V2025

සිරිසේන යනු ජාතික පරපීඩාකාමියෙකි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගිය සතියේ ජනාධිපතිවරයා සතියකින් ප‍්‍රශ්නය විසඳන බව කීවේය. මෙය ලියන මොහොත (13) වන විටත් ඔහුගේ ඒ විජ්ජා බලය ක‍්‍රියාත්මක වී නැත. ඇත්තෙන්ම ගත වූ සතිය තුළ, ඔහුගේ තත්වය තවත් දුෂ්කර අඩියකට ඇද වැටී ඇත. මන්ත‍්‍රීවරුන් 117 දෙනෙකුගේ වැඩි ඡුන්දයෙන් රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි විශ්වාසය පළ කෙරෙන යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත විය. මන්ත‍්‍රීවරුන් 225 දෙනාම එක් වී එවැනි යෝජනාවක් සම්මත කර ගත්තත් තමා රනිල් වික‍්‍රමසිංහ අගමැති තනතුරට පත් නොකරන බව කියන සිරිසේනට, ‘ප‍්‍රශ්නය විසඳීම’ දැන් තවත් අවුල් වනු ඇත. 

අද සවස 4 ට අධිකරණයේ මතය ප‍්‍රකාශයට පත්වීමට නියමිතයි. එයින් ලැබෙන විනිශ්චය තමන්ට අවාසිදායක එකක් වෙතොත්, ඒ කාරණයම, එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද යන්න පිළිබඳ කාරණය අරභයා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඔහු අදහස් දක්වා ඇතැයි අද මාධ්‍ය වාර්තා කර තිබුණි. එහි අදහස වන්නේ, මේ දක්වා මේ ජනාධිපතිවරයා කර ඇති සෑම ව්‍යවස්ථා උල්ලංඝණයක් සඳහාම, එනම්, අගමැති රනිල් වික‍්‍රමසිංහ එම ධුරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ පිහිටුවීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන ප‍්‍රශ්න තුන සඳහාම ජනමත විචාරණ තුනක් පැවැත්වීමට අපට සිදු වනු ඇති බවයි. ඒ සියල්ලම එක ඡුන්දයකින් විනිශ්චය කර ගැනීමේ තවත් අවකාශයක් ඇති බව ඔහු කියන්නේ නැත. එනම්, මේ පුද්ගලයා ජනාධිපති තනතුරේ තවදුරටත් සිටීමට සුදුසු ද නැද්ද යන්න දැන ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමයි.          සිරිසේන යනු, වචන රාශියක් බිනීමෙහි දක්ෂ, එහෙත් බුද්ධිමය පරිචයකින් ඒ වචන පාලනය කර ගැනීමට නොදන්නා ආලවට්ටම් දේශපාලඥයෙකි. සන්සන්දනයක් වශයෙන් ගත්තොත්, මහින්ද රාජපක්ෂට ලොකු වචන මල්ලක් නැත. එහෙත් ඔහු පාවිච්චි කරන වචන කිහිපය යම් හීලෑවක් ඇතිව ප‍්‍රකාශයට පත්කිරීමට දක්ෂ ය. එය කපටිකමක් වෙතත්, දක්ෂකමකි. 2015 සහ ඒ ආසන්නයේ සිරිසේන කතා කෙළේ වචන ස්වල්පයකි. ඒ නිසා, ඔහුගේ කතාවේ යම් සංයමයක් දක්නට ලැබුණි. එහෙත්, මහින්ද රාජපක්ෂ සමග අංශක 180 කරණම ගැසූ දිනවල පටන් සිරිසේන පොරොප්පය ගලවා වචනවලට නිදහසේ ගලා යන්නට ඉඩ හැර තිබේ. කොකාගේ සුද පෙනෙන්ට ගත්තේ එතැන් පටන් ය. 
 

