Language Switcher

V2025

මරණ ලයිස්තුවේ ඔබත් සිටියි - සරත් විජේසූරිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇත යන්න ජනතාව ත්‍රස්ත කිරීමට තුඩුදෙන ප්‍රබල මාතෘකාවකි.

දේශපාලනඥයන්ද පිරිහුණු භික්ෂුන්ද ගිජු ලෙස රස අහරක් දැක ඉවසිලි නැතුව සේ ජාතික ආරක්ෂාව ගැන තම තමන්ගේ මට්ටමට වහසි බස් දොඩවන අන්දම විද්‍යාමාන වේ.

2019 අප්‍රියෙල් 21 වෙනි දා හෙවත් පාස්කු ඉරිදා සිදුවුණ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදු කළ බෝම්බ පිපිරවීම හේතුවෙන් ලාංකේය දේශපාලනයේ එතෙක් පැවති ජාතිවාදී කථිකාවේ මුහුණුවර වෙන පැත්තකට යොමු වී තිබේ. වෙස් බැඳගෙන නැටූ ජාතිවාදී නාඩගම් අමු නිරුවතින් එළැඹෙන ජනාධිපතිවරණයේදී රඟ දැක්වීමට පේවී සිටින්නෝ බොහෝ වෙති. පිරිහුණු භික්ෂූන් එහි පෙරමුණේ සිටගනු ඇත.

ජනතා වරමක් ලබා ගැනීමට රාජපක්ෂවරුන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ සියලු මාතෘකා පසු පසට තල්ලු කොට තිබේ. ජාතික ආරක්ෂාවේ මුර දේවතාවුන් තමන් බව රටට පෙන්වීමට මළමිනී ගොඩගන්නා අන්දම ජුගුප්සාජනකය.

රාජපක්ෂවරුන්ගේ දේශපාලන රථයේ රෝද හතරේම එක එක මට්ටම්වලින් හුළං අඩු වී තිබුණ පසුබිමකය පාස්කු ඉරිදා ව්‍යසනය සිදු වුණේ. ඔවුන්ට රෝද හතරම පිපිරෙන තරමට හුළං ගසා ගැනීමට පාස්කු ඉරිදා ප්‍රහාරය උදව්වක් වී ඇත.

මොන විදිහකින් හෝ රටක් තුළ සිදුවුණ ව්‍යසනයක් දේශපාලන බලය අල්ලා ගැනීම උදෙසා ආයුධයක් කර ගැනීමට ඉවහල් කර ගන්නේ නම් විවිධ ව්‍යසනයන් යළි යළිත් සිදුවීමට බැරි නැත.

ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කුමක් සිදු වී ද?

ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම සැහැල්ලුවෙන් ගැනීමත්, ජාතික ආරක්ෂාව ගැන වගවීමකින් තොරව රාජ්‍ය පාලනය කිරීමත් විනාශයට හේතුව බව දැන් අනාවරණය වී ඇත. අදූරදර්ශී පාලකයෙකුගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ථ රාජ්‍ය පාලනයම විපරිත වීම හේතුවෙන් වළක්වා ගැනීමට තිබුණ විනාශය වළක්වා ගත නොහැකි වූ බව කිව යුතු නැත.

අභියෝගය අභිමුව නිරුවත:

ජාතික ආරක්ෂක අමාත්‍ය පදවියක් නිර්මාණය කොට එහි වගකීම සරත් ෆොන්සේකාට පවරන ලෙසට ප්‍රබල මතයක් සමාජයේ ඇති විය. අපරාධයට අදාළ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගත්ත ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය ඉහළම මට්ටමෙන් සිදු කළ ද, රටේ ආරක්ෂාව ගැන සහතිකයක් රටේ ජනතාවට අවශ්‍ය විය. ඊට අදාළ සාධයක් වන්නේ ජනාධිපතිවරයා කෙරේ විශ්වාසය ජනතාව තුළ බිඳ වැටීමය.

