V2025

රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීම: ණය ප‍්‍රශ්නයට වැරදි විසඳුම්

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘‘ණය බර වැඩියි. ඒක නිසා ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.’’, ‘‘අයවැය පරතරය අඩු කර ගැනීමට රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙලක්’’, ‘‘2020 වන විට රාජ්‍ය ණය ප‍්‍රමාණය, දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 70 දක්වා පහළට.’’, මේ වනාහී, පසුගිය කාලයේ අපට අසන්ට ලැබුණු අදහස්, උපාය මාර්ග සහ අරමුණු ගැන කියැවුණු ප‍්‍රකාශ කිහිපයකි. 

ආනයනික පරිභෝජනය අඩු කර ගැනීම සඳහා තීරුබදු වැඩි කිරීම යහපති

දැන් සිදුවෙමින් තිබෙන්නේ, ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කිරීමේ පිළිවෙතක් ක‍්‍රියාවේ යෙදවීමකි. ආනයනික පරිභෝජනය (පරිභෝජනය සඳහා ආනයනය කිරීම) අඩු කර ගැනීම අරමුණු කරගෙන, බදු වැඩි කිරීමේ පිළිවෙතක් රටක් ක‍්‍රියාත්මක කිරීම නරක නැත. ශ‍්‍රී ලංකාවේ පරිභෝජනය, රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 80 ක පමණ ඉහළ අගයක් ගනී. මෑතකදී සංවර්ධනය වූ රටවල එම ප‍්‍රමාණය තිබුණේ සියයට 60 ක් වශයෙනි. 

වේලාසනින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ආර්ථික වර්ධනය ඇනහිටී

කෙසේ වෙතත්, වර්තමානයේ ආණ්ඩුවේ වියදම් ද ඉතා තදින් සීමා කෙරේ. විශේෂයෙන් පොදු වියදම් (යටිතල වියදම්) සීමා කෙරේ. එහි අරමුණ වන්නේ අයවැය පරතරය අඩු කර ගැනීමයි. එවැනි උපාය මාර්ගයක් අනුගමනය කිරීමෙන් ඇති විය හැකි නරක පැත්ත, දළ දේශීය නිෂ්පාදන වර්ධනයේ ප‍්‍රමාණයන්ගෙන් අපට දැක ගත හැකි වනු ඇත.

වර්තමානයේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වන්නේ සියයට 4 කට අඩු මන්දගාමී වේගයකිනි. ඊට හේතුව, ආණ්ඩුව පැත්තෙන් ලැබිය යුතු තල්ලූව නොලැබී යාමයි. මෙවැනි අඩු වර්ධන වේගයකින් ශ‍්‍රී ලංකාවට ‘සංවර්ධිත’ ශ්‍රේණියට ළඟා විය නොහැකි වනු ඇත. මෑතකදී සංවර්ධනය වූ තායිවානය සහ දකුණු කොරියාව වැනි රටවල් ඒ තත්වයට පැමිණියේ, දශක තුනක පමණ කාලයක් තිස්සේ එක දිගට සියයට 8-9 අතර ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමෙනි. 

තිරසර සංවර්ධනයක් සඳහා රාජ්‍ය මුල්‍ය අංශයේ සහායක් අවශ්‍ය කෙරේ

ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කළ හැකි අංශ ශක්තිමත් වන පරිද්දෙන් රාජ්‍ය ව්‍යවසායන් සහ/හෝ බදු සහන සැලසිය යුතුව තිබේ. ඉදිරි දශක කිහිපය තුළ ඒක පුද්ගල ආදායම ප‍්‍රමාණවත් පරිද්දෙන් ඉහළ නංවා ගත හැක්කේ එවිට ය. එය කළ හැකි අංශ කිහිපයක් වන්නේ, විශ්ව විද්‍යාල සංවර්ධනය කිරීම හෝ ඉලක්කගත අංශ කෙරෙහි අවශ්‍ය කරන පුහුණු ශ‍්‍රමය සපයා ගත හැකි වන පරිද්දෙන් ශ‍්‍රම බලකාය වර්ධනය කර ගැනීම වැනි අංශ කෙරෙහි යොමු වීමයි. එසේම අපට වඩා දියුණු ආර්ථිකයන් ඇති රටවලින් අපට අවශ්‍ය කරන තාක්ෂණ ඥානය ලබා ගැනීමත් තවත් ක‍්‍රමයකි. අපේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායන් හරහා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ සහ සේවා සඳහා වන අපනයන වෙළඳපොළවල් සොයා ගැනීමත් තවත් ක‍්‍රමයකි. 

