Language Switcher

V2025

දේශපාලඥයා සහ වෘත්තීයවේදියා වෙස් මාරු කරගෙන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ ඒක-පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගිය දා පැවසීය. ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප‍්‍රමාණය එරටේ ජනගහනයෙන් බෙ¥ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණනය කරන ණය ප‍්‍රමාණයයි. හිටපු විගණකාධිපතිවරයා මේ ණය කතාව කීවේ, රටක් වශයෙන් එතරම් විශාල ණය බරකින් යුක්ත වීම, රටේ ආර්ථික අනාගතයට ඔරොත්තු නොදෙන බව පෙන්වා දීමට ය. මෙය, මෙරටේ බොහෝ ආර්ථික විද්‍යාඥයන් සහ වෙනත් උගතුන් දැන් කාලයක් තිස්සේ පෙන්වා දෙමින් තිබෙන වැදගත් කාරණයකි. මේ තත්වය වෙනස් කර ගැනීම සඳහා පියවර ගණනාවක් ගත යුතුව තිබේ. ඒ අතරින් ප‍්‍රධාන වන්නේ, වෙළඳ ශේෂයේ හිඟය නමින් හැඳින්වෙන ආනයන අපනයන පරතරය අවම කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම, ක්ෂණික ප‍්‍රතිලාභ නොලැබෙන මහ පරිමාණ ව්‍යාපෘති සඳහා තවදුරටත් ණය ගැනීම තාවකාලිකව අත්හිටුවීම සහ සමස්තයක් වශයෙන් ගත් විට සීග‍්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම ආදියයි.

ණයක් යනු, ආදායම සහ වියදම අතර හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය කරන දෙයකි. දැනට ලංකාවේ ආනයන සහ අපනයන වටිනාකම් අතර හිඟ පරතරයක් තිබේ. උදාහරණයක් වශයෙන්, ගිය වසරේ මෙරටින් පිටරටවලට විකුණනු ලැබූ භාණ්ඩ සහ සේවාවන් මගින් ලැබූ අපනයන ආදායම ඩොලර් බිලියන 11.9 ක් වන විට එම වසරේම පිටරටින් මෙරටට ගෙන්වනු ලැබූ භාණ්ඩ සහ සේවාවන්හි ආනයන විියදම ඩොලර් බිලියන 22.2 ක් විය. මේ නිසා ගිය වසරේ මේ වෙළඳ ශේෂයේ හිඟය පියවා ගැනීම සඳහා පමණක් ඩොලර් බිලියන 11 කට ආසන්න අමතර මුදලක් පිටතින් සොයාගත යුතුව තිබුණි. (රටක ණය කන්ද ගොඩ ගැසීමට තව කාරණා කිහිපයක් හේතු වෙතත්, මේ කියන වෙළඳ ශේෂයේ හිඟය ඉන් ප‍්‍රධාන තැනක් ගනී*.

මේ සඳහා ප‍්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කෙරේ. එකක් වන්නේ, පිටරට වෙළඳපොළට අප සපයන භාණ්ඩ හා සේවාවල අපනයන වටිනාකම වැඩි කර ගැනීමයි. අනෙක වන්නේ, පිටරටවලින් ලංකාව මිළදී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි ආනයන වියදම අඩු කර ගැනීමයි. මේ ආනයන අපනයන පරතරයේ ගැටළුව පිළිබඳ විග‍්‍රහයක් කරන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ විජේවර්ධන, සාමාන්‍යයෙන් කවුරුත් පෙන්වා දෙන, ආනයන අපනයන අතර පවතින වටිනාකමේ හිඟයට අමතරව, අපේ අපනයන නිෂ්පාදනයේ ව්‍යුහාත්මක තත්වයකුත්, මෙවැනි ඔරොත්තු නොදෙන ආනයනික අධිකතාවකට පාර කපා ඇති බව පෙන්වා දෙයි. උදාහරණයක් වශයෙන්, පිටරට පටවන කමිසයක් සඳහා අවශ්‍ය බොත්තම් සහ නූල් අප ගෙන්වන්නේ පිටරටින් නම්, පිටරට යවන අපේ කමිසය තුළම ආනයනයකුත් අන්තර්ගත වෙයි. මේ නිසා, ආචාර්ය විජේවර්ධන තර්ක කරන්නේ, හුදෙක්, අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ පමණින් මේ කියන ආනයන-අපනයන වටිනාකමේ හිඟය පිළිබඳ ප‍්‍රශ්නය මුළුමණින් නොවිසඳෙන බවයි. (එවැනි, අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී ආනයනයන්, මේ ණය අර්බුදයෙන් ගොඩ එන තෙක්වත් සීමා කළ යුතුව ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ*.

