V2025

වික‍්‍රමසිංහව අස්කිරීම, රාජපක්ෂව පත්කිරීම සහ  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනි ය ! 

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නීතිඥ උපුල් ජයසූරිය ඉදිරිපත් කළ පහත සඳහන් ප‍්‍රශ්න හතරට මගේ පිළිතුරු ඊට පහතින් දැක්වෙයි.

 1. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද?

 2. ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන, මහින්ද රාජපක්ෂව අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථාවට අනුකූල ද?

 3. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යැයි කියමින් 2018 නොවැම්බර් 9 වැනි දා ජනාධිපතිවරයා නිකුත් කළ ප‍්‍රකාශය ව්‍යවස්ථාවට අනුකූල ද?

 1. අගමැති රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

 අගමැතිවරයාව පත්කිරීමේ බලය ඇති තැනැත්තාට ඔහුව ඉවත් කිරීමේ බලයත් ඇතැයි යන තර්කය සාවද්‍ය ය. වෙස්ට්මින්ස්ටර් සම්ප‍්‍රදාය යටතේ හෝ ලංකාවේ ව්‍යවස්ථාව යටතේ හෝ එවැනි බලයක් ජනාධිපතිවරයාට හිමි නොවේ. මේ තර්කය ගොඩනගා ඇත්තේ ජනාධිපතිවරයාගේ කැමැත්ත යටතේ අගමැතිවරයා පවතින්නේය යන වැරදි අවබෝධය මතයි. සාමාන්‍ය පොදු නීතිය යටතේ වුවත්, සේවයට ගන්නා සේවකයෙකු ඉවත් කිරීමට පවා සේවායෝජකයාට අයිතියක් ලැබෙන්නේ, රැුකියා කොන්ත‍්‍රාත්තුවේ සහ ඊට අදාළ නීතිරීතිවලට යටත්ව පමණි.

අගමැතිවරයාගේ ධුර කාලය අපේ ව්‍යවස්ථාවේ 46 (2) යටතේ මෙසේ දැක්වෙයි:

(අ) අග‍්‍රාමාත්‍යවරයා, ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීම නතර වී ඇත්තේ ද නැත. මරණය නිසා ඔහුගේ ධුරයේ පුරප්පාඩුවක් සිදුවී ඇත්තේ ද නැත.

දැන් ඉතිරි වන ප‍්‍රශ්නය වන්නේ, ඇමති මණ්ඩලය පවතින්නේ ද නැත් ද යන්නයි. ඒ කාරණය, අපේ ව්‍යවස්ථාවේ 48 (1* සහ (2* වගන්තිවලින් පැහැදිළි කර දී ඇත.

 48 (1): පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත්, මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, මරණයෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග‍්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වැනි ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක‍්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය...

 (2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජණ පනත් කෙටුම්පත හෝ ප‍්‍රතික්ෂේප කළහොත් එවිට ද, ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය...

යළි සඳහන් කළොත්, මරණය නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුරය අහිමි වීමක් නිසා හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධුරය අහිමි වී නැත. 

(අ) ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කෙරුණොත්,
(ආ) විසර්ජණ පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කෙරුණොත් හෝ
(ඇ) ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත්
පමණි.

ඉහත කී කිසි දෙයක් මෙතෙක් සිදුව නැත. වික‍්‍රමසිංහ මහතාගේ ධුරය අහිමි කෙරෙන කිසි ව්‍යවස්ථාමය සිද්ධියක් ඇති වී නැති තත්වය තුළ ඔහු අගමැති වශයෙන් තවදුරටත් සිටින අතර, ඒ නිසාම අගමැති ධුරයේ පුරප්පාඩුවක් සිදුව නැත.

තව සඳහන් කළ යුතු දෙයක් තිබේ. වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරීමක් සිද්ධ වුවත්, ව්‍යවස්ථාවේ 47(1)  වගන්තියේ සඳහන් පරිදි, වික‍්‍රමසිංහ මහතා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය භාරකාර ආණ්ඩුවක් වශයෙන් එක දිගටම පවතිනු ඇත. එබැවින්, මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා වශයෙන් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

2. ව්‍යවස්ථාවේ සිංහල පඨිතය යොමු වන්නේ ද එම නිගමනයටම ය.

