගාවන් සඳහා යොදන රසායනයන්හි ප්‍රතිපල රටටම ලැබෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ග්ලයිපොසේට් නැවැත්වීම වැනි විද්‍යාව තුලම විකල්ප යනු කෙතරම් තකතීරු කම් ද යන්න වැටහෙනු ඇත්තේ ඒ වෙනුවට යොදන රසායනයන්ගේ ප්‍රථිපල ලැබෙන කාලය වන විටය.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් තවත් අවශ්‍ය තරම් උදාහරණ ගත හැකිය. ඒ සියල්ල ඉහත විස්තර කරන තත්වයට සමානය. නමුත් මෙහිදී අවධාරණය කල යුත්තේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් චම්පිකගේ ඇති ස්ථාවරය කුමක්ද යන්නයි. එය නම් "දැනුවත් විද්‍යාත්මක ගොවියා" ය. ඒ අනුව චම්පික රණවක කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් යෝජනා කරන වැඩපිළිවෙල රනිල් වික්‍රමසිංහ වෙතින් වෙනස් වන්නේ මහා පරිමාන කෘෂි සමාගම් පිටු දැක "දැනුවත් විද්‍යාත්මක ගොවියා" ඇති කිරීම තුලය.

නමුත් චම්පිකගේ බලාපොරොත්තුව සඵල කොට ගත හැක්කේ මහා පරිමාන කෘෂි සමාගම් තුලින් මිස තම දරුවන් හට කෘෂිකර්මාන්තය උරුම නොකිරීමේ බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් කෘෂිකර්මාන්තයේ නිරත වන ගැමි ගොවියා තුලින් නොවේ (එම ගොවියා ලවා ඔය වැඩේ හරියාකාරව කරගත නොහැකිය).
චම්පික පතන කෘෂි නිෂ්පාදනය ලබා ගැනීමට හැක්කේ එවිටය.

ඒ අනුව ගොවියා එවැනි සමාගම්වල හෝ වෙනත් නිෂ්පාදන ආයතනවල රැකියා කරන්නෙකු බවට පත්කළ යුතුව ඇත. නමුත් එවැනි සමාගම් වලට මහා පරිමාන වගා බිම් අවශ්‍යය. එසේ නොමැතිව පාරම්පරිකව, සමාජීයව, ප්‍රජා මූලිකව ගොඩනැගුන අසන්තතික ගොවි බිම් එවැනි සමාගම් සඳහා නොගැලපේ.

ඒ අනුව දැනට බැසිල් රාජපක්ෂගේ සැලසුම වන මහා පරිමාන වගා බිම් ඇති කිරීමෙන් තොරව චම්පික බලාපොරොත්තු වන නිෂ්පාදනය උගහටය. ඒ සඳහා කැලැ එලි කිරීම අත්‍යවශ්‍ය වේ.

ඇට නැති පේර, කොහු නැති අඹ, ලෙල්ල ඝන ගස් ලබු වැනි උදාහරණ ඔහු ගනී. අපිටද ගස් ලබු උදාහරණයට ගෙන පැහැදිලි කිරීමක් කල හැකිය. කොටින්ම කියන්නේ නම් අප කුඩා කල තිබූ වසර ගණනක ආයුෂ ඇති, රෝග නැති, එක දිගටම ඵලදාව ලබා දුන් උස යන ගස් ලබු වර්ග අද නොමැත.

කැපූ පසු කොමඩු ගෙඩියේ ඇතුලත රතු පැහැයටද වඩා රතු පැහැ පැණි රස පැපොල් වර්ගයක් ද එකල තිබුණි. සෑම ගෙවත්තකම එවැනි ගස් කිහිපයක් තිබූ අතර වෙළඳ පොලෙන් පැපොල් මිල දී ගැනීමක් එකල සිදු නොවීය (නාගරික ප්‍රදේශ වල හැර).

කොවුලන්, කපුටන් ඇතුළු අනෙකුත් කුරුල්ලන්ටද ඇති තරම් පැපොල් තිබුණි. වඩ වඩාත් නාගරීකරණය වන විට, ගෙවතු නොමැති ගෙවල් සෑදෙන විට, පැපොල් ගසක් හෝ සිටුවීමට කාල වෙලාවක් නොමැති පිරිස වැඩි වන විට, ඊට අනුලෝම වශයෙන් වෙනම පැපොල් වගාකරුවන් බිහි වන විට, චම්පික පවසන ආකාරයේ ප්‍රවාහනයට අවශ්‍ය ලෙල්ල ගනකම්, නොතැලෙන, අඩු භූමි ප්‍රමාණයක වැඩි ඵලදාවක් ලබා දෙන, උස නොයන සහ එබැවින් බිම සිට අතින් පලදාව නෙලිය හැකි අභිජනනය කරන ලද සහ ජාන වෙනස් කොට සාදන ලද පැපොල් බීජ වර්ග ලංකාවට ආනයනය කරන ලදී.

එසේම එවැනි පැපොල් වල පැපොල් ඇට ද නොමැති අතර ඇට තිබුනද එම ඇට වලින් පැල වන ගස් වල එක්කෝ ඵලදාව දුර්වලය නැති නම් මුල් අකාරයේ ගෙඩි නොමැති අතර එක්කෝ කොහෙත්ම ගෙඩි නොසෑදේ (F1 F2 F3 F4....).

එනම් සෑම අලුතෙන් වගා කිරීමකදීම පැපොල් බීජ මිල දී ගත යුතුව ඇත. දැන් මේ වන විට සිදුව ඇත්තේ විද්‍යාව විසින් අභ්‍යන්තරිකව වෙනස් කරන ලද පැපොල් වර්ග මිශ්‍ර වී ඊට පෙර තිබූ ස්වභාවික පැපොල් වර්ග වඳ වී යාමයි.