රටේ ණය බරත් එවැනිම සංකීර්ණ ප‍්‍රශ්නයක් මිස ගාමිණි විජේසිංහ කියන ආකාරයේ ඒක පුද්ගල ණය බරක් පිළිබඳ වියුක්ත සංඛ්‍යාවකින් පැහැදිලි කළ හැකි සරල කතාවක් නොවේ. එවැනි තත්වයක, ඒක පුද්ගල ණය බර පමණක් ගෙනහැරපෑමෙන් කෙරෙන්නේ යම් දේශපාලනික ඉලක්කයක් ඉෂ්ට කර ගැනීමකට වැඩි දෙයක් නොවන බව කිව යුතුය. මේ කතාවේදී, ලංකාව මේ වසරේ සිට ‘ඉහළ-මධ්‍යම ආදායම්ලාභී’ රටවල් අතරට එක් වී සිටින බව නොකියා සිටීමට ඔහු පරිස්සම් වීමෙන් ඒ බව මොනවට පැහැදිලි වෙයි. ලෝක බැංකුව මීට සති දෙකකට පෙර ලංකාව ලෝකයේ රටවල් අතර ‘ඉහළ-මධ්‍යම ආදායම්ලාභී’ රටවල් අතරින් එකක් වශයෙන් නම් කෙළේය. ඒ දක්වා ලංකාව සිටියේ, ‘පහළ-මධ්‍යම ආදායම්ලාභී’ රටවල් අතරේ ය. රටක ඒක පුද්ගල දළ දේශීය ආදායම ඩොලර් 3995 දක්වා, ‘පහළ-මධ්‍යම ආදායම්ලාභී’ රටක් වශයෙන් සැලකේ. එය ඉක්මවා ගිය විට එය ගැනෙන්නේ, ‘ඉහළ-මධ්‍යම ආදායම්ලාභී’ රටක් වශයෙනි. ලංකාවේ වර්තමාන ඒක පුද්ගල දළ දේශීය ආදායම වන්නේ ඩොලර් 4060 කි. (මෙසේ අප ‘පොහොසත්’ වීම, ඉදිරියේදී අපට නරක ආකාරයකින් බලපෑ හැකි බව වෙනම සාකච්ඡුා කළ යුතු මාතෘකාවකි*. කෙසේ වෙතත්, ඔහු කියන පරිදි, අපේ ඒක පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන විට, ඒක පුද්ගල දළ දේශීය ආදායම රුපියල් 730,000 ක් වන බවත් ඔහු කිව යුතුව තිබුණි. වෘත්තීයවේදියෙකු හෝ විද්වතෙකු දේශපාලනයට පිවිසෙන විට, ඇතැම් කරුණු උලූප්පා දැක්වීම සහ තවත් කරුණු වසං කිරීම, ස්වභාවයෙන් ඇති වන රෝග ලක්ෂණයකි. (මේ විවේචනය, රටේ යෝධ ණය බරක් ඇති බව ප‍්‍රතික්ෂේප කිරීමක් නොවන බව දත යුතුය*.

