Language Switcher

V2025

ජාතික ආරක්ෂාවද, දුප්පත්කම තුරන් කිරීමද, ආර්ථික සංවර්ධනයද ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 12 කි. 2020 සිට මෙරට විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට පවතින තරඟයේ ප්‍රධාන තරඟකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් පෙරමුණේ සටන් වැදී සිටි. දෙදෙනාම ජනතාවට නොයෙකුත් පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන අතර, සමහර පොරොන්දු පරණ ඒවාය. ඒවා අලුත් බෝතල්වල දමා දෙන පරණ වයින් වගේය. සමහර පොරොන්දු , ප්‍රතිඥා පසුගිය වසර 71 ක කාලයක් තිස්සේම සාකච්ඡාවට බඳුන් වූ ඒවාය.

මෙම ජනාධිපතිවරණ මැතිවරණයේදී එහි දිශානතිය බොහෝදුරට යොමු වී ඇත්තේ ප්‍රධාන අභියෝග දෙකක් කෙරෙහිය. එනම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වේදනා විඳින ශ්‍රි ලාංකීය ජනතාවට ඉදිරියේදී පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවට අපේක්ෂකයින් දෙදෙනාම සපථ වෙයි.

දෙවෙනි කාරණය , සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන්ම සඳහන් කරන්නේ ග්‍රාමීය දුගී දුප්පත්කම නැති කිරීම සහ දුප්පතා රජ කරවන බවය.

වසර 71 ක් තිස්සේ ආර්ථික කුණාටුවට හසු වී ඇති රටක , මූලික සංවර්ධන ක්‍රියාදාමයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවන රටක , මැතිවරණයකදී දිනන පක්ෂය සහ පුද්ගලයා තීරණය කරන පාවෙන ඡන්ද ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන රටක, රටේ ජනාධිපතිවරයාගෙන් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද යන කාරණය මෙහිදී මූලික වෙයි.

සරලව ගතහොත් ජනාධිපති අපේක්ෂකයින් ලබා දෙන පොරොන්දු හෝ ඉදිරිපත් කරන විසඳුම් වලින් අප රට අද මුහුණ පා ඇති ආර්ථික අගාදයෙන් ගොඩ ආ නොහැකිය. ජාතික ආරක්ෂාව ඉතා වැදගත්ය. එය 2010 වර්ෂයේ උතුරේ ත්‍රස්තවාදීන් විනාශ කිරීමත් සමගම එය ශ්‍රී ලාංකීකයන්ට කළ හැකි බව ඔප්පු විය. අප්‍රේල් 21 සිදු වු බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මකව විශාල කාලයක් තුල සැලසුම් කරන ලද්දක් නොවුවක් වන අතර එය යම් පාර්ශවයකගේ නොසැලකිලිමත්භාවය හා දුර්වලතාවයන් (Weakness) ප්‍රයෝජනයට ගෙන ක්‍රියාත්මක කරන ලද්දක් වන අතර අපගේ ආරක්ෂක හමුදාවන් විමසිලිවන්තභාවයෙන් (Non Vigilant) තොර වීම මෙම ප්‍රහාරයට හේතු විය. නවීන තාක්ෂණය සහ ආරක්ෂක හමුදාවන් පැය 24 පුරා සුපරික්ෂාවෙන් තැබීම සහ රටේ ආරක්ෂාව ව්‍යාපාරයක් කර නොගැනීමෙන් නැවතත් අප රට සුරක්ෂිත කළ හැකිය.

දුප්පත්කම තුරන් කිරීම 80 දශකයේ සිට කතා කරන මාතෘකාවක් වුවත් පසුගිය වසර මැද වන විට අප රටේ පවුල් ලක්ෂ 11 ක් සමෘද්ධිය ලැබුවන් වූ අතර මාස දෙකකට පෙර තවත් ලක්ෂ 06 ක් මේ ගොඩට එකතු විය. දෛනික ආදායම ඩොලර් 08 ට වඩා අඩු නම් ඔවුන් දුප්පත් යන රේඛාවෙන් පහලට වැටේ. එසේ නම් ඔවුන් ඉහලට ඔසවා තැබිය හැක්කේ කෙසේද?

අප මූලිකව සඳහන් කර ප්‍රධාන අභියෝග තුනෙන් පැහැදිලිව අප ඉදිරියේ ඇති මුලිකම අභියෝගය වන්නේ ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනය, ඒක පුද්ගල ආදායම ඉහලට ගෙන ඒම සහ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමයි. දේශිය සහ විදේශීය ණය හැකිතාක් දුරට දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව දැනට පවතින 86% ප්‍රමාණයෙන් පහලට ගෙන ඒමයි. මහා පරිමාණයෙන් වැඩෙන රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව පාලනය කිරීමයි. කිසිවෙකුටත් පාලනය කළ නොහැකි ආකාරයට කඩා වැටෙන දේශිය රුපියල ආරක්ෂා කර ගැනීමයි.

