V2025

එළියෙන් අඳුරට සහ විපත් මගකට

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දින උත්සවයකදී, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ කළ ප‍්‍රකාශයත්, යාපනේ පැවති ප‍්‍රසිද්ධ රැස්වීමකදී හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශයත්, විශ‍්‍රාමික රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගමට එරෙහිව කළ ප‍්‍රහාරක ප‍්‍රකාශනයත්, අප සියල්ලන් විසින් ප‍්‍රසිද්ධියේ හෙළාදැකිය යුතු කාරණා වන්නේය. පූජ්‍ය උපාලි තෙරුන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අනුශාසනා කරන්නේ ‘හිට්ලර් කෙනෙකු වී’ හෝ රටට නායකත්වයක් සපයන ලෙසයි. ඉන් සති කිහිපයකට පසු වීරසේකර මහතා ආචාර්ය උඩගම මහත්මිය එල්.ටී.ටී.ඊ. ආධාරකාරියක බවත්, රටට ද්‍රෝහී තැනැත්තියක බවත් කියමින්, ‘ද්‍රෝහීන්ට මරණය’ ඉල්ලා සිටියේය. විජයකලා මහත්මිය, උතුරේ ජනතාවගේ, විශේෂයෙන් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව පතා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයක් ඉල්ලා සිටියාය. මේ ප‍්‍රකාශ අතර පොදු නෑකමක් තිබේ. මේවා ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශ වීම නිසාම, යහපාලනයක් ඇති කරලීම සඳහා අධිකාරීවාදී සහ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක අවශ්‍යතාව සුජාත කොට අවධාරණය කරනු ලැබේ. තවද, ප‍්‍රචණ්ඩත්වය, අනෙකා නොඉවසීම සහ වෛරය, සෘජුව හෝ වක‍්‍රාකාරයෙන්, ඔවුහු ඒ මගින් සන්නිවේදනය කරති.
 
මෙවැනි ප‍්‍රකාශන තුළින් කියැවෙන්නේ, අනාදිමත් කාලයක පටන් විවිධ ජාතීන්ගෙන් පැවත එන්නා වූ ද, සන්නද්ධ ගැටුමක ගොරතර අත්දැකීම් ද සහිත දේශයක, වාර්ගික සහ ආගමික අනන්‍යතාවයක නාමයෙන්, එක පැත්තකින්, සිංහල බෞද්ධ බහුතරවාදී රාජ්‍යයකුත්, අනිත් පැත්තෙන්, සුළුතර දෙමළ ප‍්‍රජාවකගේ ඊලාම් රාජ්‍යයකුත් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවකි. මහේෂ්වරන් මහත්මියගේ ප‍්‍රකාශය තුළ, මේ මුළු රටමත් ලෝකයමත් දන්නා එක් යථාර්ථයක් අමතක කරයි: ඒකාධිපති සහ දැඩි මතධාරී එල්.ටී.ටී.ඊ. පාලනය විසින් දෙමළ ප‍්‍රජාවටත්, අපේ සියලූ ජනතාවටත් ගෙනෙන ලද්දේ ප‍්‍රචණ්ඩත්වය, විනාශය සහ විඳවීම ය. මොවුන්ගේ මේ ප‍්‍රසිද්ධ අනුශාසනාවන් තුළ පැවතියේ, අවිහිංසාව කෙරෙහි සහ මිනිස් සන්තාපය කෙරෙහි සංවේදී විය යුතු යැයි බුදුන් වදාළ ආගමක ඇති මූලික හර පද්ධතීන් පාගා පොඩි කර දැමීමට බැලීමකි.
 
සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ ධම්මපදයේ දේශනා කළ පරිදි, වෛරය, ප‍්‍රචණ්ඩත්වය සහ විජයෝත්සව මගින් උපද්දනු ඇත්තේ තව තවත් වෛරය සහ ප‍්‍රචණ්ඩත්වයම ය. ‘පරාජිතයා වේදනාවෙන් තැවෙන නිසා’ එය සක්සුදක් සේ යථාවක්ම වන්නේ යැයි උන්වහන්සේ වදාළහ. වෛරය, හිංසනය සහ අධිකාරීවාදය, සංඝ සාසනයේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙකු, හිටපු හමුදා නිලධාරියෙකු සහ පාර්ලිමේන්තුවේ සාමාජිකාවක් විසින් ප‍්‍රවර්ධනය කරනු ලැබීම අතිශය විනාශකාරී ය. ඒවා අප විසින්, ප‍්‍රගතිය සහ සංවර්ධනය අපේක්ෂා කරන අප විසින්, බල අපයෝජනයන්ගෙන් සහ සන්නද්ධ ගැටුම්වලින් විනිර්මුක්ත ප‍්‍රගතියක් සහ සංවර්ධනයක් අපේක්ෂා කරන අප විසින් අභියෝග කොට ප‍්‍රතික්ෂේප කළ යුත්තේය. ඒකාධිපතියන් සහ මිනිසුන්ගේ විවිධත්වයන්ට වෛර කරන්නන් විසින් බිහි කරනු ඇත්තේ, ජනතාවට වැඩදායී රාජ්‍යකරණයක් වෙනුවට, යුද්ධය, විනාශය සහ විඳවීම බව, මිනිස් ඉතිහාසය අපට පෙන්වා දෙයි.
 
