Language Switcher

V2025

අනතුරු ඇඟවීම් මදි නැවැත්වීමේ නියෝගයි ඕනෑ !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට යළි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී ඇති අවවාදාත්මක උපදෙස් අනුව එම නිවේදනය නිකුත් කර ඇත.

එහි ඇති බොහෝ උපදෙස් අතර එකක් වන්නේ අධික උෂ්ණත්වය ඇති දිනවල නිවාසන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙසයි. එමෙන්ම අධික උෂ්ණත්වය සහිත දින වල සිසුන් එළිමහනේ හා ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළැක්විය යුතුය යන්නයි. තවදුරටත් කියන්නේ සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි.

එහෙත් මහ මගට බැස්ස විට අපට දකින්නට ලැබෙන දර්ශනය වන්නේ පාසල් නිවාසන්තර ක්‍රීඩා තරග වෙනුවෙන් කරන පුහුණුවීම් හා පාසල් නිවාසන්තර ක්‍රීඩා තරග මෙම උණුසුම් කාලගුණය අවස්ථාවේදීත් එළිමහනේ සිදු කෙරෙමින් පවතින බවය. පාසල් නිවාසන්තර ක්‍රීඩා තරගයක් වෙනුවෙන් අක්කරෙයි පත්තු ප්‍රදේශයේ පැවැත් වූ ගම හරහා දිවීමේ
තර්ගයකදී පාසල් සිසුවකු අවාසනාවන්ත ලෙස මිය ගියේ දින කිහිපයකට පෙරය.

ඒද අධ්‍යාපන අමාත්‍යාංශය මෙම උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අනතුරු අඟවා තිබූ තත්වයක් යටතේය. ගම හරහා දිවීම වැනි දිගු දුර ධාවන ඉසව් ගැන මීට පෙර සිදුවූ මෙවැනිම අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් කළ අනතුරු ඇග වීම් දැන් මතක නැති ගානය.

නිවාසන්තර ක්‍රීඩා තරග පැවැත්වීම සම්බන්ධයෙන් එක් අතකින් විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරුන්ට දොස් කියාද ඵලක් නැත. මන්ද ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය වන නිසාය. පාසල් වලට ලැබෙන කාල සටහන අනුව පාසල් පළමු වාරය ආරම්භයේදී නිවාසන්තර ක්‍රීඩා තරග පවත්වා ඒ මගින් කොට්ඨාස ක්‍රීඩා තරගවලට සුදුස්සන් තෝරාගත යුතුය. ඉන්පසු දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමේ තරග සඳහා නිශ්චය කළ දින වකවානු එළඹේ.

ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය කළ යුත්තේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම වෙනුවට නිවාසාන්තර ක්‍රීඩා තරග මෙම උණුසුම් කාලයේ නවත්වන්නට උපදෙස් ලබාදී ඒවා පසුපසට ගෙන ක්‍රීඩා තරග කැලැන්ඩරය පසුපසට ගැනීමය.

ක්‍රීඩා තරග නැවැත්වීමේ උපදෙස් ලබානොදී අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමෙන් ක්‍රීඩා තරගවත්, ඒ සඳහා වන පුහුණු වීම් වත් නවතින්නේ නැති බව අධ්‍යාපන බලධාරීන් තේරුම් ගත යුතුය.

 (anidda.lk - ලසන්ත රුහුණගේ)