මන්ත‍්‍රීන් 225 දෙනාම සම්මත කර ගත්තත් තමා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් නොකරන්නේය යන, දෝෂාභියෝගයකට පවා නිමිත්තක් විය හැකි ඒකාධිපති සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මුග්ධ ප‍්‍රකාශය කිරීමෙන් අනතුරුව ඔහු තවත් එවැනිම ප‍්‍රකාශයක් කෙළේය. එනම්, මහින්ද රාජපක්ෂට 113 ක් සොයා ගත නොහැකි වුණේ මන්ත‍්‍රීවරුන්ගේ මිල ගණන් කෝටි 50 දක්වා වැඩි වූ නිසා බව කියා සිටීම ය. මෙයින් පෙනී යන එක කාරණයක් වන්නේ, ඔහු මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ පිහිටුවා ඇත්තේ, මුල පටන්ම මන්ත‍්‍රීවරුන් යම් ප‍්‍රමාණයක් මිලට ගැනීමේ හොර වැඩ පිළිවෙලක් යටතේ බවයි. අනෙක් කාරණය වන්නේ, ඊට අඩු මුදලකට මන්ත‍්‍රීවරුන් මිල දී ගැනීමට තරම් මන්ත‍්‍රී වෙළඳපොළ මිළ අඩු මට්ටමක පැවතියේ නම්, තමාගේ ව්‍යවස්ථා විරෝධී තේරීම පවා ව්‍යවස්ථානුකූල කර ගැනීමට තිබුණේය යන විශ්වාසයකින් ඔහු මුල සිටම ක‍්‍රියා කරන්නට ඇති බවයි. රටේ පළමු පුරවැසියා ව්‍යවස්ථානුකූලත්වය සහතික කර ගැනීමට උත්සාහ කොට ඇත්තේ අල්ලස මගින් වන බව එයින් කියැවේ.     බලහත්කාරයෙන් බලය අත්පත් කර ගත් හෝ බලහත්කාරයෙන් බලය භාවිත කළ ලෝකයේ කිසි නායකයෙකු, තමන් එසේ කරන්නේ තමාගේ හෝ තම පවුලේ අභිවෘද්ධියට යැයි කියා නැත. ඒ සෑම දෙනාම කියා ඇත්තේ, තමන් එසේ කරන්නේ රටේ, ජනතාවගේ, සමාජයේ හෝ ආගමේ සුභසිද්ධියට බවයි. ඉතා ඈත අතීතයේ කලිගුලා වැනි ඒකාධිපතියන් සම්බන්ධයෙන් බැලූවත්, ඊට මෙහා ගෙන්ගිස් කාන් වැනි ඒකාධිපතියන් හෝ ඊටත් මෙහා ඇඩොල්ෆ් හිට්ලර් වැනි ඒකාධිපතියන් සම්බන්ධයෙන් සලකා බැලූවත් මේ තත්වය අපට දැක ගැනීමට ලැබේ. සිරිසේන එවැනි ඒකාධිපතියෙකු නොවේ. එසේ නොවන්නේ, ඔහුගේ විශේෂ යහගුණයක් නිසා නොව, ලංකාව ඒ තරම් මහා රංගනයක් කිරීමට තරම් සුවිසල් වේදිකාවක් නොවන නිසාත්, ඒ කුඩා වේදිකාවේ පවා ඔහු ඊටත් වඩා කුඩා චරිතයක් වන නිසාත් ය.      සිරිසේන දැන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගෙන යමින් තිබෙන බලහත්කාරී රාජ්‍ය අවපාලනය යුක්ති සහගත කර ගැනීමට දැන් අවසානයේ ඉදිරිපත් කරන්නේ අර ඉහතින් කී බලඅපයෝජකයන් පොදුවේ පාවිච්චි කළ හේතුවාචකයකි. එනම්, මෙතැන ඇත්තේ තමා සහ රනිල් වික‍්‍රමසිංහ අතර ප‍්‍රශ්නයක් නොව, ජාතික සහ විජාතික බලවේග අතර ප‍්‍රශ්නයක් බවයි. මේ හේතු දැක්වීම, ඔහු මුලින් කළ හේතු දැක්වීම්වලට දළ වශයෙන් වෙනස් නැත. තමා රනිල් වික‍්‍රමසිංහට ‘අකමැති’ නිසා ඔහුව ඉවත් කරන ලද බව කීමේදීත්, එක්සත් ජාතික පක්ෂයේ ‘අවපාලනය’ වැලැක්වීම සඳහා තමා කටයුතු කරන්නේ යැයි කී අවස්ථාවේදීත්, පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම අත්සන සහිතව රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි විශ්වාසය පළවීමක් සිදුවුවත් ඔහුව නම් අගමැති ධුරයේ පිහිටුවන්නේ නැතැයි කීමේදීත්, මේ කියන ‘ජාතික’ සහ ‘විජාතික’ ද්විවිධය පිළිබඳ ව්‍යාජ රෝග නිධානයේ සෙවනැල්ල පසුබිමේ තිබුණි. ඔහු සංස්කෘතික වෙනස යැයි වරක් කීවේ එයයි.