එසේම, රජයක තනතුරු දරන්නන් සතු වගකීම් විකෘති කරන සංස්කෘතියත් අප හෙළාදැකිය යුතුව තිබේ. දේශපාලඥයන් ඉදිරියේ දණ නමන ‘පි‍්‍රයමනාප සහ යහපත්’ මිනිසුන්ගේ අවකල් ක‍්‍රියාවන් සහ දූෂණයන්, ජරාජීර්ණ දේශපාලන ක‍්‍රමයක අසරණ පිරිසක් වශයෙන් සලකා සමාව දී අමතක කිරීමටත් අපි පුරුදුව සිටිමු. සෘජුපටිපන්නව සහ ධෛර්යවන්තව තමන්ගේ වෘත්තීයමය සහ රාජ්‍ය වගකීම් ඉටු කිරීමට උත්සාහ දරණ පුද්ගලයන්ට එරෙහිව නැගෙන ප‍්‍රහාර ඉවසා සිටීමටත් අපි පුරුදුව සිටිමු. ආචාර්ය උඩගම එල්.ටී.ටී.ඊ ක්ෂමාලාපිකාවක් සේ මෑතකදී ගර්හාවට ලක්කිරීම, මේ දුෂ්ට අවලාද සංස්කෘතියේ තරම නිරූපණය කරයි.
 
ආචාර්ය උඩගම, ශාස්ත‍්‍රාලීය වෘත්තීයවේදිනියකි. සිය වගකීම් දිරිමත්ව, ගෞරවාන්විතව සහ ස්වාධීනව ඉටු කිරීමේ මෙන්ම, රාජ්‍ය සේවය කෙරෙහි ගැඹුරින් කැපවීමේත් පළපුරුද්ද ඈ සතු ය. පුද්ගල සුපිළිපන් භාවයේ ඉහළම ප‍්‍රමිතියට අනුගතව කටයුතු කොට ඇති ඇය ඒ සඳහා වන පෘථුල සමාජ ගෞරවාදරයට ලක්ව සිටින්නියකි. කොමිසමේ සභාපතිනිය වශයෙන් කෙටි කාලයක් තුළ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිඥාවන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ගැනීම හරහා සාක්ෂාත් කර ගැනීමට ඈ නායකත්වය දී ඇත්තේය.
 
පසුගිය රජය යටතේ පැවති ලංකාවේ මානව හිමිකම් කොමිසම, එවැනි කොමිෂන් සභාවන්හි කාර්යයන් නිරීක්ෂණයට ලක්කරන ජාත්‍යන්තර මෙන්ම ආසියාතික ආයතන මගින් තත්වයෙන් පහත හෙලනු ලැබ තිබුණි. වර්තමාන ලංකාවේ මානව හිමිකම් කොමිසම මෑතකදී කරන ලද කාර්ය භාරය, යුක්තිය පසිඳලීම සහ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරභයා වන එවැනි ආයතන සහිත වෙනත් රටවල් අතරේ හොඳම රටක් වශයෙන් ගෞරවයට ලක්වීමට හේතුකාරක විය. එවැනි තත්වයක් තුළ, ඇගේ නාමය සහ රාජ්‍ය සේවය බාල්දු කිරීම සඳහා කරන ලද කුරිරු සහ අසත්‍ය අපවාද අප හෙළාදැකිය යුතුව ඇත.
 
2015 දී, අඩු වශයෙන් රටේ සිංහල බෞද්ධයන්ගෙන් තුනෙන් එකක් ඇතුළු රටේ බහුතර ජනතාව පැවති දේශපාලන තන්ත‍්‍රය සහ නායකත්වය ප‍්‍රතික්ෂේප කළෝය. වෙනසක් සඳහා වන අවශ්‍යතාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ එදා නායකත්වය දුන්නෝය. එකී ජයග‍්‍රහණයෙන් පසුව, සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුකරණය සහ කාර්යක්ෂම වූත්, දේශපාලනික කැපවිමකින් යුක්ත වූත් ප‍්‍රජා අභිවෘද්ධිය අතර පාලම් ගොඩනැගිය යුතුව තිබුණි. එහෙත් දෙන ලද ප‍්‍රතිඥා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත්ව තිබේ. ඒ අසාර්ථකත්වයන් හේතුවෙන්, රටට අවශ්‍ය කරන්නේ අධිකාරීවාදී ඒකාධිපති නායකත්වයක් ය යන මතයක් අද වන විට සමාජගතව තිබේ.
 
