V2025

‘‘පළමුව ජාතිය, දෙවැනුව මෝක්ෂය’’: කාදිනල් මැල්කම් රංජිත්

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඕනෑම රටක ගිහියෙකුට, අවශ්‍ය නම්, ඉහත සටන් පාඨය වලංගු කර ගත හැකිය. මන්ද යත්, ගිහියන් මුලින්ම ලෞකික වන බැවිනි. එහෙත් කිසි ආගමක පූජ්‍ය පක්ෂයට එය වලංගු වන්නේ නැත. මන්ද යත්, සෑම පූජ්‍ය පක්ෂයක්ම, ගිහිගෙය අත්හල හෝ ලෞකිකත්වයෙන් එහා ලෝකෝත්තර සත්‍යයක් වෙනුවෙන් දෛනිකව පෙනී සිටින පිරිසක් වන බැවිනි.       

කාදිනල් මැල්කම් රංජිත් පසුගිය දවසක මානව හිමිකම් ගැන දේශනයක් පවත්වා තිබුණි. ඔහු කියා තිබුණේ, මානව හිමිකම් ගැන බටහිර ලෝකයා දැන් කොච්චර කෑගැහැව්වත්, ඊට බොහෝ කලකට පෙර සිට ලංකාවේ ජනතාව අතර මානව හිමිකම් තිබූ බවයි. ඊට හේතුව, මේ රටේ ජනතාව එදා සිටම ප‍්‍රධාන ආගම් කිහිපයක්ම ඇදහූ නිසාලූ.     බුද්ධාගම, ක‍්‍රිස්තියානිය, ඉස්ලාම්, යුදෙව් සහ හින්දු ආදී ලෝකයේ සියලූ ආගම් ගෙන බැලූවත්, මානව හිමිකම්වලට ගරු කරන  ඕනෑ තරම් දේශනා කෙනෙකුට ඒ ධර්ම කොටස් අතරින් පහසුවෙන් සොයා ගත හැකිය. හේතුව, ආගමක් යනු මූලික වශයෙන් ගත් විට මනුෂ්‍යයා වෙනුවෙනුත්, ජෛන සහ බුද්ධාගම වැනි ආගම් සම්බන්ධයෙන් ගත් විට, සතා සීපාවා වෙනුවෙනුත් දේශනා කොට ඇති ධර්මයන් වන බැවිනි. නමුත් ප‍්‍රශ්නය වන්නේ, මේ කියන කිසි ආගමකට ඒ මානව හිමිකම් මහ පරිමාණයෙන් උල්ලංඝණය වීම් නතර කිරීමට බැරි වී තිබීමයි. 

මිනිස් ඝාතනය සෑම ආගමක්ම පිටුදකී. ඒ නිසා අප කළ යුත්තේ මිනිස් ඝාතන වැළැක්වීම සඳහා අද ලෝකයේ සෑම දණ්ඩ නීති සංග‍්‍රහයකම ඒ වරද සඳහා දඬුවමක් පනවා තිබීම අපහාසයට, උපහාසයට ලක්කිරීම ද? කාදිනල්වරයා මානව හිමිකම් පිළිබඳ අවඥාවෙන් කතා නොකළ බව හෝ එවැන්නක් අදහස් නොකළ බව පැවසීමට, එතුමාගේ නියෝජිතයෙකු විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබුණි. ඒ නිසා කාදිනල්වරයාගේ වචනයෙන්ම අපි එය කියවා බලමු: 

   ‘‘බටහිර ලෝකයේ අලූත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් කියන කාරණය.. මේ මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේයිදා. හරියට, අලූතෙන් හොයා ගත්ත පුදුමාකාර දෙයක් වගේ ඔළුව උඩ තියාගෙන  ඕක තමයි හැම තිස්සේම අපට කියන්නේ. මානව හිමිකම්.. මානව හිමිකම්.. ඒ වුණාට, විශේෂයෙන් අපේ රටේ ජනතාව ආගම් අදහන්න ගත්තේ අවුරුදු බොහෝ ගණනාවකට කලින්. 