ඊළඟට, මහා ව්‍යාපෘති සඳහා තවත් ණය ගැනීම දැනට නතර කළ යුතු බව ගාමිණී විජේසිංහ කියයි. උදාහරණයක් වශයෙන්, අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා අධික ණය කන්දරාවක් ලබාගත්තොත්, අපේ ණය බර තවත් ඔරොත්තු නොදෙන තත්වයකට පත්විය හැකිය. මන්ද යත්, එම අධිවේගී මාර්ග පද්ධතියෙන් අර කී ණය ගෙවා දැමීම සඳහා අවශ්‍ය වටිනාකම් ක්ෂණිකව නිෂ්පාදනය නොකෙරෙන බැවිනි. ඔහු කියන කතාවේ සත්‍යයක් තිබේ. එහෙත්, ඊට වෙනස් මතයක් ද කෙනෙකුට තිබිය හැකිය. ඕනෑම ප‍්‍රාග්ධනය ගොඩනංවීමක් තුළ, යම් කිසි ක්ෂණික සහ කෙටිකාලීන අවාසි තිබිය හැකි බැවිනි. (අධිවේගී මාර්ග යනු ප‍්‍රාග්ධනයකි*. උදාහරණයක් වශයෙන්, ගල්වලින් ගසා සතුන් මරාගෙන කෑ අවදියේ මිනිසා, දුන්නක් සහ ඊතලයක් (ප‍්‍රාග්ධනය* නිපදවා ගැනීම සඳහා දින කිහිපයක් දඩයමේ නොගොස් සිටියාට සැක නැත. සමහර විට ඒ දින කිහිපයේ හෝ සති කිහිපයේ වෙන දා තරම් ඔහුගේ බඩ පිරෙන්නටත් නැතුව ඇති. එහෙත් එම පාඩුව, තමන් අලූතෙන් නිපදවා ගත් දුන්න සහ ඊතලය භාවිතයට යෙදවීමෙන් දීර්ඝ කාලීනව ඔහු පියවාගනු ඇත. මේ නිසා, අධිවේගී මාර්ග පද්ධතියක් සඳහා අද ණය ලබා ගැනීම නිසා අපේ අනාගත ණය කන්දරාව ගොඩගැසීම කෙරෙහි ඉන් ඇති කෙරෙන බලපෑම ගැන මීට වඩා විචාරශීලීව බැලීම වැදගත් ය.

කෙසේ වෙතත්, ගාමිණී විජේසිංහගේ විග‍්‍රහය සහ විවේචනය, ඔහු ආර්ථික විද්‍යාඥයෙකු නොවූවද, පාලකයන් විසින් බරසාරව සැලකිල්ලට ගත යුතුව තිබේ. එහෙත් මොහු තමන්ගේ ආර්ථික විශ්ලේෂණ තුළට එක්තරා ආකාරයක දේශපාලනික නැමියාවන් ද ඇතුළත් කරගන්නා බවක් දැන් කාලයක සිට දක්නට ලැබේ. සියලූ සත්වයන් දේශපාලනික සත්වයන් බවට පත්ව ඇති ලෝකයක මෙය පුදුමයක් නොවූවත්, වෘත්තීයවේදියෙකු සහ විශේෂඥයෙකු, විශේෂයෙන් ලංකාව වැනි රටක සිල්ලර දේශපාලඥයන්ගෙන් වෙනසක් පෙන්නුම් කළ යුතුව තිබේ. උදාහරණයක් වශයෙන්, කිසි ආර්ථික විද්‍යාඥයෙකු හීනෙන්වත් බන්දුල ගුණවර්ධන කෙනෙකු විය යුතු නැත. දේශපාලඥයන් කෙරෙහි නැති යම් විශ්වසනීයත්වයක් වෘත්තීයවේදීන් සහ විශේෂඥයන් කෙරෙහි සමාජයක ජනිත වන්නේ එවිට ය.

දැන් මේ කියන කාරණය අරභයාම, ගාමිණී විජේසිංහ අපට ඉතිහාස පාඩමක් කියාදෙයි. ඔහු මෙය කියන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතකදී කළ එක්තරා ප‍්‍රකාශයක් මුල,් කරගෙන ය. දුටුගැමුණු රජුටත් සංවර්ධනය පිළිබඳ පාඩම් අද අපෙන් උගත හැකිව ඇතැයි අගමැතිවරයා යම් තැනක කියා තිබුණි. රනිල් වික‍්‍රමසිංහ යනු දේශපාලඥයෙකි. ඔහුගේ ප‍්‍රකාශය කයිවාරුවක් බව නොකිවමනා ය. දේශපාලඥයා නිර්වචනය වන්නේම එවැනි කයිවාරුවලින් බව අපි දනිමු. එහෙත්, ආර්ථික විද්‍යාඥයෙකු හෝ වෙනත් එවැනි වෘත්තීය විද්වතෙකුට දේශපාලඥයාගේ බාල අලංකාරික පාවිච්චි කිරීමේ නිදහසක් නැත. එනිසා අගමැතිවරයාට හිටපු විගණකාධිපතිවරයා දෙන පිළිතුර අපේ තියුණු අවධානයට ලක්කිරීම වැදගත් ය. ඔහුගේ පිළිතුර වන්නේ, රට සංවර්ධනය කිරීමට දුටුගැමුණු රජු ලෝකයට ණය වූයේ නැති බවයි.

