Language Switcher

V2025

ඝාතකයත් ඉලව් ගෙදර හඬා වැටෙන රටක් මේක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

එමරල්ඞ් සමූහාණ්ඩුවට එරෙහි යුද්ධයට පක්ෂව අත් එසවී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය.”

”මොනවා! ඒ තරම් ඉක්මනින්, ඒ තරම් නොසැලකිල්ලෙන් යුද්ධයක් කරන්න තීන්දු කළා!”

”අයියෝ, ඒක හරිම නොවැදගත් යුද්ධයක් නෙ. ඒකට ඩොලර් අසූලක්ෂයක්වත් වියදම් වෙන්නෙ නෑ.”

”ඉතිං මිනිස්සු..?”

”ඩොලර් අසූලක්ෂයට මිනිස්සුත් ඇතුළත් කරලයි තියෙන්නෙ”

ඉහත උපුටනය ඇනටෝල් ෆ‍්‍රාන්ස්ගේ ”පෙන්ග්වින් දිවයින” කෘතියෙනි. ඇනටෝල් ෆ‍්‍රාන්ස් මේ ගෙනහැර පාන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව අප නොපතන එහෙත් අපට අනිවාර්යයෙන් හිමි වීමට නියමිත ජීවිතය ය. නැතිනම් සාමය, සංහිඳියාව, මාතෘ භූමිය, දේශපේ‍්‍රමය ආදී විවිධ දවටනවල ඔතා අප වෙත එවන මූලික මිනිස් අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වන නිමේෂය ය.

සාම්ප‍්‍රදායික සහ ජනප‍්‍රිය වමට අදාළව නම් මේ ආකාරයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ධනපති පන්තිය අතින්ය. ඒ ඉරණමෙන් අත්මිදිය හැකි වන්නේ සමාජවාදී ක‍්‍රමයක් තුළ පමණය. ජාතිවාදී සහ ආගමික මූලධර්මවාදීන්ට අනුව ද ඔවුන්ගේ ජනතාවගේ මූලික අයිතීන් කඩ වන්නේ ඒ ඒ අවස්ථානුකූලව ඔවුන් නම් කරන සතුරු බාහිර අනෙක් ජාතිකත්වය හෝ ආගමිකයා අතින්ය. ඉතින් මූලික අයිතීන් රකින්න නම් ඔවුන්ව වහා විනාශ කළ යුතුය. ධනපති ආණ්ඩුවලට අදාළව නම් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ඒ ඒ මොහොතේ ඔවුන් පෙන්වන සතුරු බලවේග අතින්ය. ඒ සතුරු බලවේගවලින් මිනිසුන් මෙන්ම ඔවුන්ගේ අයිතීන් රකින එකම මුර දේවතාවා වනුයේ ඒ ආණ්ඩුවය.

ඉතින් දිනපතා පටන් කාලෙන් කාලෙට සමාජයෙන් වහා ඉවත් කළ යුතු නැතිනම් වහා වාෂ්ප කළ යුතු බාහිර සතුරෙක් ඔවුන් හමුවේ සිටින අතර සියලූ‍ කැපකිරීම් සිදුකර ඒ සතුරාගේ විනාශය වෙනුවෙන් කටයුතු කරන්නට ජනතාවට සිදු වේ. ඒ මිස මූලික මිනිස් අයිතිවාසිකම් අත්විඳින්නට ඔවුන්ට ලැබෙන්නේ ”අද නොවේ හෙට” තියරියටය. ඒ ”හෙට” සදාකාලික හෙටක්ම මිස ”අද” ක් වන්නේ නැත.

