Language Switcher

V2025

ඔළුව අවුල් වීම, දේශපාලඥයාට පමණක් නොව, නීතිපතිවරයෙකුට හෝ කාදිනල්වරයෙකුට වුව අවලස්සන ය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය. එවිට, ආයතන සහ පද්ධති යටපත් කොට පුද්ගලයෝ ඉස්මතු වෙති. මේ කියන රිසි බලධාරීන් වැඩි නැමියාවක් දක්වන්නේ, ප‍්‍රමිතියට ගරු කිරීමට වඩා සිතැඟියාවන්ට අනුගත වීමටයි. ඔවුන් නිසඟයෙන් නරක මිනිසුන් නොවිය හැකිය. එහෙත්, අනියම් න්‍යායපත‍්‍ර හේතුවෙන් ඔවුන් විකටයන් බවට පත්වීමේ අවදානම හැම විටකම තිබේ.

කොණ්ඩය අවුල් වූවත් ඔළුව අවුල් නොකර තබා ගැනීම බලධාරීන්ගේ වගකීමකි. එහෙත් අද හැම තැනකම පෙනෙන්ට ඇත්තේ අවුලකි. එය, ස්වභාවිකව හටගත් අවුලකට වඩා, ඕනෑකමින් නිර්මාණය කරමින් තිබෙන අවුලක් ද වෙයි. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ඉදිරියේ බුද්ධිමත් සහ තැන්පත් සිතින් කටයුතු කළ කාදිනල්වරයා පවා, අලූත් ‘දැනුමකින්’ ඔළුව අවුල් කරගෙන දැන් කටයුතු කරන බවක් හැම අතින්ම පෙනෙන්ට තිබේ. ඔහු එක විට සංග‍්‍රාම දෙකක් අරඹා ඇති සෙයකි. එකක්, දේශපාලනික ය. අනෙක, ආගමික ය.

කාදිනල් තනතුර පාවිච්චි කරමින් ඔහු දේශපාලනය කිරීමට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. එහෙත්, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඔහු වෙත ගලා ආ ක්ෂණික ප‍්‍රසාදය ස්වකීය දේශපාලනයට සැපයුණු අත්වැලක් සේ කාදිනල්වරයා බාරගෙන ඇති සෙයක් පෙනෙන්ට තිබේ. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටීමට තරම්, ඊයේ වන විට ඔහු දුරදිග ගොස් ඇත.

ඔහුගේ දෙවැනි සංග‍්‍රාමය තුළ, තවත් අත්වැලක් මේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය තුළින් ඔහු සපයාගෙන තිබේ. එනම්, එම ප‍්‍රහාරය ආගමික කාරණා මුල්කොට ගත් දෙයක් නොව, ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන ලද කුමන්ත‍්‍රණයක ඵල විපාකයක් බවට වන අර්ථකථනයක් අපට සපයා දීමෙනි. ආගම් සියල්ල, ලේ විලක් මැද්දේ එක විට ප‍්‍රශ්න කෙරෙන අවස්ථාවක, ඒ සියලූ ආගමිකයන් එකාවන්ව අත්වැල් බැඳ ගැනීම සිරිතයි. එවිට, ක‍්‍රිස්තියානි පල්ලියට මුස්ලිම් පල්ලියේ පිට කැසිය හැකිය. මුස්ලිම් පල්ලියට සහ ක‍්‍රිස්තියානි පල්ලියට පන්සලේ පිට කැසිය හැකිය. (මෙවැනි ‘ජයග‍්‍රාහී’ මොහොතක, එනම් ප‍්‍රහාරකයන් සහ වින්දිතයන් යන දෙපාර්ශ්වයම සුළුතරයට අයත්ව ඇති මොහොතක, බහුතරයේ පන්සල ඒ ආකාරයෙන්ම ක‍්‍රිස්තියානි පල්ලියට හෝ මුස්ලිම් පල්ලියට ‘සහෝදරාත්මක’ නොවීම ටිකක් ඉවසා සිටීමට සුළුතරයේ ආගමිකයන්ට සිදුවෙයි*. ඉතිං, ‘සාතන්’ සොයා ගැනීමට සිදුවන්නේ වෙනත් තැනකින් සහ වෙනත් පුද්ගලයෙකු තුළිනි. ඒ තැන, ඇමරිකාව ය. පුද්ගලයා, ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය.

