Language Switcher

V2025

දොස්තර මොහොමඞ් ෂාෆි: ලංකාවේ ඩ්‍රේෆුස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට පමණි. අගමැතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. බුද්ධ ශාසන ඇමතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. ඊළඟට රටේ ජනාධිපති වෙන්ඩ හදන සජිත් පේ‍්‍රමදාස කටක් ඇරියේත් නැත.


ත‍්‍රස්තවාදය පිළිබඳව ලෝකයාට අද නූතන දැනුමක් තිබේ. එය, මීට වසර කිහිපයකට පෙර ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් දැරූ මතයට තරමක් වෙනස් ය. 2015 තරම් මෑතක් වන තෙක්මත්, ත‍්‍රස්තවාදී සංවිධාන සහ ව්‍යාපාර හඳුනාගෙන ඒවා හුදු අවි බලයම උපයෝගී කොටගෙන විනාශ කරලීම, රාජ්‍ය-කේන්ද්‍රීය ත‍්‍රස්ත-විරෝධී ව්‍යාපෘතිවල ප‍්‍රධාන කාර්යභාරය විය. බින් ලාඩන් සම්බන්ධයෙන් ඇමරිකාවත්, ප‍්‍රභාකරන් සම්බන්ධයෙන් ලංකාවත් අනුගමනය කෙළේ ඒ ක‍්‍රියාමාර්ගයයි. එහෙත්, අද වන විට සංවිධානගත ජාල (අල්-කයිඩා සහ එල්.ටී.ටී.ඊ. වැනි* ව්‍යාපාර නොමැතිව, පුංචි පුද්ගල කණ්ඩායම් සහ කල්ලි වශයෙන් රැුස්වී, රටක තිබෙන දුර්වලම තැන් ඉලක්ක කරගෙන ප‍්‍රහාරයන් දියත් කිරීම සඳහා අවශ්‍ය කරන්නේ ඉතා ප‍්‍රාථමික ඒකරාශී වීමක් පමණි. ඒ ප‍්‍රාථමික පුද්ගල කල්ලියට වැඩට බැසීමට අවශ්‍ය කරන්නේ දැඩි දෘෂ්ටිවාදීමය පන්නරයක්/පිස්සුවක් පමණි. ඔවුන් මහ බැංකුව හෝ කටුනායක ගුවන් තොටුපොළ වැනි ආරක්ෂිත ස්ථානයකට වඩා තමන්ගේ ඉලක්කය වශයෙන් ගන්නේ පල්ලියක්, පන්සලක්, පාසලක් වැනි අනාරක්ෂිත ස්ථානයකි. ත‍්‍රස්තවාදය මැඩලීමේ පරණ චින්තනය අනුව ගියොත්, මුළු රටම හමුදා බැරැුක්කයක් බවට පත්නොකොට මේ අර්බුදයෙන් ගොඩඒමට රටකට නොහැකි වනු ඇත. ඒ නිසා, වෙනත් ආකාරයකින් ප‍්‍රශ්නය දිහා බැලීමට අද ලෝකයා යුහුසුළුව සිටිති. එනම්, මේ ප‍්‍රාථමික පුද්ගල කල්ලි සහ ඒවාට දෘෂ්ටිවාදය සපයන මූලාශ‍්‍ර හඳුනාගෙන කල්තියා ඊට පිළියම් කිරීමයි. උදාහරණයක් වශයෙන් කිවහොත්, සහරාන් ඇතුළු කල්ලියේ දෘෂ්ටිවාදය සහ එම කල්ලියට අදාළ ක‍්‍රියාකාරකම් කල්තියා පාලනය කරගෙන තිබිණි නම්, පාස්කු ප‍්‍රහාරයක් ඇති නොවෙනවා පමණක් නොව, ඒ ප‍්‍රහාරයට පරිබාහිරින් අද ලංකාවේ ඇති කොට තිබෙන වාර්ගික ආතතියට හිස එසවීමට ඉඩක්ද නොලැබෙනු ඇත. ඊටත් කලින්, ගලගොඩඅත්තේ ඥානසාර වර්ගයේ උමතු ක‍්‍රියාකාරකම් මැඬලීමට පාලකයන් පියවර ගෙන තිබිණි නම්, සමහරවිට සහරාන්ට මෙතරම්වත් හයියක් නොලැබෙන්ට ඉඩ තිබුණි. කොටින්ම, කුරුණෑගල රෝහලේ දොස්තර ෂාෆි වැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන්, ජාතිවාදී පුවත්පතක් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුට මෙතරම් විනාශකාරී හාහෝවක් ඇති කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මුස්ලිම් සහරාන්ගෙන් අප පාඩමක් උගෙන නැති බව, ගලගොඩඅත්තේ ඥානසාර සහ අතුරලියේ රතන වැනි භික්ෂූන් අරභයා බලධාරීන් තවමත් දක්වන නියාලූ සහ ඉවසනසුළු ආකල්පයෙන් පෙන්නුම් කෙරේ. ඊයේ මාධ්‍ය වාර්තා කළ පරිදි, එක් භික්ෂුවක් අරලියගහ මැදුරට බලහත්කාරයෙන් ඇතුල් විය. ඔහු සමග සිටි කාන්තාවන් කිහිප දෙනෙකු කියා සිටියේ අරලියගහ මන්දිරය ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිසා කල්තියා ලබා ගත් අවසරයකින් තොරව එහි ඇතුල් වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බවයි. තමාව නතර කිරීමට කාටවත් නොහැකි බව තරයේ කියා සිටි භික්ෂුව තමා කවුද කියා නොහඳුන්නේදැයි ආරක්ෂක නිලධාරීන්ගෙන් කෝපයෙන් ප‍්‍රශ්න කෙළේය.