මෙය, මිනිසුන් අන්දවන දේශපාලඥයෙකුගේ ප‍්‍රකාශයක් ගව් ගාණකින් ඉක්මවා යන ‘විද්වතෙකුගේ’ ප‍්‍රකාශයකි.

ලෝකයාට ණය නොවී රට සංවර්ධනය කිරීමට දුටුගැමුණු රජුට හැකි වූ බව සැබවි. එය හරියට, අගමැතිවරයා කියන පරිදි, සංවර්ධනය පිළිබඳ අද අප සතුව ඇති දැනුම නැතිව පවා දුටුගැමුණුට එදා රට සංවර්ධනය කිරීමට හැකි වීමට සමාන ය. මේ අනුව ගත් විට, අගමැතිවරයාගේ නොගැලපෙන කතාව සහ හිටපු විගණකාධිපතිවරයෙකුගේ ‘විද්වත්’ යැයි කියන ප‍්‍රකාශය අතර, මුග්ධ භාවය අතින් ගත් විට, කිසි වෙනසක් නැත.

දුටුගැමුණු රජු රට සංවර්ධනය කෙළේ කෙසේද? එදා ආර්ථිකය තිබුණේ ගොවිතැන මත පදනම්වයි. රටේ සමස්ත ආදායම සම්පාදනය කෙරුණේ ගොවිතැනිනි. මේ ගොවියාගෙන් දුටුගැමුණු රජු සියයට 40 ක බද්දක් අය කෙළේය. එදා බද්දෙන් නිදහස් වුණේ සංඝයා වහන්සේ පමණි. අද මෙන් බදු ගෙවීම පැහැරහැර සිටීමේ හැකියාවක් එදා නොවුණි.

ඊළඟට, එදා සෑම පුරවැසියෙකුම වසරෙන් මාස හයක් ‘රාජකාරී ක‍්‍රමය’ යටතේ රජුට නොමිලේ සේවය කළ යුතු විය. එනම්, සෑම වසරකම මාස හයක වහල් ශ‍්‍රමයක් රජුට හිමිව තිබූ බවයි. මහා පරාක‍්‍රමබාහු රජු වැව් තැනුවේ, එසේ නොමිලේ සපයාගත් ශ‍්‍රමයෙනි. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ සෑම ගඩොලකටම ගෙවා ඇතැයි කියැවෙන්නේ, එහි ‘පූර්ණ පින’ තමන්ට ලබා ගැනීමට මිස, ආර්ථික ක‍්‍රමයක් පිළිබඳ හැඟීමකින් නොවේ.

එදා සහ අද ජනගහනයේ වෙනස, සමාජ ක‍්‍රම දෙකක සහ යුග දෙකක අවශ්‍යතාවල ස්වභාවයේ වෙනස, ප‍්‍රාථමික ග‍්‍රාමීය ආර්ථිකය සහ නූතන වෙළඳපොල ආර්ථිකයක් අතර ඇති වෙනස ආදී සියල්ල අපි මොහොතකට පැත්තකින් තියමු. ගාමිණි විජේසිංහගේ ප්‍රෞඪ ඓතිහාසික කතාව මොහොතකට අපි පිළිගනිමු. ඒ අනුව, ලෝකයාට ණය නොවී, දුටුගැමුණු රජු කළා සේ ලංකාව සංවර්ධනය කළ හැකි බවත් අපි පිළිගනිමු. එහෙත් ඒ නිශ්චිත කොන්දේසි දෙකකට යටත්ව ය.

එකක් වන්නේ, කෘෂිකර්මයට වර්තමානයේ මෙන් පොහොර ආදී සහනාධාර දෙනවා වෙනුවට ඔවුන්ගෙන් සියයට 40 ක බදු අය කළ යුතුය. (වර්තමාන කර්මාන්ත සහ සේවා අංශ මොහොතකට පැත්තකින් තියන්න*. දෙවැන්න වන්නේ, වයස 18 ට වැඩි මේ රටේ සියලූ පුරවැසියන් වසරකට මාස හයක් ‘රාජකාරි ක‍්‍රමයක්’ යටතේ නොමිලේ රජයට වැඩ කළ යුතුය. එය, හිටපු විගණකාධිපතිවරයාටත් වලංගු විය යුතුය. එසේ කළොත්, ‘දුටුගැමුණු ක‍්‍රමයට’ ලෝකයට ණය නොවී ලංකාව සංවර්ධනය කළ හැකිය.

gamini Vගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found