V2025

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශව සිටින ජනාධිපතිවරයෙක් 

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැයි කියන ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු දෙකක් මේ අවස්ථාවේ රටේ  පවතින බවක් පෙනේ. ආණ්ඩු දෙකක් එක විට රටක පැවතීම තාර්කික නැත. ව්‍යවස්ථානුකූල නැත. එනිසා, දැනට රටේ කිසි ආණ්ඩුවක් නොපවතින බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කොට තිබේ. එවැනි තත්වයක් හැඳින්වෙන්නේ අරාජකත්වයක් වශයෙනි. 

ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිටී. පත්කරන ලදැයි කියන ආණ්ඩුව, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට මෙහෙයවයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ මනදොළ අනුව පත්කර ගත් ‘ආණ්ඩුව’ වන නිසා, පොලීසිය සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ඔවුන් අත්කරගෙන සිටී. ඇඟට දැනෙන ආණ්ඩුව ඔවුන්ගේ ය. ඒ නිසාම, විධායකය සතු ව්‍යවස්ථා-විරෝධී එකී පාලනය ‘ආණ්ඩුව’ වශයෙනුත්, ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුව ‘විපක්ෂය’ වශයෙනුත්, බහුතරයක් මාධ්‍ය තුළ සහ සාමාන්‍ය ව්‍යවහාරය තුළ, මේ අවස්ථාවේ හැඳින්වෙනු දක්නට ලැබේ.    තමන් ආණ්ඩුව යැයි කියා ගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ එකම රටත් ලංකාවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ, විපක්ෂ කණ්ඩායම් සහ සුළුතර කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ හැම තැනකම පාහේ පාර්ලිමේන්තු බහුතරයකින් ආණ්ඩුවක් සමන්විත වන්නේ වුවත්, සුළුතරයේ ආණ්ඩු රටවල් කරවන අවස්ථා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ නැතිවා නොවේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේ වෙනත් පාර්ශ්ව සහ පක්ෂවල නිල නොවන සහයෝගය මත ය. මන්ද යත්, රාජ්‍ය පාලනය සඳහා සෑම කටයුත්තකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කරන බැවිනි. එනිසා, තනි පක්ෂයකට බහුතරයක් නැතත්, වෙනත් පක්ෂවල සහයෝගයෙන් සුළුතර ආණ්ඩුවක් කරගෙන යාමට පුළුවන් කමක් තිබේ. 

එහෙත් ලංකාවේ ජනාධිපතිවරයාගේ වර්තමාන ‘ආණ්ඩුව’, ඒ දෙකෙන් එකකටවත් නොගැනෙන පාලනයකි. එය, බහුතර ආණ්ඩුවක් වන්නේත් නැත. සුළුතර ආණ්ඩුවක් වන්නේත් නැත. බහුතර ආණ්ඩුවක් නොවන්නේ, පාර්ලිමේන්තුව තුළ තමන් කෙරෙහි වන බහුතරයක් පෙන්වීමට මේ දක්වා එය අසමත්ව ඇති බැවිනි. සුළුතර ආණ්ඩුවක් නොවන්නේ, එවැනි සුළුතර ආණ්ඩුවක් වශයෙන් පවා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීම ඔවුන් ස්වේච්ඡුාවෙන්ම මේ මොහොතේ අතහැර දමා ඇති බැවිනි. එය අද හුදෙක්, විධායක බලය දරණ එක පුද්ගලයෙකුගේ ආශාවක් සහ රුචිකත්වයක් මත කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව පවත්වාගෙන යන රංචු ගැසීමකි. මේ කාරණය, හුදෙක් දේශපාලන සංවාදයක් තුළ සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයේ ‘අනෙකා’ හෙලාදැකීමක් වශයෙන් නොගන්න. එය ඔබටම වාස්තවික පරීක්ෂාවට ලක්කළ හැකිය. 

දැන් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව කීයද? එය ගණන් බැලිය හැකි එක ක‍්‍රමයක් වන්නේ, දැන් පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත‍්‍රීන් සංඛ්‍යාව ගණන් බැලීමෙනි. ඒ ප‍්‍රමාණය, (අර, සේනානායක පවුලෙන් පැවත එන්නේ යැයි කියන ‘භාණ්ඩය’ මේ මොහොතේ සිටින ස්ථානය අනුව ගත් විට* 123 කි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් සංඛ්‍යාව 225 කි. ඒ අනුව, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ 102 කි. (ඒ අතරේ, වර්ජනය කිරීමට නොව, වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවට නොඑන පිරිසකුත් සිටිති.* ඒ කෙසේ වෙතත්, මේ සමස්තය, මොන පැත්තකින් ගත්තත් සුළුතරයක් මිස බහුතරයක් නොවේ. පසු ගිය ඔක්තෝබර් 26 වැනි දා සිට, ජනාධිපති සිරිසේන ගණිත පටලැවිල්ලක සිරව සිටී. ගණිතය තරම් නිශ්චිත දෙයක් විද්‍යාව තුළ නැත. ඒකක දෙකට, ඒකක දෙකක් එක් කළ විට, එය ඒකක හතරක් බව ව්‍යවහාරික ලෝකය ඒකමතිකව පිළිගනී. එහෙත් එතරම් නිශ්චිත නැති මුත් සාමාන්‍ය ඇසට පැහැදිළිව පෙනෙන තවත් කප්පරක් දේවල් ගැන කිසි ලැජ්ජාවකින් තොරව මේ වන විට බොරු කරන සහ බොරු කියන සිරිසේන, මේ අංකගණිතය ගැනත් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බොරු කරමින් සිටී. ඔහු කියන්නේ, 102 යනු පාර්ලිමේන්තුවේ බහුතරය බවයි.