මේ භික්ෂුව එසේ ප‍්‍රශ්න කිරීම සාධාරණ ය. ඔහු ඇසුවේ තමාගේ ‘යුනිෆෝම්’ එක නොහඳුනන්නේද යන්නයි. රණකාමීත්වයක්වත්, වීරත්වයක්වත් පෙන්නුම් කොට නැතත්, මොන තරම් අපරාධ සිදුකොට ඇතත්, යම් අවස්ථාවක හමුදා ‘යුනිෆෝම්’ හැඳ සිටි ඕනෑම අපරාධකරුවෙකු ‘රණවිරුවකු’ වශයෙන් සැලකිය යුතු බවට සම්මතයක් මේ වන විට සමාජගත කොට තිබේ. ඉතිං, අර ආරක්ෂක නිලධාරීන්, මේ භික්ෂුව සම්බන්ධයෙනුත්, ඒ සම්මතයට ගරු කළ යුතුව තිබුණි. එනම්, ‘යුනිෆෝම්’ එකට ගරු කළ යුතුව තිබුණි.

‘රණවිරු’ ලේබලය යටතේ සිදුව ඇති අපරාධ යුක්ති සහගත කිරීමෙන් සැබෑ රණවිරුවන් හෑල්ලූවට ලක්වන්නේ යම් සේද, චීවරයක් හැඳගෙන ඊට නොහොබිනා ආකාරයෙන් හැසිරීම සහ කටයුතු කිරීමෙන්, චීවරය පසුපස තිබිය යුතුව ඇතැයි විශ්වාස කරන සද්ධර්මය හෑල්ලූවට ලක්කෙරෙන බව ථෙරවාද බෞද්ධයන්ටම අමතකව ගොස් ඇති සමාජයක අපි අද වෙසෙමු. එනම්, චීවරය ‘යුනිෆෝම්’ එකක් කර ගත් අබුද්දස්ස කාලයකට අපි අවතීර්ණ වී සිටිමු.