බලහත්කාරයෙන් බලය අත්පත් කර ගත් හෝ බලහත්කාරයෙන් බලය භාවිත කළ ලෝකයේ සිටි කිසි නායකයෙකුට කර ගත නොහැකි වූ දෙයක් ද තිබේ. එනම්, මේ කියන පොදු අභිලාෂය, එනම්, ජනතාව සඳහා, රට සඳහා, ජාතියක් හෝ ආගමක් සඳහා තමා කටයුතු කළ බව කී හැම නායකයෙකුම තමන් එසේ කටයුතු කළ බව ඔප්පු කිරීමට අවසානයේදී අසමත් වීමයි. ඉතා පහසු සහ සරළ උදාහණයක් පමණක් ගන්නේ නම්, හිට්ලර් තමන්ගේ ‘උත්කෘෂ්ට අරමුණ’ අවසන් කරන විට මුළු ලෝකයක්ම විනාශ වී තිබුණි. අනිත් පැත්තෙන් ගත් විට, මේ සියලූ නායකයන් තමන්ට කලින් පැවති පාලනය තුළ තමන්ගේ විවේචනයට ලක්වූ කටයුත්ත හෝ ක‍්‍රියාවලිය නිශ්චිතව සහ සංයුක්තව දැක්වීමට අපොහොසත්ව ඇති බව පෙනේ. හිට්ලර් ‘යුදෙව් කුමන්ත‍්‍රණයක්’ ගැන කතා කෙළේය. එය තමාගේ අරමුණ සඳහා ඔහු පාවිච්චියට ගත් ව්‍යාජයක් බව අවසානයේ ඔප්පු විය. නැවතත්, ලංකාවෙන් පහසු සහ සරළ උදාහරණයට සිරිසේන ගතහොත්, තමා අයත් නොවන ‘විජාතිකත්වය’ හෝ තමා අයත් වන ‘ස්වදේශිකත්වය’ කුමක්දැ යි ඔහු නිශ්චිතව රටට පැහැදිළි කරන්නේ නැත. හම්බන්තොට හෝ වෙනත්  ඕනෑම දේපළක් හෝ ආයතනයක් පසු ගිය වසර තුන හමාරක කාලය තුළ, තමාගේ අනුදැනුමකින් සහ අනුමැතියකින් තොරව, ‘විජාතිකකරණයට’ ලක්කිරීමට වික‍්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කෙළේ කෙසේදැයි ඔහු කියන්නේ නැත. කාන්තාවන්ට බාර්වල වැඩ කිරීම පිළිබඳව පැවති ආදිකාලීන ඉංග‍්‍රීසි නීතිය අහෝසි කිරීමට තැත් කිරීම සහ ස්වීප් ටිකට් එකේ මිල සම්බන්ධයෙන් ඒ ආණ්ඩුව කටයුතු කළ ආකාරය පවා, ඔහුගේ සහභාගීත්වයකින් සහ අනුදැමකින් තොරව ක‍්‍රියාවේ යෙදැවීමට තැත් කළ දේවල් නොවේ. එහෙත් දැන්, පසු ගිය වසර තුනකට වැඩි කාලයක් තිස්සේ යහපාලන ආණ්ඩුව කරන ලද සියලූ යහපත් ක‍්‍රියා පමණක් තමන්ගේ අයිතියට පවරා ගන්නා අතරේ, ජනතා අප‍්‍රසාදයට පත් පියවර ගැන ‘තමන් දන්නේ පුවත්පත්වලින්’ පමණක් යැයි ඔහු කියා සිටින්නේය. 