ඒ අනුව දැන් අපට අවශ්‍ය වුවද ගෙමුදුලේ පැපොල් ගසක් වවා ගත නොහැකිය. එක්කෝ ඒවාට කුඩා කාලයේදීම ලෙඩවල් සෑදේ නැති නම් ගෙඩි නොමැත. ඉදිරියේදී අනෙකුත් වගා වලට ද ඔය ආනිසංසය අත්වීමට නියමිතව ඇත.

 "සමානාත්මතාවය" සහ "නිදහස"

ඉන් පසු චම්පික ප්‍රවේශ වනුයේ "සමානාත්මතාවය" සහ "නිදහස" පිළිබඳව ප්‍රශ්නයටයි. එහිදීද ඔහු එකක් පසු පස එකක් වන සේ එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දේ.

සියලු දෙනා හට වාහන නොමැති තත්වයක් යටතේ සමානාත්මතාවය ඇති වන්නේ කෙසේදැයි අසන ප්‍රශ්නයේදී සියලු දෙනා හට වාහන ලබා ගැනීමට ඉඩ දිය නොහැකි බව පැහැදිලිව පවසයි. නමුත් සමානාත්මතාවය පිළිගන්නා බවද පවසයි (නිදහස සහ සමානාත්මතාවය යනු ලිබරල් ස්ථාවරයන් වේ).

නමුත් ඔහු පසුව පවසන්නේ අම්බානිලා මෙන් නොව ගාන්ධි අනුදත් ව්‍යාපාරිකයා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන බවත්, නමුත් ධන උත්පාදනය ඔහුගේ කාර්ය බවත්ය. එවැනි කතා නම් විකාර බැවින් ඒවා ගැන කතා කිරීම ද වැඩකට නැති වැඩකි.

එසේම ඔහු පවසන්නේ ධනවාදී නිදහස් තරඟ පොලට සමානව පිවිසීමට ඉඩ කඩ සකස් කල යුතු බවය. ඔහුට අනුව සමානාත්මතාවය යනු එයයි. ඔහු විසින් දුරටත් අවධාරණය කරනුයේ ධනවාදී නිෂ්පාදනය සහ වෙළඳපොල "සම බිමක්" කල යුතු බවය.

ධනවාදය ක්‍රියාත්මක වන්නේ පාරිභෝජනය මත නොවේ නම්, අතිරික්ත වටිනාකම නැවත නිෂ්පාදන ලෙස පැමිණ වෙළඳ පොළ ප්‍රසාරණය වන්නේ පාරිභෝජනය තුල නොවේ නම්, එය සිදු වන්නේ වෙන කෙසේද?

උදාහරණයකට වාහන නිෂ්පාදනය කරනුයේ ඒ සඳහා වෙළඳ පොලක් තිබෙන නිසාය. අහසේ හෝ මාර්ග ඉදි කල යුත්තේ එම නිෂ්පාදන (වාහන) පාරිභෝජනය සඳහාය. වාහන තවදුරටත් ප්‍රයෝගික නොවේ නම් ඩ්‍රෝන වැනි අහසේ ගමන් කල හැකි පුද්ගල ප්‍රවාහන නිෂ්පාදන සහ ක්‍රම සම්පාදනයන් වෙත ධනවාදය මාරු විය යුතුව ඇත.

එසේ නොමැතිව චම්පික සිතන ආකාරයේ ගාන්ධිවාදී ආගමික සදාචාර පැවතුම් තුල ආචාරධාර්මික සීමාවන් සලකුණු කිරීමෙන් මෙය ඔහු බලාපොරොත්තු වෙන ආකාරයට විසඳිය හැකිද ? ඔහුට ඔහුගේ ඒ අර්ථයන් තුල සිරිමලී අසන ප්‍රශ්න වලට නම් පිළිතුරු දිය හැකිව ඇත.

සාකචඡාව තුල චම්පික විසින් බලශක්තිය සම්බන්ධයෙන් ද දිගින් දිගටම පරිසරවාදී විසඳුම් යෝජනා කරයි. ඒවා එකින් එක සාකච්චා කිරීමට වඩා පොදුවේ ඒ පිළිබඳව අදහස් දක්වා ඇති ලිපියක සබැඳියාව පහතින් දක්වා ඇත.

ලිපිය

මෙසේ ආණ්ඩු බලය ලබාගෙන මේ ධනවාදී ප්‍රවාහය වෙනස් කල හැකි කිසිවෙකුත් මෙදියත වසනවා යයි අප සිතන්නේ නැත. අපගේ දේශපාලන ස්ථාවරයන් පිළිගන්නේ ද ඉතාම සුළු පිරිසකි. අපගේ ලේඛන කියවන, අපගේ අදහස් අහන බොහෝ දෙනෙකුට අනුව අප විහිළු කරුවන් හෝ මෝඩයින්ය. එය ලෝකයටම පොදු තත්වයකි.

මුළු විද්‍යාත්මක ලෝකයම එක් දිශාවකට නිනව්වක් නොමැතිව දිනපතා හැල්මේ දුවමින් සිටින විට, එය පිළිනොගන්නා සහ අප වැනි මෝඩයින් වීමට අකමැති ඔවුන්ගේ වෙහෙස මහන්සිය සහ ආතතිය මදකට හෝ නිවා දැමීම සඳහා අවශ්‍ය අබිං වර්ග කිහිපයකින් ප්‍රධානතම අබිං වර්ගය වන්නේ පරිසරවාදය (හරිත) යන්නයි.

@ස්පාටකස් ලිපි (Spartacus.lk)

 (උපුටාගැනීම - මාධව රුවන්පතිරණගේ ෆේස්බුක් පිටුවෙන්.)