මෙවැනි භික්ෂූන්ගේ දුෂ්චර්යාවන් සාමාන්‍ය දෙයක් වශයෙන් ගැනීමට මේ බෞද්ධ සමාජය අද හුරු වී ඇතැයි සිතෙන්නේ ඒ පිළිබඳ කිසි විරෝධයක් පොදු සමාජයෙන් පැන නොනැෙඟන බැවිනි. වෛද්‍ය ෂාෆි පිළිබඳ සිද්ධිය පරීක්ෂා කළ යුත්තේ ‘‘වෛද්‍ය විද්‍යානුකූලව නොව, සමාජ විද්‍යානුකූලව’’ යැයි කියන තරමට අතුරලියේ රතන භික්ෂුව දුරදිග ගියේ, බෞද්ධ සමාජයමත් අබෞද්ධකම සහ අවිද්‍යාව සාමාන්‍යයෙන් අනුමත කරන බව හොඳින්ම ඔහු දන්නා නිසා විය හැකිය.

දොස්තර ෂාෆිට විරුද්ධව එල්ල වී ඇති ප‍්‍රධාන ආන්දෝලනාත්මක චෝදනාව වන්නේ සිංහල බෞද්ධ කාන්තාවන් ඔවුන්ගේ දැනුවත් භාවයකින් තොරව වඳ කොට ඇති බවයි. සාමාන්‍ය සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට පෙනී යා යුතු පරිදි, මේ සිද්ධිය පිළිබඳ සත්‍ය ගවේෂනයකදී අදාළ වන්නේ ප‍්‍රධාන කාරණා දෙකකි. එකක්, නීතිය මුල් කරගත් අපරාධ විමර්ශණයක් කිරීම ය. දෙවැන්න, වෛද්‍ය විද්‍යාව මුල් කරගත විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීම ය.

බලහත්කාරී වඳ කිරීමක් පිළිබඳ අපරාධයක් සම්බන්ධයෙන් සත්‍යය සොයා ගැනීම සඳහා මීට වෙනස් වෙනත් කිසි ක‍්‍රියාමාර්ගයක් ඇත්තේ නැත. යමෙකු මේ විද්‍යාත්මක ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරයි නම්, එහි අර්ථය වන්නේ, සත්‍යය නොව, ප‍්‍රබන්ධය හෙවත් බොරුවම එම තැනැත්තාට අවශ්‍ය කරන බවයි. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෛද්‍ය පරීක්ෂණ හරහා හෝ මේ පිළිබඳ සත්‍යය සොයාගත නොහැකි යැයි අතුරලියේ රතන භික්ෂුව කියන විට ඉන් ඔහු අදහස් කෙරෙන්නේ, දොස්තර ෂාෆි සම්බන්ධයෙන් තමාගේ විශ්වාසයට අනුරූප නිගමනයක් ලබා දෙන තෙක්, විද්‍යාත්මක දත්ත කිසිවක්, සත්‍යය වශයෙන් තමන් භාර නොගන්නා බවයි. නාරිදේහ විශේෂඥ වෛද්‍යවරුන්ට වඩා, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන දන්ත වෛද්‍යවරයෙකුගේ සහ නාථ දෙවියන්ගේ හාස්කම් මත ‘විද්‍යාත්මක’ නිගමනවලට එළැඹෙන චන්න ජයසුමන වැනි පුද්ගලයන්ගේ නිරීක්ෂණ, අතුරලියේ රතන වැනි භික්ෂූන්ට මෙතරම් වැදගත්ව ඇත්තේ එබැවිනි.