හුදෙක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා පමණ් ආණ්ඩුව මේ අවස්ථාවේ යොමු නොවිය යුත්තේ එබැවිනි. අයවැය හිඟය, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3-4 දක්වා වන ප‍්‍රමාණයකට අඩු කර ගැනීමට බලනවා වෙනුවට, දැනට පවතින සියයට 6-7 සීමාවේ එය පවත්වා ගැනීම යෙහෙකි. ඒ ආකාරයෙන්ම, රාජ්‍ය ණය ප‍්‍රමාණය, දැනට පවතින පරිද්දෙන්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80-85 සීමාවේ පවත්වා ගැනීම, එය අඩු කර ගැනීමට බලනවාට වඩා යෙහෙකි.

විපතට පත් මූල්‍ය සමාගම් සහ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සාම්‍යතාවන් 

විපතට පත් මූල්‍ය සමාගම් ගැන  ඕනෑවටත් වඩා අත්දැකීම් දැන් අපට තිබේ. ඒවායේ මුදල් යෙදවූ තැන්පත්කරුවන්ගේ අඳෝනා අප  ඕනෑවටත් වඩා අසා තිබේ. ‘අපේ සල්ලි අපට ආපසු දෙනු’ යන්න ඔවුන්ගේ එකම ඉල්ලීමයි. මේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ලබා දීමට නම් යම් කිසි අලූත් ව්‍යවසායකයෙකුට මූල්‍ය සමාගම පැවරිය යුතුව තිබේ. එහෙත්, ණය කන්දක් කර ගසාගෙන සිටින සමාගමක තමන්ගේ මුදල් ආයෝජනය කිරීමට කිසි ව්‍යවසායකයෙකු කැමති වන්නේ නැත. ඊට හේතුව වන්නේ, ව්‍යාපාරය භාරගත් සැණින් තැන්පත්කරුවන්ගේ මුදල් එක වර ආපසු ගෙවා දැමීමට සිදුවීමෙන් තමන්ගේ ලාභ ප‍්‍රමාණය අඩු කර ගැනීමට ව්‍යවසායකයෙකු කැමති නොවන බැවිනි.

මෙවැනි අර්බුදයකට මුහුණදෙන සමාගමක පරණ අධ්‍යක්ෂවරුන්ගේ සහ කොටස්කරුවන්ගේ ප‍්‍රථම අභියෝගය වන්නේ, අලූත් ව්‍යවසායකයාගේ මුදල් ලබාගෙන, වඩාත් දුරදක්නා ආර්ථික නුවණකින් යුතු අලූත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කොට පරණ ව්‍යාපාරය ගොඩගන්නා තෙක් ඉවසා සිටින්නැයි තැන්පත්කරුවන්ට ඒත්තු ගැන්වීමයි. එසේ ලබා ගන්නා ආදායමෙන් කොටසක්, තැන්පත්කරුවන්ගේ ණය පියවීම සඳහා පියවරෙන් පියවර කොටස් වශයෙන් පාවිච්චි කළ හැකිය.

මේ සන්සන්දනය සර්ව සම්පූර්ණ නැතත්, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දැන් පවතින තත්වය වටහා ගැනීමට එය පිටිවහලක් කර ගත හැකිය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය, විපතට පත් මූල්‍ය සමාගමක් වැනි ය. අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා (යටිතල වියදම් අඩු කරගෙන) රාජ්‍ය මූල්‍ය තත්වය ශක්තිමත් කර ගන්නා ලෙසත්, රාජ්‍ය ණය බර අඩු කර ගන්නා ලෙසත් ආණ්ඩුවට උපදෙස් දෙන ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’, අර කී විපතට පත් මූල්‍ය සමාගමෙන් තමන්ගේ මුදල් එක වර ඉල්ලා සිටින තැන්පත්කරුවන්ට සමාන ය. 