එහෙයින් ”ඩොලර් අසූලක්ෂයට මිනිස්සුත් ඇතුළත් කරලයි තියෙන්නෙ” යන්නෙහි අර්ථය වඩාත් වැදගත් වන්නේ ම මේ නිසාය. එනම් ඔය සියලූ‍ ව්‍යාපෘතිවල අපේ ඉරණම කලින් තීන්දු කර ඇති බව පළමුව තේරුම් ගෙන සිටීමය. දෙවනුව අප සතු විය යුතු මූලික මිනිස් අයිතිවාසිකම් කොන්දේසි විරහිතව තහවුරු කරගත හැකි වන්නේ මේ එක එක ව්‍යාපෘතිවල සක‍්‍රිය හෝ අක‍්‍රිය හවුල්කරුවකු වීමෙන් නොව කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් මැදිහත් වීමෙන් බව තේරුම් ගැනීමය. තෙවනුව මූලික මිනිස් අයිතීන් පිළිබඳ විෂයෙහි දී ආගමික, ජාතිකත්ව, සමාජ තත්ත්වය සහ රැකියාව, කුලය සහ පවුල ආදී කිසිවක් මත පදනම්ව වෙනස් කම් සිදු විය නොහැකි බව පිළිගැනීමය.

මේ කාරණය එකවර යමෙකුට තේරුම් ගැනීමට සමහර විට දුෂ්කර වන්නට පුළුවන. අප පහත පැහැදිලි කිරීම සිදු කරන්නේ ඒ අයගේ වැඩිදුර අවබෝධය පිණිසය.

මූලික මිනිස් අයිතීන්ට අදාළව තිබෙන සාම්ප‍්‍රදායික විශ්වාසය අනුව නම් මානව අයිතිවාසිකම් ව්‍යවස්ථානුකූල රැකවරණය සලසා දී ඇත්නම් ඒවා සුරක්ෂිතය. එනම් යම් මානව අයිතිවාසිකමක් නීතිමය අයිතියක් බවට පත් වනුයේ එය රටක මූලික අයිතිවාසිකම් (FR) ගණයට ඇතුළත් කිරීම මතය යන්නය. 72 ව්‍යවස්ථාවට වඩා 78 ව්‍යවස්ථාව ප‍්‍රගතිශීලී බව ඇතැමුන් පැවසුවේ සහ එය ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයට පවා එක්කර පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩම් කරවූයේ එනිසාය. අනෙක් අතට 1948 දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට අත්සන් තැබීම ජයග‍්‍රහණයක් ලෙස සැලකූ අය ද විශ්වාස කළේ එය රටේ අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකි නීතිමය අයිතිවාසිකම්වලට වඩා වැඩි දෙයක් කියාය.

මේ සාම්ප‍්‍රදායික විශ්වාසය සත්‍ය නම් 78 ව්‍යවස්ථාවේ III පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතීන් අප රට තුළ මිනිසුන් භුක්ති වින්දාද? සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස මෙරට මිනිසුන් භුක්ති වින්දාද? වධ හිංසාවලින් මේ රටේ මිනිසුන් නිදහස්ව සිටියාද? සර්ව සාධාරණත්වයේ අයිතියට මෙරට මිනිසුන් හිමිකම් කීවාද? අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා ගැනීමෙන් සහ දඬුවම් කිරීම්වලින් මෙරට වැසියන් නිදහස් වූවාද? අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීමෙන් මිනිසුන් නිදහස් වූවාද? භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස මිනිසුන් භුක්ති වින්දාද? මිනිසුන්ගේ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිය සුරක්ෂිත වූවාද? මේ දේවල් යම් සීමා කිරීමකට ලක් වූවා නම් ඒ III පරිච්ඡේදයේ එන ”මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා” ප‍්‍රකාරව පමණයිද?

සැබැවින්ම මේවා යෝජිත නව ව්‍යවස්ථාව තුළ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ දළ සිතියම සකස් කර ගන්නට පෙර අප නැවත කියවාගත යුතු කාරණාය. අපට අනුව නම් මේ රටේ මිනිසුන්ගේ මූලික මිනිස් අයිතීන් තිබුණේ ව්‍යවස්ථාවේ පිටු කිහිපයේ පමණය. ඒ මූලික අයිතීන් උල්ලංඝනය වූයේ ව්‍යවස්ථාවේ ”මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා” තුළ නොව බොහෝවිට එයින් පරිබාහිරවය. නැතිනම් ජනතාව ඉදිරියේ ජන සහභාගීත්වයෙන් මෙරට මූලික අයිතිවාසිකම් මහ දවාලේ උල්ලංඝනය වූ බව අප අදහසය.