මේ ගැන අප පුදුම විය යුතු නැත. මේ භික්ෂුව අදහන ආගමත්, ඔහුට අනුව, අප විනිශ්චය කළ යුත්තේ, බුද්ධ ධර්මානුකූලව නොව, ‘සමාජ විද්‍යානුකූලව’ වන බැවිනි. බුදුන් වහන්සේට අනුව, ජාතිය කරපින්නා ගැනීම, බොරු කීම, හිංසනයට උඩගෙඩි දීම, (බොරුවට හෝ* ජීවිතය නසා ගැනීමට තැත් කිරීම සහ අධර්මයේ හැසිරීම ධර්ම-විරෝධී ය. එහෙත් මේ සියල්ල, බුදුන්ට අනුකූලව නොව, අතුරලියේ රතන භික්ෂුවගේ ‘සමාජ විද්‍යානුකූල’ තර්කයට අනුව, නිවැරදි ය. මන්ද යත්, ලංකාවේ බහුතරය සිංහල ය. ඒ බහුතරයෙන් බහුතරය බෞද්ධ ය. ඒ තත්වය තුළ, බුදුන් වහන්සේගේ චීවරය, ‘සමාජ විද්‍යානුකූල යුනිෆෝමයක්’ බවට පත්කර ගැනීමේ හයියක් එම භික්ෂුවට ලැබී ඇති බැවිනි.

මෙවැනිම බහුතර මතයක් විසින් නීතිය සහ යුක්ති ධර්මය කෙලසූ අවස්ථාවක් වැඩි ඈතක නැති ලෝක ඉතිහාසයෙන් අපට හමුවෙයි. 1894 දී ප‍්‍රංශයේ ඇති වූ මේ සිද්ධිය අදටත් ලෝක ප‍්‍රසිද්ධ වන්නේ ‘ඩ්‍රේෆුස් සිද්ධිය’ වශයෙනි. එදා මුළු ප‍්‍රංශ සමාජයම යුදෙව් විරෝධී මතවාදයක තෝතැන්නක්ව තිබුණි. අද ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් ඇති කොට තිබෙන සැකය සහ අවිශ්වාසය එදා යුරෝපය පුරා සිටි යුදෙව්වන් අරභයා දක්නට තිබුණු පොදු ආවේගයකි. ඇල්ෆ‍්‍රඞ් ඩ්‍රේෆුස්, ප‍්‍රංශ ජාතික යුදෙව්වෙකි. ප‍්‍රංශ යුද හමුදාවේ කපිතාන්වරයෙකි. ප‍්‍රංශයේ බුද්ධි තොරතුරු ජර්මානු බලධාරීන්ට සපයන ලදැයි යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගැනුණි. රාජද්‍රෝහී වීමේ වරදට ඔහුව ජීවිතාන්තය දක්වා හිරේට නියම කෙරුණි. මොහුව අත්අඩංගුවට ගත් සැණින්, ප‍්‍රංශය පුරා යුදෙව් විරෝධී කැරලි කෝලාහල ඇති විය. ඒ, ඔහුව මරණීය දණ්ඩනයට පත්කරන ලෙස ඉල්ලමිනි. එහෙත් ඒ වන විට, දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ප‍්‍රංශයේ අවලංගු කොට තිබුණි. මේ චෝදනාව පසුව වඩාත් උසිගැන්වුණේ, ලංකාවේ මෙන්ම, ‘නිදහස් භාෂණය’ නමැති ජාතිවාදී පුවත්පතක මැදිහත්වීමෙනි. මේ සමස්ත සිද්ධිය අදටත් සැලකෙන්නේ, ප‍්‍රංශය රටක් සහ ජාතියක් වශයෙන් දෙකට වෙන් කළ නූතන යුගයේ මහා ඛේදවාචකය වශයෙනි.