‘‘අපේ රටේ සමහර ඈයෝ කතා කරනවා අනාගමික සමාජයක් ගැන. අනාගමික සමාජයක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතය කියන්නේ කෑමබීම, ඇඳුම් පැළඳුම් සහ සැප විහරණ පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න  ඕනේ නැහැ. මානව හිමිකම්වලටත් එහා ගිය විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නේ, ආගම් අදහන්නේ නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම්  ඕනේ නැහැ. මිනිස්සු මේ මායාවට රැුවටෙන්න හොඳ නැහැ. අපි බුද්ධිමත්ව මෙහිදී කටයුතු කළ යුතුයි.’’

දැන් අපේ පාඨකයාට, කාදිනල්වරයා සැබවින්ම අදහස් කෙළේ කුමක් ද යන්න කියා දීමට එතුමාගේ පෙරකදෝරු නියෝජිතයන්ගේ විශේෂ නිවේදන අවශ්‍ය නොකරයි. මන්ද යත්, උන්වහන්සේ විසින් ඉතා පැහැදිළිව කාරණය අපට නිවේදනය කොට ඇති බැවිනි. (මීට කලකට පෙර, අස්ගිරියේ අනුනායක හිමිනමක් ද මීට සමානම ප‍්‍රකාශයක් කිරීමෙන් පසුව, තමන් අදහස් කෙළේ වෙන දෙයක් බව කියා සිටීමට දත්මිටි කෑ සැටි අපට මතකයි.*

   කාදිනල්වරයාගේ ප‍්‍රකාශයේ සඳහන් එක වාක්‍යයක් අපි ගමු: ‘‘මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු.’’ මෙය, සම්මත ආගම් නොඅදහන, මානව හිමිකම ‘ආගමක්’ වශයෙන් සලකන මා වැනි අය සම්බන්ධයෙන් සත්‍යයකි. එහෙත් මා ඒ තත්වයට පත්ව ඇත්තේ, ආගම් අදහන මිනිසුන් මානව හිමිකම් උල්ලංඝනය කළ ඉතිහාසයක් දැන කියාගෙන සිටින නිසා බව කාදිනල්වරයාට මතක් කර දිය යුතුය.      

බිහිසුණු කුරුස යුද්ධ ඉතිහාසයක් මේ කාදිනල්වරයාගේ පසුපස්සෙන් තිබේ. කුරුස යුද්ධ යනු කුමක් ද? වචනයෙන්ම කියැවෙන පරිදි, කුරුසය වෙනුවෙන් මිනිසුන් මැරීමකි. එනම්, ක‍්‍රිස්තුස් වහන්සේව ඇණ ගසා ඝාතනය කිරීමට පාවිච්චි කළ කුරුසය කරේ එල්ලාගෙන රටක් ගානේ ගොස් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඝාතනය කිරීමකි. එය, එක යුද්ධයක් නොව, යුද්ධ මාලාවකි. සුළු පරිමාණයේ යුද්ධවලට අමතරව ප‍්‍රධාන පෙළේ කුරුස යුද්ධ 6 ක් දියත් විය. මේ යුද්ධ මාලාව ශත වර්ෂ දෙකක් තිස්සේ දිග් ගැස්සුණි. එහි ආරම්භකයා වුණේ, දෙවැනි උර්බන් පාප් වහන්සේ ය. ඒ, 1098 දී ය. මේ පාප් වහන්සේ, පළමු ඇලෙක්සියෝ අධිරාජයාගේ සේනාවන් සඳහා ගොවියන්ව යුද්ධයට කැඳවීමේ දී දුන් පොරොන්දු කවරේ ද? එකක් වුණේ, ඒ ‘පිනෙන්’ සියලූ සොල්දාදුවන්ට යෙරුසලම නැමැති නගරයෙන්ම එක රොත්තට ස්වර්ගයට ප‍්‍රවිෂ්ට විය හැකි බවයි. දෙවැන්න වුණේ, ඔවුන් එතෙක් කර ඇති සෑම පාපයකටම දෙවියන් වහන්සේගෙන් සාමූහික සමාවක් ලැබෙන බවයි. මේ යුද්ධ දියත් කෙරුණේ කුමක් සඳහා ද? තමන්ගේ ශුද්ධ වූ භූමිය (යෙරුසලම* යළි අත්පත් කර ගැනීම සඳහා ය.