ඇතැම් අවස්ථා අපෙන් මගහැරී ගොස් ඇති මුත්, මේ කාලය තුළ සාධනීය වෙනස්කම් යම් තරමකින් හෝ සිදුව ඇති බවත් අප පිළිගත යුතුය. කුමන සීමාකම් තිබියේ වී නමුත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කර ගත් සම්මුතිය මේ වන විට නීතිගත කරගෙන තිබේ. එසේම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ගැනීම. විශේෂයෙන් මානව හිමිකම් කොමිසම ක‍්‍රමවත් කර ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ පනතක් ඊට අදාළ ස්වාධීන කොමිසමක් හරහා ස්ථාපනය කරගෙන තිබීම මගින්, ජනතාවට වැඩදායී වන ප‍්‍රමිතීන් සහ ක‍්‍රියා පරිපාටි අප සකසාගෙන තිබේ. පැහැරගෙන යාම් සහ විරුද්ධවාදීන්ව අනීතිකව ඝාතනය කිරීම වැනි අතීතයේ අවකල් ක‍්‍රියා අද දකින්ට නැත.
 
එසේ වෙතත්, ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවත්, ඔවුන් බලයට පත්වීමේදී ජනතාවට දෙන ලද මූලික ප‍්‍රතිඥා සාධනය කරලීමට අසමත්ව සිටී. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය දෙසම ඇස ගසාගෙන සිටින ආණ්ඩුව සහ එහි නායකත්වය, පැරණි වැරදි කරමින් අනන්‍යතා දේශපාලනයක සිර වී සිටී. විවිධ අංශවලින් විරෝධතා නැගුණත්, අලූත් දේශපාලන සංස්කෘතියක් කොතෙක් ඉල්ලා සිටියත්, පත්වීම් කිරීමේදී දේශපාලන අනුග‍්‍රහය ක‍්‍රියාත්මක වීම, මහජන මුදල් අපයෝජනය කිරීම, අකාර්යක්ෂමතාව සහ දූෂණය, රාජ්‍ය පරිපාලනය කෙරෙහි වන දේශපාලනික ඇඟිලි ගැසීම් ආදිය තවමත් දකින්ට ලැබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, රජයේ තනතුරු දරණ සහ ජනතාවට වගකිව යුතු පුද්ගලයන්ම ඇතැම් විට දේශපාලඥයන්ගේ අසාර්ථකත්වයන්හි සහ අකාර්යක්ෂමතාවයන්හි පාර්ශ්වකරුවන් බවට පත්ව සිටී.
 
දූෂණය සහ හිංසනය පිළිබඳ නඩුහබ, නිමක් නැති පරීක්ෂණ අස්සේ ප‍්‍රමාද කෙරෙමින් තිබේ. එවැනි සිදුවීම් පිළිබඳ නඩුහබ වෙනත් රටවල විභාග කෙරෙන ආකාරය මෑතකදී අපට දැක ගත හැකි විය.
 
විරෝධතා දේශපාලනයක පැටලී සිටින මේ රටේ අපරාධ පරීක්ෂණ වනාහී දේශපාලන පලිගැනීම් වශයෙන් හංවඩු ගැසීමේ පුරුද්දක් තිබේ. ඒ අනුව, යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාපරිපාටි අපයෝජනය කෙරේ. මූලික අයිතිවාසිකම් පිළිබඳ අලූත් අර්ථකථනයක් මත යමින්, නිදහසට ඇති අයිතිය කෙලෙසන ආකාරයෙන් අත්අඩංගුවට පත්වීමෙන් වැළැකී සිටීමට කෙනෙකුට ඇති අයිතිය, උසාවියකට ගොස් අපරාධ සිදුවීම් පිළිබඳ නඩු විභාග දීර්ඝ කාලයකට කල් දමා ගැනීමේ අයිතියක් වශයෙන් ගෙන අපේ නීතිඥයෝ තර්ක කරති.
 
රාජ්‍යකරණය සහ පරිපාලනය තුළ දක්නට ලැබෙන මේ අසාර්ථකත්වයන් හඳුනා ගැනීම, කෙසේ වෙතත්, අපේ රටත් ජනතාවත් තවත් පීඩාවට පත් කරවන අනාගත ඒකාධිපති පාලනයක් සඳහා වන උත්තේජනයක් නොවිය යුත්තේය. ඒකාධිපතියන් තමන්ගේම ජනතාව විනාශ කර ඇති ආකාරය ඉතිහාසය අපට කියාදෙයි. චණ්ඩාශෝක රජෙකුට ධර්මාශෝක රජෙකු විය හැකි වුණේ සළුපිළි මාරු කිරීමෙන් නොව, හිංසනය සහ බල අපහරණය ප‍්‍රතික්ෂේප කිරීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන ප‍්‍රමිතීන්වලින් මගපෙන්වනු ලැබීමෙනි. උපාලි තෙරුන් වහන්සේ හෝ වීරසේකර මහතා හෝ විජයකලා මහත්මිය අනුදකින මාර්ගය පැහැදිළිවම, ‘එළියෙන් අඳුරට’ යන මාවතකි. එය අපේ රටටත්, ජනතාවටත් ‘විපත් මගක්’ වීමට හැම පැත්තකින්ම ඉඩ ඇත්තේය.
 
මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර
මහාචාර්ය කමිනා ගුණරත්න
2018 ජුලි 13 වැනි දා ‘ද ෆ‍්‍රයිඬේ ෆෝරම්’ වෙතින් නිකුත් කළ From Eliya to Andura & On to a Vipath Maga  නැමැති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found