මෙහිදී මහින්ද රාජපක්ෂ ආරක්ෂාව ගැන සරත් ෆොන්සේකා ගැන සාධනීය අහසක් පැවසුව ද එය රටට පේන්නට පමණක් විය. හොර පාරෙන් ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ සරත් ෆොන්සේකා ගැන වෙන යම් කතාවකි. හිටපු ජනාධිපතිත් සිටින ජනාධිපතිත් යන දෙදෙනාම බලය අභිමුව අභියෝගයක් පවතින බව සත්‍යයකි. දෙදෙනාම අවංක පාලකයන් නොවීම ඊට හේතුවයි.

කළ යුතු දේ කිරීමට වඩා තමන්ගේ පැවැත්මට අවශ්‍ය දේ කිරීම හෝ කරවා ගැනීම නායකයන් දෙදෙනාගේම අභිප්‍රාය වී ඇත. මේ නිසා ජනතාවට ආරක්ෂාව සහ නිදහස සම්බන්ධයෙන් ආත්ම විශ්වාසය තහවුරු නොවීය. අදටත් ඒ වෙනුවෙන් අංසවේදීය. මේ නොමනා තත්වය තුළ අගමැතිවරයා අනුගමනය කළේ සහ කරන්නේ ගුටිකන පිළිවෙතකි.

ජනාධිපතිවරයා මෙන්ම ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයා‌ගේ දුබලතා ලැයිස්තුවේ අංක එක බවට පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහන් කරන්නට යෙදුණේ දේශපාලන වශයෙන් ලැබෙන වාසි ප්‍රයෝජන සලකමිනි. මේ වූ කලී රටේ දේශපාලනඥයන්ගේ තරමය.

අදවන විට ජාතික ආරක්ෂාව මුස්ලිම් ජනතාව කෙරේ වෛරයක් බවට පරිවර්තනය කර තිබෙන අන්දම ඉතා පැහැදිලිය. මුස්ළිම් වෛද්‍යවරයෙකු එහි ප්‍රධාන දඩයම වී තිබේ. බොහෝ ජනමාධ්‍යවලට අවශ්‍ය වූයේ වෛද්‍ය සාෆි ප්‍රභාකරන් කෙනෙකු ලෙසට ජන විඥානයට කා වැද්දීමටය.

අතුරලියේ රතන හිමි තමන් කවුරුන්ද යන්න පෙන්වමින් මේ ක්‍රියාවලිය තුළ කටයුතු කරන්නේ තමන්ට නොමැති සුදුසු කමක් හා බලයක් පවරා ගනිමිනි. ඔහුගේ අභිමතාර්ත මුදුන්පත් කර ගැනීමට තවමත් නොහැකි වී තිබේ. ඒ නිසා වියරු වෙසින් වහසී බස් දොඩවමින් ජාතික ආරක්ෂාවේ න්‍යෂ්ටිය බවට පත් වීමට වෙර දරන තත්වය පෙනේ.

නිසැකවම ජනාධිපතිවරණ සමයේදී රට ගිනි තියන්නට, සිංහල බෞද්ධ සමාජය දඩමීමා කර ගැනීමට පියවර ගනු ඇත. එක එක බහුබූතයන්ට එක එක විලාසයේ බඩපිලුම් ගසන්නට හැකි වී තිබෙන්නේ රාජ්‍ය පාලනය තුළ පවතින විපරීත තත්වය නොවේ ද? සියල්ලේ වාසිය ජාතිවාදයේ දේශපාලනය ගිජු ලෙස ඩැහැගනිමින් කටයුතු කරන්නේ බලය අත්පත් කර ගැනීමටය. ඉන් රටට සිදුවන යහපතක් නැත. සැබවින්ම ජාතික ආරක්ෂාව නම් කාරණය අවභාවිත වීමකි නොනවත්වාම සිදුවන්නේ.

දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන්:

රාජපක්ෂ හිතවාදී ජනමාධ්‍යවලට අනුව කවර වරදක් කළත්, රාජපක්ෂවරුන් දේශප්‍රේමීන්ය. අපරාධ දූෂණ කවර මට්ටමකින් කර තිබුණත්, දේශප්‍රේමයේ නාමයෙන් ඔවුන්ගේ විශාල පින්තූර ජන මනසේ ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍ය ක්‍රියාවලියක් සංවිධානාත්මකව පවතී.

මේ මාධ්‍ය ක්‍රියාවලිය තුළ රාජපක්ෂවරුන්ගේ පිළිවෙත්වලට විරුද්ධ සියලු දෙනාම දේශද්‍රෝහීන්ය. දේශද්‍රෝහීන්ගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් රාජපක්ෂවාදී මාධ්‍ය හඳුනාගෙන තිබේ. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම, ආගමික අන්තවාදයට විරුද්ධ වීම, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටීම, ජාතිවාදයට විරුද්ධ වීම ඒ ලක්ෂණ අතර ප්‍රධානය.

දේශද්‍රෝහීන් බටහිර රටවල්වලින් යැපෙන්නන් - ප්‍රතිලාභ ලබන්නන් බවට අවලාද නැඟීමට වග බලාගෙන ඇත. එහෙත් මේ අවලාද නඟන සියලු දෙනා තමන්‌ගේ දෑස් කළු රෙදි පටිවලින් බැඳගෙනය කටවල් අරින්නේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින හොඳම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකාවේ පුරවැසියෙකි. ඔහුගේ අඹුදරුවන්ද ඇමෙරිකාවේ පුරවැසියන්ය. ඔවුන්ගේ වස්තුව - දේපළ තිබෙන්නේ ඇමෙරිකාවේය. ලංකාව ඔවුන්ගේ ආර්ථික ශක්තියේ පතල ය.

දේශපාලන බලය ඉවහල් කරගෙන පතල හාරා හාරා හැකි තරම් වස්තුව හරි හම්බකරගෙන ඇමෙරිකාවේ ඉහළ පැළැන්තියට ඇතුළත් වී යෙහෙන් සිටීම ජාතික ආරක්ෂාවේ මුරදේවතාවගේ උසස්ම ලක්ෂණය යි! ගඳ සුවඳ පවා නොතකා වන්දිබට්ටකම් කරන මේ දේශප්‍රේමීන් සැබවින්ම දේශද්‍රෝහීන්ය.

දේශප්‍රේමීන්ට අපමණ නඩු ය. ඔවුන්ට නඩු පැවරීම මෙන්ම ඔවුන්‌ගේ නඩු විභාග කිරීම ද සිදුවන්නේ ඔවුන්ට අභිමත අන්දමට සේය. ඒ සෑම නඩුවක්ම පළිගැනීම සඳහාය. නඩුවල උරුමක්කාරයන් පවසන්නේද ඒ බසමය. ඔවුන් වෙනුවෙන් නෑගම් යන වන්දිබට්ටයන් පවසන්නේද ඒ බසමය.

රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට තිබෙන බරපතල ප්‍රශ්නය නම් ඔවුන් හඳුනාගෙන සිටින දේශද්‍රෝහීන්ට දූෂණ චෝදනා සම්බන්ධ නඩු නැති වීමය. අපරාධ සම්බන්ධ නඩු නැතිවීමය. රාජ්‍ය දේපළ හා රාජ්‍ය ධනය අවභාවිත කළ බවට දමා ගසන්නට වසුරු පොදි නැති කමය. ඇමෙරිකාවේ හෝ වෙනත් කිසිම බටහිර රටක පුරවැසියන් වී නොතිබීමය. බටහිර රටවල දේපළ නැතිකමය.

දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම:

2015 පැවති ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාගේ ජයාග්‍රහණය වෙනුවෙන් කැපවුණ සියලු දෙනා දේශද්‍රෝහීන්ය. රටේ ජාතික ආරක්ෂාව නැති කර තිබෙන්නේ ඔවුන්ය. මේ මුග්ධ චෝදනා නඟන්නෝ රාජපක්ෂවරුන්ගේ ප්‍රවේණි දාසයන්ට පරම්පරා ගණනකට හරිහම්බ කර ගත් පුද්ගලයන්ය. ඇතැමුන් වැදගත් අන්දම‌ට දුෂණයේ නිමග්න වු මහත්වරුන්ය.

දේශද්‍රෝහීන්ට පටබැඳ තිබෙන ගරුනාමය ජනවාරිවරුන් යන්නය. ජනවාරිවරුන් දේශද්‍රෝහීන් නම් ඔවුන්ගේ උර මතින් ජනාධිපති පදවියට පත්වුණ පුද්ගලයා ද දේශද්‍රෝහීයෙකු විය යුතුමය. උත්ප්‍රාසය නම් ඒ දේශද්‍රෝහීයාගේ පා සෙවණේ ඇතැමුන් හුරතල් වීමය. පදවි තානාන්තර දැරීමය. ප්‍රශස්ති ගැයීමය.

ලාංකේය දේශපාලනයේ සදාචාරාත්මක පිරිහීම වචනයෙන් විසිතර කළ නොහැකි තරම්ය. බලය භුක්ති විඳිමට සැදී පැහැදී සිටින දේශප්‍රේමීන්ට වඩා දේශද්‍රෝහීන් ලෙසට අවමන් ලබන්නෝ සෑම විවෘත අවකාශයකම නිදහස් පුරවැසියෝය. ඔවුන් කාගේවත් වහල්ලු වී නැත. බඩ වඩා ගැනීමට පහත් වැඩවල නිමග්න වන්නේ ද නැත. හා මට කෑමක් - හා මට කෑමක් කියමින් තලු මරමින් බල අරගලයක් තුළ සරුපල භුක්ති විඳින්න‌ට උත්සුක වුවෝද නොවෙති.

ලංකාව නීතිය මත පාලනය වන රටක් නම් දේශප්‍රේමීන් බහුතරය මේවනවිට සිටින්නේ සිරගෙවල්වලය. එහෙත් ඔවුහු ජාතිවාදය වපුරමින් රටට - සමාජයට - ජනතාවට හතුරුකම් කරමින් ජනතා මුදල්වලින්ම නඩත්තු වෙමින් යෙහෙන් වැජ‌ඹේති.

ජාතික ආරක්ෂාව ගැන සැබෑ කැක්කුමක් තිබෙන්නේ කාට ද ?

ප්‍රගතිශීලී සමාජ ක්‍රියාධරයෙකු ලෙස කලක් ප්‍රකටව සිටි පුද්ගලයෙක් මා සමඟ රටේ ජාතික ආරක්ෂාව ගැන දීර්ඝ සංවාදයක නිමග්න විය. හෙතෙම රටක ජාතික ආරක්ෂාවට මුහුණ දීමට සිදු වෙන විවිධ අභියෝග ගැන කරුණු ගණනාවක් විස්තර කළේය. ඔහුගේ අදහස් සමඟ මට පෙරළා විවාදයක් නොතිබිණි. එහෙත් අප අතර සංවාදය නිම කරමින් ඔහු පවසා සිටි කාරණාවක් හේතුවෙන් මම තිගැස්සුණි.