මේ සඳහන් කෙළේ, ‘‘මානව හිමිකම්වල එල්ලීගෙන නොසිටි, එහෙත් ආගම්වල එල්ලීගෙන සිටි’’ උන්දැලාගේ අතීතයෙන් බිඳක් පමණි. (ඇත්ත වශයෙන්ම, මේ යථාර්ථය තේරුම්ගෙන සිටින වත්මන් පාප් වහන්සේ ඇතුළු පල්ලිය ඒ අතීතයෙන් කැඞී වෙන් වීමට යම් වෙහෙසක් ගනිමින් සිටින බව ද, ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය).

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තියක් ඇති කර ගැනීමට මානවයාට සිදුවීමම, ආගමේ අසාර්ථකත්වය සනාථ කිරීමකි. මේ ප‍්‍රඥප්තිය ඇති කර ගන්නා විට, කාදිනල්වරයාගේ ආගමට වසර 1948 ක් ගතව තිබුණි. බුද්ධාගමට වසර 2492 ක් ගතව තිබුණි. එහෙත් එවැනි දීර්ඝ කාලයක් තිස්සේ කාදිනල්වරයාගේ ආගමේ නාමයෙන්ම ඉහත සඳහන් ආකාරයේ සහගහන අපරාධ සිදුව තිබේ නම්, තවමත් ලෝකයේ විවිධ රටවල්, එකම ආගමක සඳහන් යම් වචනයක හෝ දෙකක වෙනසක් උඩ (උතුරු අයර්ලන්තය) මිනිමරා ගන්නේ නම්, තවදුරටත් මිනිසාගේ ජීවිතය පිළිබඳ අයිතිය තහවුරු කිරීම ආගම්වලට භාර දී බලාගෙන සිටිය නොහැකි බව ලෝකයා තේරුම් ගත්හ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තියට තුඩුදුන් එක් මූලාශ‍්‍ර දැනුමක් ආවේ එතැනිනි.     දැන් අපි කාදිනල්වරයාගේ වර්තමාන අරටුවට යමු. ඔහු මේ කියන්නේ, මිනිසුන් මානව හිමිකම් වෙනුවට ආගම හරියට ඇදහිය යුතු බව ද? තිතටම ආගම ඇදහුවත්, ආගමේ ‘පාපය’ වශයෙන් ගැනෙන වැරදි සහ අපරාධ ඇති වීම වැළැක්විය හැකි යැයි කෙනෙකු නෝන්ජල් කමටවත් සිතන්නේ නැත. කාදිනල්වරයා මේ කියන්නේ එවැනි නෝන්ජල් කතාවක් නොවේ. ‘‘ඔළුව උඩ තියාගෙන  ඕක තමයි අපිට හැම තිස්සෙම කියන්නේ.’’ මේ අවඥාව එන්නේ, ආගම කෙරෙහි මිනිසුන්ව නම්මවා ගැනීමට ද, නැත්නම්, ඉහත කී කුරුස යුද්ධ ඇතුළු, ඉන්පසුව 20-21 සියවස්වල ඒකාධිපතියන්, ප‍්‍රජා-පීඩකයන් විසින් ජනතාව තලා පෙලා දැමු මානව-විරෝධී ක‍්‍රියාකලාපය නූතන ජාත්‍යන්තර (බටහිර) කක්ෂයේ ඇසෙන් මුදවා ගැනීමට ද? 

   ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව සහ මේ කාදිනල්වරයා අතර එක් භයානක සාම්‍යත්වයක් මම දකිමි. මේ දෙන්නාම, ආගමට ඉහළින් ජාතිය තබා තිබේ. එක් කෙනෙක් ‘සිංහල-බෞද්ධයෙකි’. අනෙකා ‘සිංහල-කිතුණුවෙකි’. ගලගොඩඅත්තේ ඥානසාරට එසේ කිරීමට ‘අවසරයක්’ තිබේ. එනම්, ඔහුගේ ජාතිය සහ ආගම යන දෙක, ඓතිහාසිකව අනන්‍ය වී තිබීමයි. පිරිසුදු බුද්ධාගම අවුරුදු 5000 ක් නොනැසී පවතින්නේ ලංකාවේ නිසා එරට රැුකබලා ගැනීම බුදුන් වහන්සේ විසින්ම දෙවියෙකුට භාර කළැයි කියන මහාවංශ ඉතිහාසයක් ගලගොඩඅත්තේ ඥානසාරට තිබේ. එහෙත් කාදිනල්වරයාට ඇත්තේ කුමක් ද? ගෝත‍්‍රය පමණි. ආගම අනුව වෙනස් වන මේ දෙන්නා ගෝත‍්‍රිකව සමානයෝ වෙත්.      අපි තවත් පැත්තකින් මේ දෙස බලමු. ඔහු කළ මේ ප‍්‍රකාශය, මීට සමාන අර්ථයෙන්, කී සැරයක් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රටේ ජාතිකවාදී සහ ජාතිවාදී කොටස් විසින් මතුරනු ලැබ තිබේදැ යි නිකමට සොයා බලන්න. කාදිනල්වරයාගේ ප‍්‍රකාශය ගැන මංගල සමරවීර ඇමතිවරයා දැක්වූ බුද්ධිමත් ප‍්‍රතිචාරයට එරෙහිව සකලවිධ සිංහල බෞද්ධ අවස්ථාවාදී සහ ජාතිවාදී කොටස් පෙරට විත් තිබුණි. එක්සත් ජාතික පක්ෂය පවා, සුපුරුදු පරිදි, ඇඟ බේරාගෙන තිබුණි. එහෙත් ඔවුන්ට වැටහී නැති එක දෙයක් තිබේ. එනම් කාදිනල්වරයාගේ අලූත් සූත‍්‍රය, දීර්ඝ කාලීනව සිංහල බෞද්ධයන්ටම අවාසිදායක විය හැකි බවයි. ඒ කෙසේ ද? ආගම සහ ජාතිය ඒකීය කිරීමෙන් සිංහල-බෞද්ධ බහුතරයක රටක් බවට පත්වූ ලංකාව, ඒ සූත‍්‍රයම පාවිච්චියට ගැනීමෙන් සිංහල-ක‍්‍රිස්තියානි බහුතරයක රටක් බවට පත්කර ගැනීමටත් බැරි කමක් නැති බව ය. පැහැදිළිවම කාදිනල්වරයාගේ වර්තමාන අරමුණ එය නොවෙතත්, ඔහු ආමන්ත‍්‍රණය කර ඇත්තේ කිතුණුවන්ට වඩා සිංහලයන්ට බව පැහැදිළි ය. මානව හිමිකම් පිළිබඳ කාදිනල්වරයාගේ අවඥාව එන්නේ, යුද්ධය අවසානයේ පටන් මේ සමාජය අරක්ගත් අධිපතිවාදී මතවාදයක් ඔස්සේ ය. 
   සමස්ත මිනිස් පැවැත්ම ආගම විසින් පාලනය කළ කාලයක් තිබුණි. ගොවිතැන සහ ලෙඩරෝග ආදියේ සිට ස්වාභාවික විපත් සහ මගුල්තුලා දක්වා සමස්ත මිනිස් පැවැත්ම එදා භාර කෙරුණේ ආගමටයි. පැල සිටුවීමේ සිට අස්වනු නෙලා ගැනීම දක්වා, ලංකාවේ නම්, පන්සල ආශ‍්‍රිත, බටහිර නම් පල්ලිය ආශ‍්‍රිත, පුජාවිධි මත මිනිසුන් යැපුණි. වැස්ස සඳහා පමණක් නොව, කෘමීන්ගෙන් සහ පලිබෝධවලින් භවභෝග ආරක්ෂා කර ගැනීමටත් ආගම අත්‍යාඅවශ්‍ය විය. අද 21 වැනි සියවසේ දී ආගමේ ඒ කර්තව්‍යය විද්‍යාව භාරගෙන තිබේ. 

එසේම එදා යතිවරු වෙදවරු ද වූහ. යේසුස් වහන්සේ පවා, රෝගීන් නිරෝගී කළෝය. අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝය. බිහිරන්ට ඇසීම ලබා දුන්නෝය. පිස්සන්ව සුවපත් කළෝය. අද ඒ කාර්යය, වෛද්‍ය විද්‍යාවේ සන්තකයට පත්ව තිබේ. තවමත් පිරිත් නූල් ගැටගහන බව, දෙහි කපන බව, තොවිල්පවිල් කරන බව ඇත්ත. එහෙත් කිසිවෙකු ලෙඩ දුකකට රෝහලකට නොගොස් සිටින්නේ නැත. 