එදා මුළු ප‍්‍රංශ සමාජයම පාහේ ඩ්‍රේෆුස්ට විරුද්ධව ජාතිවාදය අවුස්සන අවස්ථාවේ ලෝක ප‍්‍රකට සාහිත්‍යකරුවෙකු වූ එමිල් සෝලා, ඩ්‍රේෆුස් වෙනුවෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කෙළේය. ‘‘මම චෝදනා කරමි...’’ යනුවෙන්, රටේ ජනාධිපතිවරයා අමතා ඔහු ලියූ, අදටත් චිර ප‍්‍රසිද්ධ එම ප‍්‍රකාශයෙන් පසු තවත් ලෝ ප‍්‍රකට නවකතාකරුවන් වන ඇනටෝල් ෆ‍්‍රාන්ස් සහ මාර්සල් පෲස්ට්, මහා චිත‍්‍රකරු ක්ලෝඞ් මොනේ, නූතන සමාජ විද්‍යාවේ ප‍්‍රධානී එමිල් ඩර්ක්හයිම් ඇතුළු කලාකරුවන්, විද්වතුන් සහ දාර්ශනිකයන් ජාතිය මුල් කොට අගතියට පත්කොට සිටි මේ පුද්ගලයාගේ නිදහස වෙනුවෙන් ඉදිරියට ආහ. (ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කෙරුණු එක් පෙළපාලියක ඉදිරියෙන්ම ලියොන් ට්‍රොට්ස්කි ගමන් කළ බවක් යම් තැනක සඳහන්ව තිබුණා මතකයේ තිබේ*.

ඩ්‍රේෆුස්ව ජීවිතාන්තය දක්වා හිරේට නියම වී අවුරුදු කිහිපයක් යන විට හදිසියේම අලූත් සාක්ෂි සොයා ගැනුණි. (ඇත්තෙන්ම ඉන් බොහෝ ඒවා අලූත් සාක්ෂි නොව, කල්තියා තිබුණු, එහෙත් ජාතිවාදී නිලධර තන්ත‍්‍රය සහ හමුදා තන්ත‍්‍රය විසින් යටපත් කෙරුණු සාක්ෂි ය*. අලූතෙන් නඩුව පටන්ගැනුණි. ඩ්‍රේෆුස් වැරදිකරු කිරීමට කලින් සාක්ෂි දුන් පුද්ගලයන් තමන් බොරු සාක්ෂි දුන් බව පිළිගත්හ. ඉන් එක් අයෙකු අලූත් නඩුව තුළ අත්අඩංගුවට පත් දවසේම, රැුවුල කපන රේසරයෙන් බෙල්ල කපාගෙන ජීවිතය නැති කරගත්තේය. තව ප‍්‍රධානියෙක් නැවත නොඑන්නට රටින් පැන ගියේය. ප‍්‍රංශ විප්ලවයෙන් පසු ඇති කරගත් ජනරජ මූලධර්ම මේ සිද්ධියේදී අමුඅමුවේ උල්ලංඝණය වී ඇති බවත්, එයින් සමස්ත ප‍්‍රංශ සමාජයම භයානක අගාධයකට හෙලූණු බවත්, අධිකරණය ඉදිරියේ බලධාරීහූ පිළිගත්හ.

යුදෙව් විරෝධයෙන් ඔද්දල්ව සිටි ප‍්‍රංශ සමාජය විසින් අභූත චෝදනාවක් මත දඬුකඳේ ගසනු ලැබූ මේ යුදෙව්වා අලූත් නඩු විභාගයෙන් නිදහස ලබා නැවතත් 1914 පළමු ලෝක යුද්ධයේදී ප‍්‍රංශ හමුදාව සමගම, ඔහුම ඔත්තු සපයන ලදැයි චෝදනාවට ලක්ව සිටි ජර්මනියට විරුද්ධව යුද්ධයට ගියේය. එහිදී ඔහු ලූතිනන් කර්නල්වරයෙකු දක්වා උසස් විය. යුද්ධයෙන් ප‍්‍රංශය ජයගත්තේය. ඔහු මියගොස් දැන් අවුරුදු 80 කි. එහෙත් අදටත්, ප‍්‍රංශයේ ජාතිවාදී උමතුව හිස ඔසවන හැම අවස්ථාවකම, ඩ්‍රේෆුස් පිළිබඳ වරද සහගත හෘද සාක්ෂිය විද්වත්හු රටට මතක් කර දෙති.

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found