''.....අපි එක දෙයක් තෙරුම් ගන්න ඕනෑ. ඒක තමයි මුස්ළිම් ජනතාවගෙන් බහුතරය සිංහල ජනතාවගෙන් බහුතරය ව‌‌ගේම අහිංසකයි, අසරණයි. ඒ වුණාට රටේ විරෝධයක් බුර බුරා ඇවිළෙනවා මුස්ළිම් ජනතාව වෙනුවෙන්. මෙතන දී භික්ෂුන් බලවත් වෙලා. ආණ්ඩුව භික්ෂුන්ට මුකුත් කරන්නට ඉදිරිපත් වෙන්නේ නෑ. හැම දේශපාලනඥයෙක්ම සිංහල බෞද්ධ ඡන්ද පදනමට කෙළ හළමින් තමයි හැම වෙලාවෙම වැඩ කරන්නේ. මේකයි යථාර්ථය. ඒ නිසා මම කියන්නේ අපි හැම වැඩක්ම කරන්න ඕනෑ සිංහල බෞද්ධ බලය පැත්තේ හිටගෙන. අපිට එතන දි මුස්ළිම් සංස්කෘතියෙ බොහෝ දේවල් විවේචනය කරන්න ඕනැ වෙනවා. ඒකෙන් අපට ආරක්ෂාවක් සැලසෙනවා........''

මම ඔහුගේ මතයට එකඟ නැති බව ඇඟවීමි. ඔහු මගේ මුහුණ දෙස බැලුවේ අනුකම්පා සහගත විලාසයකිනි.

''...මම කියන්නෙ මොකක්ද කියලා හොඳට නිවාඩු පාඩුව හිතලා බලන්න. මම හිතන්නේ නෑ මේ රටේ පාලනය දරුණු ජාතිවාදියෙකුට - මිනිමරුවෙකුට ලැබෙයි කියලා. ඒත් ඒ ගැන අනවශ්‍ය විදියට විශ්වාසයක් තියන්නත් එපා. මොන විදියකින් හරි ඒ ජාතියේ මනුස්සයෙකුට බලය ලැබුණොත් එයා බලය අත හරින්නෙම නෑ. ඒ වෙනුවෙන් එයාට මනුෂ්‍ය රාශියක් ජීවිත තරාතිරම නොබලා ඉවර කර දාන්න වෙනවා. ඒ කිසි ජීවිතයකට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට පසුගිය කාලේ කොච්චර නම් සිවිල් සමාජයෙන් කෑගැහුව ද? පලක් වුණේ නෑනේ. මේක ගැන හිතන්න ඕනෑ....';

මේ පුද්ගලයා මගෙන් සමුගෙන ගිය පසු ඔහු ගැන මම කල්පනා කළෙමි. ඔහු‌ගේ අදහස්වල විශාල වෙනසකි මා තේරුම් ගත්තේ. ඔහු අදෘෂ්‍යමාන භීතිකාවකින් සසළව සිටින්නේය. මරණ බියෙන් පෙළෙන බවක් ද මා දුටුවේ! ඔහුට දේශප්‍රේමීන් නිසි අන්දමට පෙනී තිබෙනවා නේ ද? දේශප්‍රේමීන් යනු විරුද්ධ අදහස් දරන්නන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරන්නන්ද?

ඔහු මට නොකියා පැවසූ දේ මට වැටහිණි.

සාහසික පුද්ගලයෙකු බලයට පත් වුවහොත් ඔහුගේ අණින් මරා දමන ලැයිස්තුවේ ඔබත් සිටී.

ඔහුගේ නිගමනය නිවැරදි විය හැකිය.

ජාතික ආරක්ෂාවේ පදනම කොතැනද?

ඉන්දියාව - චීනය සහ ඇමෙරිකාව ළිප් ගල් තුනක් වී ඇති සේය. ලංකාව තිබෙන්නේ මේ ළිප් ගල් තුන උඩ ද? එසේ නම් ඒ තත්වය ඇති වී තිබෙන්නේ කවර හේතු සාධක මතද?

දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය පාලනයේ නිමග්න වූ සියලු පාලකයන් ණයට අරන් කාපු බීපු උදවිය වැනිය. බලය අහිමිවුණ පසුව ඔවුන් නිදහස්ය. එහෙත් රට නිදහස් නැත. රටේ නිදහස වෙනුවෙන් දැක්මක් තිබෙන පාලකයෙකුට වුව තම හිස මතට බරවෙන මහා ණය කන්දේ වගකීමෙන් යුක්තව කිසිම ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැඟිය නොහැක.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව රටේ වෙනසක් ඇති කරන බවට මතයක් ගෙන හැර දක්වන නාගහනන්ද කොඩිතුවක්කු මහතාගෙන් එක්තරා සඟරාවක දී වැදගත් වෘත්තිකයෙක් ප්‍රශ්නයක් විමසීය.