විපතට පත් මූල්‍ය සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට සමානත්වයක් දරණ ආණ්ඩුව, මේ තත්වය ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට’ ඒත්තු ගැන්විය යුතුව තිබේ. මුලින්ම ශක්තිමත්, තිරසාර සංවර්ධන මාවතක රට ගමන් කළ යුතුව තිබේ. එසේ කිරීමෙන් යම් ප‍්‍රගතියක් අත්කර ගත් පසු, ක‍්‍රම ක‍්‍රමයෙන් ණය ගෙවා දැමිය හැකිය. මූල්‍ය සමාගමේ කොටස්කරුවන්ට සමානත්වයක් දරණ මේ රටේ ජනතාව, තමන්ගේ අනාගතය ගැන ආණ්ඩුව වගබලා ගනු ඇතැයි එවිට විශ්වාසය තබනු ඇත.

ණය දෙන ආයතනවලට වරද පැටවිය නොහැක

තැන්පත්කරුවන් තමන්ගේ මුදල් වහා ඉල්ලා සිටීම ගැන ඔවුන්ට වරද පැටවිය නොහැක්කේ යම් සේ ද, තමන් රජයට සපයන ණය ආපසු ගෙවා දැමීම සඳහා වන ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියක් ඇති කර ගත යුතුව ඇති බවට ආණ්ඩුවට උපදෙස් දෙන ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත්’ දොස් කිව නොහේ. ණය දෙන අය තමන්ගේ ණය ආපසු අයකර ගැනීමේ සහතිකයක් ඉල්ලා සිටීම අසාධාරණ නැත. 

පෞද්ගලික ව්‍යාපාර ලෝකයේ පවා, සාර්ථක ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයෝ තමන්ගේ ව්‍යාපාර සැලසුම් සකස් කර ගැනීමෙන් පසු, තමන් වෙත ණය ලබා දෙන්නන්ට තමන්ගේ කොන්දේසි ඉදිරිපත් කරති. මේ සමාගම්වල ව්‍යාපාරික සැලසුම් සකස් කරන්නේ ණය දෙන්නන් නොවේ. මන්ද යත්, ඔවුන්ට ව්‍යාපාරික ඥානයක් නැති බැවිනි. එසේම අදාළ සමාගම සතු තරගකාරීත්වය පිළිබඳ අවබෝධයක් ද ඔවුන්ට නැති බැවිනි. 

ඒ ආකාරයෙන්ම, රටකත් සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ ආණ්ඩුව මගින් මිස (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි) ණය දෙන ආයතනයක් මගින් නොවේ. ඒ මන්ද යත්, රටක් වශයෙන් තමන් සතු තරගකාරී හැකියාවන් ගැන දන්නේ ඒ රටේ නායකයන් වන බැවිනි. එකිනෙක රටක් සතු හැකියාවන් පිළිබඳ දැනුමක් ණය දෙන ආයතනවලට ඇතැයි සිතිය නොහැක. ණය දෙන ආයතනයකට කළ හැක්කේ, සම්මත උපමානයන් පිළිබඳව රටකට උපදෙස් දීම පමණි. 

සංවර්ධනය සඳහා අවශ්‍ය කරන දැනුම, උපායමාර්ග සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව රටක නායකත්වයකට ඇතැයි ණය දෙන ආයතනයක් ඒත්තු ගත් විට, එම ආයතනය ඒ රට කෙරෙහි ඇඟිලි ගැසීමට එන්නේ නැත. එසේම, ඒ රටේ ආර්ථික සැලැස්මට ආධාර කිරීමට මිස එය අඩපණ කිරීමට එන්නේ ද නැත. 

අනිත් අතට, යම් රටක නායකත්වයකට එවැනි හැකියාවක් හෝ දැනුමක් නැතැයි ණය දෙන ආයතනයක් අවබෝධ කර ගත් විට එවැනි ණය දෙන ආයතන තමන්ගේ අතට තීරක බලය ගැනීමට බලන අතර, තමන් සපයන ණය මුලින් ආපසු අයකර ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹෙයි. එසේ කිරීම ණය දෙන ආයතනයක වරදක් යැයි ගත හැක්කේ කෙසේද?

2018 අගෝස්තු 21 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Fiscal Consolidation: Wrong Solution for Debt නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found