මේ මගින් රාජපක්ෂලා සැක හැර ඔප්පු කොට පෙන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට නොමැති බවයි. 

පසුගිය 25 වැනි දා විදේශ මාධ්‍යවේදීන් සමග පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබුණත් රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට තමා අගමැති ධුරය නොදෙන බවයි. මේ ගැන අපේ රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද?

‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4* වගන්තිය*.    එහෙත් ඉහත කී පරිදි, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා වෙත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුම් කළත් තමා ඒ දෙන්නාගෙන් කිසි කෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියන විට, ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය අපට කියැවීමට සිද්ධ වන්නේ මෙසේය: 

   ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා නොවන, මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’.    මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති පරිදි, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, තමාගේ අභිමතයට අනුගතව, තමාට පහළින් සහ තමාට යටත්ව සිටින ලියවිල්ලක් විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයා මේ රට කරවන්නේ 1815 ට කලින් දවසක විණි නම්, ඔහුගේ මේ කල්ක‍්‍රියාව අපට යුක්ති සහගත කර ගැනීමට ඉඩ තිබුණි. එදා ලංකාවේ පැවති රජ ක‍්‍රමයට අනුගත සම්ප‍්‍රදාය යටතේ, රජුට බලය පැවරුණේ දළදා ස්වාමීන් වහන්සේගෙන් ය. දළඳා ස්වාමීන් වහන්සේ අත්පත් කර ගත් තැනැත්තා ලංකාවේ රජ කමට සුදුස්සා බවට සම්මතයක් එදා තිබුණි. ඊට තරමක් ඈත කාලයක, එනම් 18 වැනි සියවසේ අවසාන කාලයට ඉහතින් යුරෝපයේ රාජ්‍ය ක‍්‍රමයේ සම්මත සම්ප‍්‍රදායත් එයම විණි. ඔවුන්ගේ රජවරුන්ට රාජ්‍යත්වයේ බලය ලැබුණු බව විශ්වාස කෙළේ දෙවියන් වහන්සේගෙනි. එනම්, ලෝකයේ හැම තැනකම රජුගේ හෝ නායකයාගේ බලයේ උල්පත වුණේ ලෝකෝත්තර ප‍්‍රභවයක් බවයි. මේ ලෝකෝත්තර මූලාශ‍්‍රය හෙවත් බලයේ ප‍්‍රභවය සාමාන්‍ය ජනතාවට පරීක්ෂාවට ලක්කළ නොහැකි විය. ඒ රාජකාරිය එදා ඉෂ්ට කෙළේ, පූජක පංතියයි. යුරෝපයේ නම් පල්ලිය ය. ලංකාවේ නම්, පන්සල ය.    ලෝකයා, එම රාජ්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රජානත්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයට සංක‍්‍රමණය වූ පසු, මේ බල මූලාශ‍්‍රය උඩුයටිකුරු විය. එය, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය තුළම ගැබ්ව තිබේ. ප‍්‍රජාව යනු ජනතාවයි. තන්ත‍්‍රය යනු පාලනයයි. එනම් ජනතාවගේ පාලනයක් බව ය. එහිදී, බලය උත්පාදනය වන්නේ හෙවත් බලයේ තිඹිරිගෙය වන්නේ, දෙවියන් වහන්සේ හෝ ආගමක් හෝ නොව, ජනතාව ය. එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් කොට තිබේ: 

 ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’’

ඒ පරමාධිපත්‍යයේ ස්වභාවය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය දන්වා ඇති ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දෙවියන් වහන්සේගෙන් එදා රජුට ලැබුණු බලය පාලනය කිරීමට දෙවියන් වහන්සේ මහ පොළොවේ වැඩ සිටියේ නැත. මහ පොළොවේ පය ගසා සිටි මහජනතාවට දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට බලයක් තිබුණේ නැත. අද එය මුළුමණින් අනිත් පැත්තට හරවමින්, බලයේ අයිතිකාරයා වන මහජනතාව, තමාව පාලනය කිරීමට පාලකයාට බලය පවරන්නේ, පාලකයා විසින් එම බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නේ ද යන්න බලාකියා ගැනීමට මාර්ගයක් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සකසා එය රටේ රාජ්‍යකරණයේ මුල්ගල වශයෙන් ස්ථාපිත කර ඇති තත්වයක් තුළ ය. එතැන් පටන් පාලකයා කටයුතු කළ යුත්තේ, ඒ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මිස, හිතුවක්කාරීව හෝ අත්තනෝමතිකව හෝ නොවේ.

   රාජ්‍යකරණයට අදාළව රටක ව්‍යවස්ථාවක අඩංගු ඒ මූලික නියාමය සිරිසේන මුලින්ම අවබෝධ කර ගත යුතුය. ඔහු කියන ‘සම්ප‍්‍රදාය’ අයත් වන්නේ රජ කාලයට බව එවිට ඔහුට වැටහෙනු ඇත. රජ වෙන්නට සිටි මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 වැනි දා අත්වූ ඉරණම, මේ රටේ වෙනත්  ඕනෑම පුද්ගලයෙකුටත් අනාගතයේ වලංගු වන බව, අවසාන වශයෙන්, මේ අවස්ථාවේ සිරිසේනට සිහිකැඳවීමට කැමැත්තෙමි.

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found