මෙවැනි නිශ්චිත කාරණාවන්ගෙන් බැහැරව, ජාතික සහ විජාතික හෝ බටහිර කුමන්ත‍්‍රණ සහ අධිරාජ්‍යවාදය වැනි ‘මහා න්‍යාය’ තුළ තමන්ගේ චෝදනාව පදනම් කරන තැනැත්තා (විශේෂයෙන් එම තැනැත්තා එසේ කරන්නේ සටකපට චේතනාවකින් වන විට* තර්කණයේ විශේෂ වාසියක් භුක්ති විඳියි. එනම්, තමන්ගේ චෝදනාව සංයුක්තව පැහැදිළි කිරීමේ බරෙන් ඔහු නිදහස් වීමයි. උදාහරණයක් වශයෙන්, යමෙකුට බෙදුම්වාදියෙකු හෝ එන්.ජී. ඕ. කාරයෙකු යැයි කී විට, ලංකාවේ වර්තමාන සමාජ අවකාශය තුළ ඉබේ ඇති කෙරෙන ‘අවබෝධය’, චෝදනාවට ලක්වන තැනැත්තා මොන තරම් කරුණු ගෙනහැර පෑවත් ඛණ්ඩනය කිරීම පහසු නොවන බව පෙන්වා දිය හැකිය. මන්ද යත්, සමාජයක් වශයෙන් අර කියන පහසු සහ වෙහෙසකර නොවන තනි වචනයකින් හෝ යෙදුමකින් යමක් ‘තේරුම් ගැනීමට’ සමාජයේ බහුතරය කැමැත්තක් දක්වන බැවිනි. උදාහරණයක් වශයෙන්, ‘සිංහල ජාතිය අනිත් ජාතීන්ට වඩා ශ්‍රේෂ්ඨ‘ යැයි සිතින් ගත් විට, උපතේ සිට මරණය දක්වා සිංහලයෙකු වන ඔබට එය ‘ඔප්පු’ කිරීම සඳහා කිරීමට ඇත්තේ, එසේ නොකියන තැනැත්තා ‘විජාතිකයෙකු’ හෝ ‘එන්.ජී. ඕ. කාරයෙකු’ හෝ ‘බෙදුම්වාදියෙකු’ යන වචනයකින් හැඳින්වීම පමණි.              

ඉදිරියේ ඇති ජනාධිපති සිරිසේනගේ ඉතා කෙටි දේශපාලනික ආයු කාලය තුළ ඔහු අනුගමනය කිරීමට නියමිතව ඇත්තේ හරියටම ඒ ප‍්‍රතිපත්තියයි. මේ දක්වා ඔහු කළ සෑම අවකල් ක‍්‍රියාවක්ම, ජාතියේ නාමයෙන් සහ අනාගත පරපුරේ නාමයෙන් කළ කී දේවල් බවට එවිට භෞතීස්ම වනු ඇත.