දේශපාලනය සහ ආගම අලූත් වටයකින් මිශ‍්‍ර වී ඇති වර්තමාන ලෝකයේ, සහරාන්ගේ ආගමික උමතුව පසුපස තීරණාත්මක කාර්යභාරයක් භූ-දේශපාලනය විසින් සාධනය කෙරෙන බවට සැකයක් නැත. අද බෞද්ධ පන්සල දේශපාලනික වී ඇති තරමටම, වතිකානුව සහ මක්කමත් දේශපාලනික වී තිබේ. ඒ නිසා, මේවා අතරින් හරි කෙලින් රේඛාවක් ඇඳ, ආගම සහ දේශපාලනය වෙන්කොට හැඳින්වීම කළ නොහේ. එහෙත්, අපේ දැන් ප‍්‍රශ්නය වන්නේ, හැම කුණු කන්දක්ම බේරේ වැවට හැරවීමට ගන්නා වංක ප‍්‍රයත්නය හඳුනා ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, එම තත්වය සමාන වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ චර්යාව, නෝර්වේ රටේ සිට කෙරෙන තිරය පිටුපස මෙහෙයැවීමකැයි කියා සිටීම වැනි තත්වයකට ය.

ඉතා කෙටි කාලයකින් පාස්කු ත‍්‍රස්තවාදීන් කොටු කර ගැනීමට සහ ඔවුන්ගේ ත‍්‍රස්ත ජාලය නිරාවරණය කර ගැනීමට, මේ රටේ මුස්ලිම් ප‍්‍රජාවගේම සහයෝගයෙන් ලංකාවේ ආරක්ෂක අංශ සමත් වීම නුරුස්සන කොට්ඨාශයක් සිටී. එහිදී, පොදු විපක්ෂය කැපී පෙනේ. යම් මුස්ලිම් ස්ථානයක තිබී කඩුවක් සොයාගත්තොත්, ‘දැක්කා නේද?’ යි ප‍්‍රශ්න කිරීමට මේ පිරිස් සැදීපැහැදී සිටිත්. මුස්ලිම් ත‍්‍රස්තවාදියෙකු බටහිර රටක ඇති කඳවුරක පුහුණුවක් ලබා තිබීම, එක විටම, මුස්ලිම් ත‍්‍රස්තවාදය පිටුපස ඇතැයි කියන ‘බටහිර කුමන්ත‍්‍රණයට’ සාක්ෂියක් සේ ගැනීමට දක්වන රුචිකත්වයට එය සමාන ය. මේ දක්වා සිදු වී ඇති කිසි පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසයක් තමන්ට නොමැති බව කාදිනල්වරයා කියන විට ගම්‍ය වන්නේ ඒ රහස් සිතැඟියාවයි.

අපේ නායකයන්ට කොන්ද පණ නැති බවක් ඔහු කියයි. එයින් ඔහු නිශ්චිතව අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. දැන් කාලයක් තිස්සේ මේ රටේ ජනතාව අපේක්ෂා දල්වා සිටි, නීතියේ ආධිපත්‍යය සහ යුක්ති ධර්මය මත පිහිටා, පසුගිය කාලයේ සොරුන්, වංචනිකයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමට අවුරුදු හතරකටත් වැඩි කාලයක් තිස්සේ අපේ නායකයන්ට නුපුළුවන් වීම, එක්තරා ආකාරයක කොන්ද පණ නැති කමක් වශයෙන්, අවශ්‍ය නම් කෙනෙකුට ගත හැකිය. කාදිනල්වරයා කියන්නේ එය නොවන බව සහතික ය. එසේම, ඔහුට පිළිතුරු දෙන ජනාධිපතිවරයා, පසුගිය ඔක්තෝබරයේ අගමැතිවරයාව ඉවත් කොට මහින්ද රාජපක්ෂව එම පුටුවේ වාඩි කැරැුවීමට තරම් ‘කොන්දක්’ තමන්ට තිබුණු බව කියා තිබේ. නොසංඩාල වැඩ කිරීමට විළිලැජ්ජාව නැති කම ‘කොන්දක්’ ඇති බවට සාක්ෂියක් නොවේ. මේ සියල්ල සහසුද්දෙන්ම ‘අවුල්’ ය.

කොන්ද පණ තිබීම යනු, හෘද සාක්ෂියට එකඟව, නිවැරදි දේ කිරීමට කෙනෙකු තුළ තිබිය යුතු සදාචාරමය හයිය මිස වෙන කිසිවක් නොවේ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අධිකරණයේ ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය හෑල්ලූවට ලක්කරමින් නොමනා ලෙස හැසිරුණු අවස්ථාවේ ඊට එරෙහිව හඬ නැගීමට මහේස්ත‍්‍රාත්වරයෙකු පියවර ගැනීම කොන්ද කෙලින් තියාගත් එක් අවස්ථාවකි. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මිනිමැරුම් චෝදනාව යටතේ අත්අඩංගුවේ තබා ගැනීමට නීතිපතිවරයා ගත් ප‍්‍රයත්නය අභියෝග කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරියට තිබූ හයිය, තවත් උදාහරණයකි.