මේ කාරණය බිම් මට්ටමේ මෙන්ම ඉහළ මට්ටමේ ද එක විට එක ලෙස සිදු විය. ඒ නිසාම යෝජිත නව ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතීන් සම්බන්ධව මේ මොහොතේ වචන යෝජනා එළිදක්වන්නට අප සූදානම් නැත. අපට අනුව ඒ දැන දැන කාලය කෑමක්ය.

අනෙක් අතට සමලිංගික සහ ගණිකා ආදී කොටස්වල අයිතිවාසිකම් හැර රැකෙනවා නම් සහ ලැබෙනවා නම් මූලික මිනිස් අයිතිවාසිකම්වල සියල්ලම පාහේ වචනවලින් ලෝකය පුරා මෙන්ම මෙරට 78 ව්‍යවස්ථාව තුළත් අඩංගුය. අවශ්‍යව ඇත්තේ ඒ සමහර අයිතිවාසිකම්වල වර්ධනයන් ලබා ගැනීම පමණය. ඒ නිසාම අප නව ව්‍යවස්ථාවට අදාළව අලූ‍ත් යෝජනා ගෙනැවිත් කාලය කා නොදමන අතර ඒ වෙනුවට මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් වෙනස් සිතීමක අවශ්‍යතාව ගෙනහැර දක්වන්නට අදහස් කරන්නෙමු.

ඊට කදිම නිදර්ශනයක් අපි ඔබට මෙසේ ගෙන එන්නෙමු.

වතුර ඉල්ලා පාරට බට රතුපස්වල ජනතාවට යුද හමුදාව වෙඩි තැබුවේ ජීව උණ්ඩ යොදා ගනිමින්ය. එදා එම යුද හමුදා වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනකු මිය ගිය බව ද ඔබට මතක ඇත. ඊට දින කිහිපයකට පසුව සිදු වූ අපූරු සිදුවීම නම් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රතුපස්වල දී ඝාතනයට ලක් වූවන්ගේ පවුලේ සාමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන්ගේ දුක අසමින් ඡායාරූපයකට ද පෙනී සිටීමය.

මෙය යමකුට සරල සහ ”මහින්දගේ හැටි තමයි ඒ, ඒ මහින්දගේ පොලිටිකල් එක” පන්නයේ පිළිතුරකින් හිත හදාගෙන අනෙකාගේ හිත හදන්නට ද හැකි සරල කරුණක් බවට තනුක කළ හැකිය. එහෙත් එය ඒ තරම්ම සරල නැත. මන්ද මේ සිදුවීම හරහා මූලික මිනිස් අයිතීන්ට අදාළව අපේ රටේ දුගී බව හොඳින්ම ප‍්‍රදර්ශනය වන නිසාය.

ඒ මෙසේය. යුද හමුදාවේ පමණක් නොව ත‍්‍රිවිධ හමුදාවටම අණදෙන ඉහළම ධුරය මෙරට ව්‍යවස්ථාපිත ආකාරයට සේනාධිනායක වන අතර එය විධායකය සතුය. ඒ අනුව මේ ඝාතනයට අදාළව පැහැදිලි පංගුවක් සේනාධිනායකයා ලෙස එවකට විධායකය නියෝජනය කළ මහින්දට ද හිමි විය යුතුය. වඩාත් ශිෂ්ට සමාජයේ නම් මේ සිදුවීමේ පළමු චුදිතයා වන්නේ අන් කිසිවකු නොව මහින්දය. එදා මහින්ද ළඟට ගිය අය වගේම මෙරට බහුතරයක් දෙනා හමුදාවට බැන්නා මිස ජීව උණ්ඩ යොදාගෙන යුක්තිසහගත විරෝධය පෑමක් මර්දනය කරන්නට අණ දුන්නේ කවුද? සිවිල් සිදුවීමක් පාලනය කරන්න හමුදාව ගෙන්විය යුතුද කියා ප‍්‍රශ්න කළේ නැත. කෙසේ හෝ ඒ ජවනිකාවේ අවසානය වූයේ මිනීමරුවා තමන් ඝාතනය කළ අයගේ ඉලව් ගෙදර ගොස් ” මාර වැඬේ.. මැරිලා නේද? මට හිතා ගන්නවත් බෑ.. බලන්නකෝ නේද? ඔයාලට දැන් දුක ඇති නේද?” පන්නයේ ප‍්‍රශ්න අසන ට‍්‍රැජි කොමඩියකින්ය.