ආපසු හැරී බලන විට, අද සිරිසේන මුළු රටක්ම එක මිටට ගෙන දූෂණය කරමින් සිටින සල්ලාලයෙකුගේ තත්වයට පත්ව ඇත. එය උමතුවකි. රටක ජනාධිපතිවරයාගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි ඉල්ලා පුරවැසියෙකු අධිකරණයක් ඉදිරියට ගිය වෙනත් රටක් ගැන මා අසා නැත. මුළු රටම පීඩාවට පත්ව සිටීම දකිමින්, එසේ රටක් අල්ලේ නැටවීමට තරම් තමාට හයියක් ඇතැයි සිතා ඉන් වින්දනයක් ලැබීම පරපීඩාකාමයක් වශයෙන් අපට හඳුනා ගත හැක. 18/19 සියවසේ ප‍්‍රංශයේ විසූ සාද් නම් වූ ආදිපාදවරයා මේ කියන පරපීඩාකාමය පිළිබඳ ලෝ ප‍්‍රකට පුද්ගලයා ය. ඇත්තෙන්ම, අප සිංහලෙන් භාවිත කරන මේ වචනයට (පරපීඩාකාමය) සමාන ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි ඇතුළු වෙනත් යුරෝපා භාෂාවල සඳහන් වචනය උපන්නේ ඔහුගේ නමිනි. ඔහු ගැහැනුන්ගෙන් වින්දනය ලැබුවේ සම්මත ආකාරයෙන් නොව, එම ගැහැනුන් අසීමිත වධ බන්ධනයට පත්කිරීමෙනි. ඉන් සමහර ගැහැනු කැමැත්තෙන් ඒ පීඩාවට ලක්වූවෝය. තවත් අය බලහත්කාරයෙන් ඒ සඳහා යොදවා ගනු ලැබුණි. මේ සෙල්ලම සඳහා අපූරු මෙවලම් පවා ඔහු පාවිච්චියට ගත්තේය. එසේ පාවිච්චියට ගත් ආම්පන්න කෞතුකාගාරයක්ම අදටත් පැරිසියේ පිහිටා තිබේ. 

සිරිසේනගේ මාස එක හමාරක පැටිකිරිය තුළ, රටක් පීඩාවට පත් කිරීම සඳහා ඔහු අවභාවිතයට ගෙන ඇති මෙවලම් කිහිපයක් අපට හමු වෙයි. ඉන් එකක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. අනෙක වන්නේ පාර්ලිමේන්තුවයි. ඊළඟට, ප‍්‍රජාතන්ත‍්‍රීය සම්ප‍්‍රදායයි. ඊයේ වන විට ඔහු අධිකරණයත් ඊට ඈඳාගෙන තිබුණි. එනම්, මේ රටේ යුක්තිය සහ ව්‍යවස්ථා නෛතිකත්වය ඉල්ලා පුරවැසියන් අධිකරණයට යෑම නිසා ප‍්‍රශ්නය දිග් ගැස්සුණු බව කීමෙනි. අධිකරණය ඉදිරියේ දැනට මේ සම්බන්ධයෙන් ඇති සියලූ නඩු විභාග අවසන් වන තෙක් තමන් තීරණයක් නොගන්නා බවත් මේ වන විට මොහු කියා තිබේ. 

විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනි දා සිට මේ පුද්ගලයා හැසිරුණු ආකාරයත්, පොදුවේ ගත් විට, ඊට සෑහෙන කාලයකට ඉහතදී පටන් ඔහු කර කියා ඇති දේ ගැනත් මදක් විමසිල්ලෙන් සොයා බලන්න. ඔහු සහසුද්දෙන්ම පරපීඩාකාමියෙකු බව එවිට ඔබට වැටහෙනු ඇත. අවාසනාව වන්නේ, සාද් ආදිපාදවරයා ගැහැනු සිය ගණනක් පමණක් ස්වකීය පරපීඩක වින්දනය සඳහා පාවිච්චි කරද්දී සිරිසේන ආදිපාදයා දෙකෝටියක් ජනතාව ඒ නපුරු වින්දනය සඳහා යොදා ගනිමින් සිටීමයි.  

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found