   සමාජ ආර්ථිකය ගැන බැලූවත් ඊට වෙනස් නැත. ඉපැරණි වේද ග‍්‍රන්ථ පරිශීලනය කළ මහත්මා ගාන්ධි, ඉන්දියාව ස්වයං-පෝෂිත කෘෂිකාර්මික රටක් කිරීමට සිතා, අඳින වස්ත‍්‍රය පවා අතින් වියා ගැනීමට පුරුදු කෙළේය. අද නව ලිබරල් ආර්ථික විද්‍යාවට ළං වීමට ඒ වේද ග‍්‍රන්ථවලට පුළුවන් කමක් නැත. ඊළඟට නීති පද්ධති ගන්න. 16 වැනි සියවසේ මිථ්‍යා දෘෂ්ටිකයන්ව දරසෑයේ දමා අළු කළ පල්ලියේ දණ්ඩාධිකරණ නීතිරීති වෙනුවට අද ඇත්තේ, ශිෂ්ට සම්පන්න බටහිර නීතිරීති ය. මේ සියල්ලෙන් පෙන්වා දීමට අදහස් කෙළේ, ආගමේ අදාළත්වය (නිෂ්පාදනය, සෞඛ්‍ය, නීතිය සහ ආර්ථිකය ආදී) ලෞකික මිනිස් පැවැත්මෙන් සීග‍්‍රයෙන් අහෝසි වී ගොස් ඇති සැටියයි. 

එතකොට ආගමේ කාර්ය භාරය ඉවරදැ යි කෙනෙකු අසන්නට පුළුවන. නැත, එයට තව එක කඳවුරක් ඉතිරිව තිබේ. එනම්, අනන්‍යතා කඳවුරයි. (මෙහිදී ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ කාරණය සාකච්ඡාවට නොගනිමි. හේතුව, ප‍්‍රායෝගිකව එවැනි දෙයක් නැති බැවිනි). අනන්‍යතාව යනු, තනි පුද්ගලයා කාණ්ඩය සමග නෑ කමක් ගොඩනගා ගැනීමේ ක‍්‍රියාවලියයි. මිනිසා තනි කම නැති කොට ශක්තිය වඩවා ගන්නේ සාමූහික සහයෝගය මතයි. සාමූහිකත්වය ගොඩනගා ගැනීම සඳහා සාමුහික අනන්‍යතාවන් අවශ්‍ය කෙරේ. උදාහරණයක් වශයෙන්, සිංහල, දෙමළ, ප‍්‍රංශ, ජරමානු ආදී වශයෙන් ද, බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව්, හින්දු ආදී වශයෙන් ද සාමූහික අනන්‍යතා අවශ්‍ය කෙරේ. එම ක‍්‍රියාවලිය බොහෝ විට සිදුවන්නේ, ඓතිහාසික මිථ්‍යාවන් (සිංහබාහු* සහ අතීත ආගමික ගැටුම් (කුරුස යුද්ධය) වැනි දේවල් හරහා ය.    

දීර්ඝ කතාවක් කෙටියෙන් කිවහොත්, සිංහලයාගේ ආධ්‍යාත්මික අවශ්‍යතාවන්ට වඩා ගෝත‍්‍රික අනන්‍යතාවට ආමන්ත‍්‍රණය කිරීමේ ඇති වටිනාකම සහ පහසුව කාදිනල්වරයා වටහාගෙන තිබේ. එනම් ගලගොඩඅත්තේ ඥානසාරගේ පූජාවට, සිවුරක් නැතිව වෙනත් ඉවුරක සිට අත ගැසීමකි. ලංකාවේ බුද්ධාගම රැුඳී පවතින්නේ ජාතිය උඩ නම්, ලංකාවේ ක‍්‍රිස්තියානියත් ඒ ජාතිය උඩ පදනම් කර ගැනීමට බැලීමේ ඇති වරද කිම? 

මේ චෝදනාව නිෂ්ප‍්‍රභා කිරීමේ එක ක‍්‍රමයක් කාදිනල්වරයාට තිබේ. මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ ජිනීවා ක‍්‍රියාවලිය ගැනත් ඔය කියන ‘කන්ද උඩ දේශනාවේ’ දී එතුමා සඳහන් කළ යුතුව තිබුණි. ඒ කාරණයත් ඇතුළත් කරගෙන, ජා-ඇල දී කළ දේශනාව ඊළඟට වන්නියේ පල්ලියකට ගොස් කරන ලෙසත් එතුමාගෙන් ගෞරව සම්ප‍්‍රයුක්තව ඉල්ලා සිටිමි. 

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found