ඒ මහේස්ත‍්‍රාත්වරියගේ විනිශ්චය පිළිබඳ ප‍්‍රතිශෝධන අයදුම්පතක් මේ වන විට නීතිපතිවරයා ඉහළ උසාවියට ඉදිරිපත් කොට තිබේ. ඊට අමතරව ඔහු සිය මාධ්‍ය ප‍්‍රකාශිකාව හරහා නිකුත් කෙරෙන නිවේදනයක් මගින් මහේස්ත‍්‍රාත්වරියගේ විනිශ්චය අධිකරණයෙන් පිටස්තරව ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීමටත් පියවර ගෙන ඇති බව පසුගිය දා මාධ්‍ය වාර්තා කෙළේය. මෙය, පෙර නොවූ විරූ තත්වයකි. මුලින්ම, නීතිපතිවරයෙකුට මාධ්‍ය ප‍්‍රකාශිකාවක් අවශ්‍ය කරන්නේ මන්ද යන ප‍්‍රශ්නය පැනනගී. දේශපාලන බලධාරීන්ට එවැනි දෛනික සේවාවක් අවශ්‍ය කෙරේ. පුද්ගල ප‍්‍රචාරණය ඔවුන්ගේ ජීවනාලිය වන බැවිනි. පොලීසිය වැනි ඇතැම් රාජ්‍ය ආයතනත් දෛනික මට්ටමකින් මේ සේවාව පවත්වාගෙන යාමේ සිරිතක් මේ වන විට ඇති කොටගෙන තිබේ. එහෙත් එය යොදාගැනෙන්නේ, ජනතාව වෙත රටේ අපරාධ සම්බන්ධයෙන් වන ප‍්‍රවෘත්ති සම්පාදනය උදෙසා ය. එය පවා, දිනපතා පොලිස් ප‍්‍රකාශකයෙකු රූපවාහිනියේ පෙනී සිටිමින් ජනතාවට දන්වා සිටිය යුතු දෙයක් නොවේ. ඒ සඳහා වෙනත් ඕනෑ තරම් ක‍්‍රමවේද සොයාගත හැකිය. කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ කාර්යභාරය ඊට ඉඳුරා වෙනස් ය. තමන් මාධ්‍ය ප‍්‍රකාශිකාවක් තබාගෙන සිටින්නේ, විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත වී ඇති තත්වයක් තුළ, ජනතාවට තොරතුරු ලබා දීමට බව, ඔහු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී කී බව මාධ්‍ය වාර්තා කෙළේය. නීතිපතිවරයා කළ යුත්තේ ජනතාවට තොරතුරු සැපයීම නොව, අධිකරණයට තොරතුරු සැපයීමයි. (ඇරත් ජනතාව සැබවින්ම ඉල්ලා සිටින වෙනත් තොරතුරු නීතිපතිවරයා මේ ආකාරයෙන් ජනතාවට සපයන්නේ නැති බවත් අපි දනිමු*. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රත්වරියගේ විනිශ්චය පිළිබඳ නීතිපතිවරයා ඉදිරිපත් කොට ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගන්නා අවස්ථාවේ එම තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන්, නීතියේ හෝ යුක්තියේ යම් වැරැුද්දක් ඇති වී තිබේ නම් එය නිවැරදි කර ගැනීමේ සෑම අවස්ථාවක්ම නීතිපතිවරයාට තිබේ. එසේ තිබියදී, ජනතාව ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමේ පුරුද්දකුත් නීතිපතිවරයෙකු ඇති කරගත යුතුද? මෙවැනි සිදුවීම්වලට ගැමියන් කියන්නේ ‘අලි මදිවට හරක්’ කියා ය.

මේ සියල්ල අවුලකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ යම් අවුලක් කවදත් තිබේ. එය නිදහස නිසා ඇති වන තත්වයකි. ඉතිං, නිදහස නැති කර නොගෙන අවුල කළමණාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් සපයනු ලැබේ. එවිට, අවුලට පවා යම් ගැළපීමක් සහ අනුරූපත්වයක් හිමිවෙයි. ලසිත් මාලිංගගේ කොණ්ඩය මගේ සිහියට නැගෙයි. එය ‘අවුල්’ ය. එහෙත් ඒ යම් පිළිවෙලකට ය. හැඩයකට ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘අවුල’, නීතිපතිවරයාගේ කොණ්ඩය නොවී ලසිත් මාලිංගගේ කොණ්ඩය සේ වෙනවා නම් මා කැමති ය.

ගාමිණී වියන්ගොඩ

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found