ඔබ කොහොමද රටේ මහා ණය කන්දට මුහුණ දෙන්නේ?

... මම ඒ රටවල් එක්ක කතා කරලා ඒ ප්‍රශ්න සේරම නිරාකරණය කර ගන්නවා. සමහර රටවල් අපේ මාතෘභූමිය අමාරුවේ දාලා තියෙන්නේ. ඒක ගැන අවශ්‍ය පියවර මම ගන්නවා.

මේ ප්‍රකාශවලින් පැවසෙන අන්දමට නම් රාජ්‍ය පාලනය ඉතා සැහැල්ලු හා සරල කටයුත්තක් වන්නේය!!!

ජාතික ආරක්ෂාව සම්බන්ධ පදනම අපිට හුදෙකලාව ඇති කර ගත හැකිද?

අපේ නිවස සහ ඉඩම බැංකුවට උගස්කර ණය ගෙන අපි කා බී නටා විනෝද වී සිටිමු. ණය ගෙවන්නට අපට නොහැකි වී ඇත. අපට මේ අපේ ගෙදර යැයි නිදහසේ සැනසීමෙන් නිවසෙහි යෙහෙන් ජීවත් වීමට හැකි ද?

දේශප්‍රේමීන් ජාතික ආරක්ෂාව උදෙසා ඉදිරිපත් කරන යෝජනාව කුමක් ද?

ඔවුනට ණය උගුල අදාළ නැති සේය. ජාතික ආරක්ෂාව ලෙස ඔවුන් සලකන්නේ රට තුළ ඇති වෙන තත්වයන් හොඳින් හෝ නරකින් සමනය කිරීමය. සිංහල බෞද්ධ දේශපාලනඥයන් සහ බොහෝ භික්ෂූන් කල්පනා කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන්නේ දෙමළ ජනතාව නැතහොත් මුස්ලිම් ජනතාවය. පෙර දවස නම් පැහැදිළිවම දෙමළ ජනතාවය. අද ඉතා පැහැදිළිවම මුස්ලිම් ජනතාවය.

අභ්‍යන්තර ලේ වැගිරීම් සිදුවෙන තත්වයක් ඇති වුවහොත් ඒ රටෙහි ජාතික ආරක්ෂාව සහතික ද? ත්‍රිවිධ හමුදාවේ ශක්තියෙන් එවිට ජාතික ආරක්ෂාව සැලසේ ද?

අර්බුදය සහ ගෝත්‍රික දෘෂ්ටි:

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන පවතින ව්‍යාකූලත්වය ගැන සාකච්ඡාවක දී තීරකයන් මතුකර තිබෙන ප්‍රශ්නය වන්නේ සුළු ජාතීන් අමතක කොට දිනන්නට පුළුවන් ද? ජාතිවාදී දේශපාලනඥයන් හෙවත් දේශප්‍රේමීන් අවධාරණයෙන් පවසා තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම එහෙම පිටින්ම දිනා ගැනීමට නම් සුළු ජාතීන්ට එරෙහි මතයක විවෘතව පෙනී සිටිය යුතු බවත් එය රටට තහවුරු කළ යුතු බවත්ය.

මේ අදහසට මහින්ද රාජපක්ෂ විරුද්ධ වී ඇත. පසුව ජාතික චින්තනයේ න්‍යායාචාර්යවරයෙකුගෙන් අසන්නට ලැබෙන්නේ ඊට පිළිතුරකි. ඔහුට අනුව මහින්දටත් කොන්ද පණ නැහැ. මහින්දගේ කොන්ද පණ නම් ගෝඨාභය වෙනුවෙන් විවෘතව පෙනී සිටිය යුතුය. එවිට සිංහල බෞද්ධ ඡන්ද එක පොදියට ගැට ගැසෙනු ඇත.