සිදුවීමේ සැබෑ වගඋත්තරකරුවා ඉදිරියේ මුනිවත රැක රාත‍්‍රියේ දෙස් දෙවොල් තබන සමාජයකට, එය වඩාත් සුරක්ෂිත ජීවිතයක රහස බවට විශ්වාස කරන සමාජයක හැටි එසේය. ඉදින් ඒ වැනි සමාජයක මූලික මිනිස් අයිතීන් කියා දෙයක් තිබුණත් ඵලක් නැත.

බිම් මට්ටමේ දී මේ කාරණය අපට මෙසේ තවදුරටත් හඳුනා ගන්නට පුළුවන. ඒ පොදු ප‍්‍රවාහන සේවයකින් ගමන් පහසුකම සලසා ගන්නා අවස්ථාවක දී කොන්දොස්තරගෙන් බලූ‍ බැණුම් අසන මගීන් හරහාය. සමහර විට මේ මගියා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු වන්නට ද පුළුවන. නියමිත මුදල් ගෙවා නිදහසේ ප‍්‍රවාහන සේවාව ලැබීම තම අයිතියක් බව ඔවුන් විශ්වාස කරන්නේ නැත. කොන්දොස්තරගෙන් බැණුම් අසන සාමාන්‍ය පුද්ගලයා මෙන්ම මානව හිමිකම් ක‍්‍රියාධරයා ද විශ්වාස කරන්නේ බස් රථයේ දී කොන්දොස්තරගෙන් මගියාගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක් ලෙසය. භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න යන අවස්ථාවේ සිට බදු ගෙවන ජනතාව ලෙස පොදු සේවාවක් ලබන අවස්ථාව දක්වා උල්ලංඝනය වන අයිතීන් ගැන සිතීම මේ කරුණ තවදුරටත් සනාථ කර ගන්නට ප‍්‍රමාණවත්ය.

අප මූලික අයිතිවාසිකම් ඕන කියා වචනයෙන් කීවත් එය අත්දැකීමක් කර ගන්නට තවම සූදානම් නැති වග එවිට ඔබට පෙනෙනු ඇත. එසේම එම තත්ත්වය අද වන විට හුදු පුද්ගල මැදිහත් වීමකින් ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට අප ජීවිතයේ අංගයක්ව ඇති බව ද දැන් ඔබට පෙනෙනවා ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මූලික මිනිස් අයිතිවාසිකම් කියා දෙයක් පිළිබඳ පැවැත්ම අප විශ්වාස පද්ධතියෙන් පිටුවහල් කර ඇති නිසාය. ඉදින් මෙසේ හැසිරෙන සමාජයකට මූලික මිනිස් අයිතීන් කියන දේ වචනවලට සීමා වීම වළක්වා ගත නොහැකිය. ඒ වෙනුවෙන් තවත් නව යෝජනා කප්පරක් ගෙනාව ද ඵලක් නැත. ඒ නිසා අවශ්‍ය වනුයේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළව අප පලවා හැර තිබෙන විශ්වාසය යළි කැඳවීමය.

දරුණු ලෙස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනට රාජ්‍යය ගමන් කරන්නෙත් පසුකාලීනව ඒවා බන්දේශ්වර බවට පත් වන්නේත් මේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළව විශ්වාසය අප පිටුවහල් කර ඇති නිසාය. එනිසාම අද මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළ විශ්වාසය ශක්තිමත් කිරීම මෙන්ම එය විකෘතියෙන් මුදවා සමාජගත කිරීම මුළුමනින්ම දේශපාලන මැදිහත් වීමක් තුළ සිදු කරගත යුතුව ඇත. මීට අදාළ ”වමේ පංගුව” පිළිබඳ අප ලබන සතියේ අරුණැල්ලට ගෙන එන්නේ ඒ වෙනුවෙන්ය.

  • සංජය ලියනගේ
  •  උපුටා ගැනීම සත්හඩ පුවත්පත