 වික‍්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පදනම් කරගන්නේ, ව්‍යවස්ථාවේ 48 (1* වගන්තියේ සිංහල පඨිතයයි. එය වලංගු තර්කයක් නොවේ. අගමැතිවරයා ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින්’ යනුවෙන් එම සිංහල පඨිතයෙන් කියැවෙයි. ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’ යන්න අදාළ වන්නේ, ව්‍යවස්ථාවට අනුකූලව ඉවත් කිරීම යන්නටයි. ව්‍යවස්ථාවට අනුකූලව අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණි. ඒ කෙසේද යත්, ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෝ ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කිරීමෙන් හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් සම්මත කර ගැනීමෙන් හෝ පමණි.

එබැවින්, ව්‍යවස්ථාවේ සිංහල පඨිතයේ සඳහන් යැයි කියන අර්ථයෙන් පවා ජනාධිපතිවරයාගේ ක‍්‍රියාවට වලංගු භාවයක් නොලැබේ. 

3. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදැයි කීම (උද්දේශිත විසුරුවා හැරීම)

2018 නොවැම්බර් 9 වැනි දා ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ යැයි කියැවේ. මේ ප‍්‍රකාශනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් ප‍්‍රමාණයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව, 2018 දෙසැම්බර් 7 වැනි දා දක්වා එම ප‍්‍රකාශනය බලපැවැත්වීම අත්හිටුවීමට 2018 නොවැම්බර් 13 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබේ. ඒ සම්බන්ධයෙන් වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බැලීමට දෙසැම්බර් 4. 5, සහ 6 යන දිනයන් යොදාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ප‍්‍රකාශනය, කෙලින්ම ව්‍යවස්ථාවේ 70 (1* වගන්තිය උල්ලංඝණය කිරීමකි. එහි සඳහන් වන්නේ මෙසේ ය:
 70 (1) : ‘‘ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය.

එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුලූව මුළු මන්ත‍්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’

තමන්ව විසුරුවා හරින්නැයි පාර්ලිමේන්තුව ඉල්ලීමක් කර නැත.

ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය ප‍්‍රකාරව, පාර්ලිමේන්තුව ‘කැඳවීමට, වාරාවසාන කිරීම සහ විසුරුවා හැරීමට’ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහෙත් එය පරම බලයක් නොවන අතර, ඒ බලය ජනාධිපතිවරයා අභ්‍යාස කළ යුත්තේ ව්‍යවස්ථාට අනුකූලව ය. ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවාගෙන ඇති ආකාරයට ව්‍යවස්ථාවේ ඉහත සඳහන් 70 (1* වගන්තිය අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබේ.

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන්, ව්‍යවස්ථා අර්ථ නිරූපණ පිළිබඳ වැදගත් පූර්වානුමිති දෙකක් අදාළ කර ගත හැකිය.

ඉන් පළමුවැන්න වන්නේ, සාමාන්‍ය විධිවිධානය විශේෂ විධිවිධානයෙන් නිදහස් වන්නේ නැති බවයි. වෙනත් වචනවලින් කිවහොත්, සාමාන්‍ය විධිවිධානය, ඒ විෂයට අදාළ විශේෂ විධිවිධානය මගින් පාලනය කෙරෙන බවයි. ඒ අනුව, ව්‍යවස්ථාවේ 33 (2* සහ 70 වැනි වගන්තිවල සඳහන් පොදු විධිවිධානයන්, 70 (1) විශේෂ විධිවිධානය මගින් පාලනය කොට සීමා කෙරේ.

දෙවැන්න වන්නේ, කලින් තිබූ පටහැනි පැනවුමක්, පසුව ඇති කර ගත් පැනවුමකට යටත් වන බව ය. 70 (1* වගන්තිය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පසුව ඇති කර ගත් පැනවුමයි. ඉන් පැහැදිළිවම අපේක්ෂා කරන ලද්දේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට එතෙක් තිබූ බලය වෙනත් කොන්දේසියකට යටත් කොට, සීමා කිරීමයි.

 4. නීතිපතිවරයාගේ තර්කයේ හරයක් නැත.

2018 නොවැම්බර් 13 වැනි දා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පහත සඳහන් තර්ක ගොනු කර ඇති බව වාර්තා විය.

‘‘19 වැනි ව්‍යවස්ථාවේ කිසි විධිවිධානයක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකෙළේය. ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් කළ යුතුව තිබුණේ ජනමත විචාරණයක් හරහා ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකෙළේ ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් ඒ මගින් සිදු නොවුණු නිසා ය. විධායක බලතල සෝදාපාළු කළ නොහැක. එවැන්නක් සම්මත කර ගත හැක්කේ ජනතාව ඡන්දයක් පාවිච්චි කිරීමෙනි.

ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමක් නොවීම හේතුවෙන්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමස්තයක් වශයෙන් ගත් විට ජනමත විචාරණයක් අවශ්‍ය නොකළ තත්වයක් තුළ, ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය වෙනම ගෙන කියැවිය නොහැක.’’

(2018 නොවැම්බර් 13 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පත)

මෙය හර සුන් තර්කයකි.

2015 අපේ‍්‍රල් 1, 2 සහ 6 යන දිනයන්හිදී ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සලකා බලා සිය තීන්දුව දුන්නේය. මේ කෙටුම්පතේ දීර්ඝ උද්ධෘතය යටතේ එහි සඳහන් වුණේ ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය සඳහා වන සංශෝධනයක් යනුවෙන් නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු කිරීමට තිබූ එකම ප‍්‍රශ්නය වුණේ, ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය ප‍්‍රකාරව මේ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරන්නේ ද යන්න පමණි. (129 අතුරු විධානය (අ) වගන්තිය). මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

එදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ පෙත්සම්කරුවන් ඉදිරිපත් කෙළේ ද අද නීතිපතිවරයා ඉදිරිපත් කරන තර්කයමයි. එනම්, ජනාධිපතිවරයාගේ විධායක බලය, ජනමත විචාරණයකින් තොරව, සීමා කළ නොහැකිය යන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තර්කය සලකා බැලූවේය. අවසානයේ එම තර්කය ප‍්‍රතික්ෂේප කෙළේය.

ඊට කලින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි අවස්ථාවේ, ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවීම මගින් ජනාධිපතිවරයාගේ අභිමානුසාරී බලය සීමා වීම පිළිබඳ ප‍්‍රශ්නය අධිකරණය සැලකිල්ලට ගත්තේය. ඉහළ තනතුරුවලට පත්වීම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අභිමතයට විලංගු ලෑම, ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති මගින් ස්ථාපිත කොට ඇති ජනතා පරමාධිපත්‍යය සමග අනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තීන්දු කෙළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි අවස්ථාවේ තමන්ගේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් ගරු විනිශ්චයකාරවරු, ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් ස්ථාපිත කොට ඇති, පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වගකිව යුතු වීම යන කාරණය අවධාරණය කළහ. එහිදී ඔවුහූ මෙසේ කීහ: ‘‘ව්‍යවස්ථාව කියැවිය යුත්තේ සමස්තයක් වශයෙන් අරගෙන නිසා, 4 (අ* වගන්තිය කියැවිය යුත්තේ ද 42 වැනි වගන්තියේ අර්ථයට අනුගත වෙමිනි. පැහැදිළිවම, ආණ්ඩුවේ වෙනත් ආයතන මගින් පාලනය නොවන, සීමා බන්ධන නැති විධායක බලයක් වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අභිලාෂය නොවීය.’’

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය ව්‍යුත්පන්න වන්නේ, පැරණි රාජකීය පරමාධිකාරියෙනි. අතීතයේ එය සීමා කෙරුණේ චාරිත‍්‍ර සම්මතයෙන් පමණි. නූතන විධායක බලයේ ස්වභාවයට එය අයත් නොවේ. එක්සත් රාජධානියේ,  ඕස්ටේ‍්‍රලියාවේ, නවසීලන්තයේ සහ කැනඩාවේ මේ විධායක බලය සැලකෙනු ලබන්නේ අවශේෂ රාජකීය බලයක් වශයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය සීමා කිරීම සේම, එම බලය පාර්ලිමේන්තුවට පැවරීමම, ජනතා පරමාධිපත්‍යය නංවාලීමකි.

5. නිගමනය 

ඉහත සඳහන් හේතු නිසා,
(අ)  අගමැති ධුරයෙන් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කරනු ලැබූවේ යැයි කියන ක‍්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.
(ආ) රාජපක්ෂ මහතාව අගමැති වශයෙන් පත්කරනු ලැබුවේ යැයි කියන ක‍්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.
(ඇ) 2018 නොවැම්බර් 9 වැනි දා නිකුත් කරන ලද ප‍්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ යැයි කියන ක‍්‍රියාව ව්‍යවස්ථානුකූල නැත.
 මහාචාර්ය සූරි රත්නපාල

(සූරි රත්නපාල,  ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි)

2018 නොවැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sacking RW, Appointing MR & Dissolution of Parliament are Unconstitutional නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found