දේශපාලන බලය වෙනුවෙන් ගෝත්‍රික දෘෂ්ටිවාද බලසම්පන්න වන්නට පුළුවන. බලය මොනම අන්දමකින් හෝ උරුමකරගත් පුද්ගලයෙකුට එවිට මර්දනය වෙනුවෙන් පුථමව සැලසුම් හදන්නට සිදු වනු ඇත.

යුද්ධය අවසන් වුණ පසුව ද ගෝත්‍රික දෘෂ්ටිවාද පෙරටුකරගෙන රට පාලනය කිරීමට පියවර ගත්තේ ඒකාධිපති පාලනයක් වෙත ගමන් කරමිනි. ඒකාධිපති පාලනයට අවතීර්ණ වීමට චීනයට ගෙවන්නට සිදුවුණ ගාස්තු ද අපමණය. එහෙත් බැලුම පිපිණි.

මෙහිදී අවධාරණයෙන් පැවසිය යුතු කරුණු කිහිපයක් තිබේ.

පළමුවැන්න ජාතික ආරක්ෂාව නිවසේ ගේට්ටුවට ඉබ්බා දමන්නා සේ සරල විලසින් ඇති කර ගත හැකි දෙයක් නොවේ. ජාතික ආරක්ෂාව උදෙසා රටේ සියලු ජනකොටස්වලට ජීවත්වීමට අවශ්‍ය නිදහස හා සහජීවනය තහවුරු විය යුතුය. ඒ වෙනුවෙන් සරල විසඳුම් ද නැත. නිර්භීතව කැපවුණ තීන්දු ගත යුතුව ඇත.

අද ලංකාවට පවතින්නට තරම් ජාතික ආදායමක් ඇත්තේම නැත. ණය ගෙවන්නට ණය වෙන යථාර්ථයක් තිබේ. මහා ණය කන්ද ජාතික ආරක්ෂාව සමග සම්බන්ධය.

රට පාලනය කළ නායකයන් අවිචාරාත්මකව විශාල අනර්ථයන්ට උර දී තිබේ. ඒ අනර්ථයන් විශාල අර්බුදයක් නිර්මාණය කර ඇත. ඒ අර්බුදය තුළ කිසිම ආණ්ඩුවකට ජනතාවගේ සියලු ප්‍රශ්න පහසුවෙන් විසඳීමට නොහැකිය. ජනතාව තුළ අසහනය දෙයාකාරයකින් පවතියි. පළමුව පවතින්නේ ආර්ථික අසහනය නිසා නිරතුරුව ඇති වන කැළඹීමය.

දෙවනුව නිදහස සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ජනතාවට තිබෙන අවිනිශ්චිතභාවය නිසා වූ අසහනයයි. මෙහිදී ජාති භේදයක් නැත. ආගම් භේදයක් නැත. එහෙත් බලය වෙනුවෙන් ගෝත්‍රික අදහස් මුල් කර ගතහොත් ජාති ආගම් භේද ඇවිලේ.

දේශප්‍රේමීන්ගේ හා දේශද්‍රෝහීන්ගේ වෙනස පවතින්නේ මේ අවකාශය තුළය. දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා තිබෙන පුද්ගලයන් මරා දැමීම දේශප්‍රේමීන්ගේ අභිමතාර්ථය වන්නේ නම්, ඒ අනුව තහවුරු වන්නේ ජාතික ආරක්ෂාව ද? නැත. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීම් ක්‍රියාවලියේ දී දේශද්‍රෝහීන් හෙවත් ජනවාරිවරුන් සත්‍ය වශයෙන්ම වහල්වරුන්ට වඩා ප්‍රගතශීලීය.

මහාචාර්ය සරත් විජේසූරිය

(අනිද්දා පුවත්පතට ලියන ලද්දකි)