  • · තවද, ඩොලර්බිලියන85 (රුපියල් ට්‍රිලියන 03 ක් පමණ) වන දේශීය සහ විදේශීය ණය පාලනය කර ගැනීමයි. රටට ව්‍යසනයක් වී ඇති ආනයනයන් අවම කරගෙන අපනයනයන් වැඩිකර ගැනීමයි.
  • ·කඩා වැටි ඇති කොටස් වෙළඳපොළ සක්‍රීය කර ගැනීමයි.
  • ·සෘජු විදේශ ආයෝජනයන් වැඩි කර ගැනීම.
  • ·තවද, මෙම සියලු ක්‍රියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින සියලුම ජාතීන් අතර සමගිය ඇති කර ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් නැගී සිටීමයි.

ඉහත සඳහන් සියල්ල මනා ලෙස හැසිරවීම තුලින් ආර්ථික සංවර්ධනය ලඟා කර ගත හැකිය.

මෙහිදී අද දේශපාලන පක්ෂ කථා කරන අට අනූවක් ප්‍රතිපත්ති, සම්මුතීන්, ප්‍රඥප්ති සියල්ල ඒ තුලින් සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අභියෝගය භාර ගැනීමට ජනාධිපති අපේක්ෂකයින්ට හැකිද?

මෙම ආර්ථික සංවර්ධන ක්‍රියා දාමය සංඛ්‍යා ලේඛණ පදනම් කරගෙන විග්‍රහයක් කිරීමේදී :

ශ්‍රි ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 83% කි. පිටතට ගෙවිය යුතු ණය රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන ඇති ණය මෙම ප්‍රමාණයට එකතු කළ විට එය 85% කි. පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඇමරිකානු ඩොලර් බිලියන 21 කි. මෙම ප්‍රමාණයන් අපගේ ණය ගෙවීම් අනුපාතයට එකතු කළ විට එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ක් වේ. ශ්‍රි ලංකාව වැනි කුඩා රටකට මෙය දැරිය හැකිද?

රාජ්‍ය ණය ගෙවීම :

පසුගිය විසි වසර තුල පාලනයකින් තොරව ණය ලබා ගෙන ඇති අතර අයවැය ලේඛනය අනුව 2019 වර්ෂයේදී ගෙවිය යුතු ණය සහ පොලිය ඩොලර් මිලියන 5900 කි. එය රුපියල් වලින් නම් රුපියල් බිලියන 1062 කි. එළඹෙන වර්ෂයේ ජනවාරි 14 වන දින ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2400 කි. එම ප්‍රමාණය ගෙවීම සඳහා නැවතත් ණය ලබා ගැනීමට රජයට සිදු වෙයි. ඒ සඳහා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ කර ඇත.

මීලඟට රජයේ පුනරාවර්තන වියදමෙන් ප්‍රධාන වැය ශීර්ෂයක් වන රාජ්‍ය වැටුප් ගැනීම විමසා බලමු.

රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කළ බව පුන පුනා කීමත් එම වැඩි වීම තුල රජයට දැරීමට සිදුවන අතිරේක වැය ප්‍රමාණය රුපියල් බිලියන 120 කි. රජයේ වාර්ෂික මුළු වැටුප්                  ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකට ආසන්නය. වර්තමානයේ ලක්ෂ 11 ක් වන රාජ්‍ය සේවකයන්ට මාසිකව රුපියල් බිලියන 69 ක් වැටුප් සඳහා වෙන් කළ යුතු අතර අනෙකුත් අත්‍යවශ්‍ය ගෙවීම් එනම්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර හා අනෙකුත් සහනාධාර සඳහා තවත් රුපියල් බිලියන 38 ක් අවශ්‍ය වේ. මෙහි වැයබර 2020 වර්ෂයේදී මීට වඩා වැඩි වෙනවා ඇත.

රාජ්‍ය මූල්‍ය පාලනය 2020 න් පසු ඉතාමත් බැරෑරුම් තත්වයකට පත්වනවා ඇත.

මෙම තත්වයෙන් ගොඩ ඒමට නම් දැඩි මූල්‍ය විනයක් ක්‍රියාත්මක කිරීමට නව පාලනයට සිදු වනවා ඇත. රජයේ මුදල් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් වැය කිරීමට සිදු වනු ඇත. එසේ නම් රජයට සිදු වන්නේ රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම 8% දක්වා වැඩි කළ යුතු යයි ආර්ථික ඔස්තාර්ලාගේ යෝජනාවන් පසෙක තබා පෞද්ගලික අංශය ඉදිරියට ගෙන ඒමය. ජන ජීවිතයට බලපාන තවත් කරුණකි රුපියලේ අගය පහල වැටීම. 1977 රුපියල් 8 ක් වූ ඩොලරය අද 182 කි.

මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අධික ආනයනයන් සහ අවම අපනයනයන් ක්‍රියවලියයි. අප රටේ වාර්ෂික අපනයනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 11 කි. ආනයනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 21 කි.

මෙම තත්වය යටතේ වාර්ෂික ජංගම ගිණුමේ ඩොලර් බිලියන 10 ක හිඟයක් ඇති වන අතර එය යන්තම් හෝ පාලනය කර ගනු ලබන්නේ අපගේ විදේශික ශ්‍රමිකයන් ප්‍රේෂණය කරනු ලබන ඩොලර් බිලියන 08 උපයෝගී කරගෙනය. මේ සඳහා ජනාධිපති අපේක්ෂකයන්ට විසඳුම් තිබේද?

තවද ශ්‍රී ලාංකීය ආර්ථිකය මත පැටවී ඇති බරපතලම ප්‍රශ්නය වන්නේ, පාඩු ලබන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන පද්ධතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රජයට අයත් ව්‍යසායන් වැඩි ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට බරක් වී ඇත. සරලම උදාහරණය නම් මැතිවරණ අභියසදී ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට දීපවාලි අත්තිකාරම් ගෙවීමට සිදු වූයේද රාජ්‍ය භාණ්ඩාගාරයටය.

රජයට අයත් ව්‍යවසාය ආයතන 422 ක් පමණ වන අතර  රාජ්‍ය සංස්ථා, මණ්ඩල වලින් ලාභ ලබන්නේ 59 ක ප්‍රමාණයකි. එසේ වුවත් දළ ජාතික නිෂ්පාදනයට රාජ්‍ය අංශය 13% ක පමණ අගයක් එකතු කරනු ලබයි.

  • ·රාජ්‍ය ආයතන 89 ක මෙම වර්ෂය තුලදී ලැබූ මූල්‍ය හිඟය බිලියන 57 කි. සරලව කිවහොත් මේ දක්වා සටහන් වී ඇති අලාභය බිලියන 57 කි. තවද, මෙම ආයතන බැංකු ඇපකර ලබා දී ගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 185 ක් මහා භාණ්ඩාගාරයෙන්  ගෙවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2019 වර්ෂය වන විට අලාභය රුපියල් මිලියන 17500 කි.

ලාභ ලබන රාජ්‍ය ආයතන ද 2019 සැප්තැම්බර් වන විට ලාභාංශ ලබා දී ඇත්තේ 33% කි. ඉදිරි මාස තුන තුලදී 67% ක් ලාභාංශ ලබා දීමට මෙම ආයතන වලට හැකියාව ඇද්ද?

මෙමගින් අයවැය ලේඛනයට කරනු ලබන බලපෑම කොපමණද?

අවසාන වශයෙන් අප විසින් පෙන්වා දිය යුත්තේ 2020 වර්ෂයේදී රජය විසින් සැලසුම් කර ඇති දැනට අත්‍යවශ්‍ය නොවන ගොඩනැගීම් සියල්ල නතර කර දැමිය යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් නිසා රජයට පැටවෙන වැය බර අධිකය.  රජය විසින් ආරම්භ කර දැනට මන්දගාමීව ක්‍රියාත්මක වන හෝ නතර කර දමා ඇති සියලු ව්‍යාපෘතීන් 2020 වර්ෂයේදී සම්පූර්ණ කළ යුතුය.

  • ·කෙසේ වුවද 65% ක ගොවි ජනතාවට අවශ්‍ය වන එහෙත් නොසලකා හැර ඇති වැව්,ඇල,වේලි ටික සකස් කර දී 2020 වර්ෂය කෘෂිකාර්මික වර්ෂය ලෙස නම් කොට ක්‍රියාත්මක කළහොත් එය ග්‍රාමීය ආර්ථිකයේ සංවර්ධනයට පිටුවහලක් වන අතර සහල් ආනයනය , බඩඉරිඟු ආනයනය , සීනි ආනයනය අවම කර විදේශ විනිමය රට තුල රඳවා ගැනීමට අවස්ථාව උදා වනවා ඇත.

තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිරට ද අවශ්‍ය වන්නේ ආර්ථික සංවර්ධනයේදී ප්‍රතිලාභ ලැබීම මිස දේශපාලනඥයන් කතා කරමින් සිටින දේශපාලන විසඳුම් නොවන බව පාලකයින් වටහා ගත යුතුය.

ඉන්දියාව , තායිලන්තය , පකිස්ථානය , බුරුමය , කාම්බෝජය වැනි රටවල් ජනවාර්ගික අර්බුද ඉවත ලා ආර්ථික සංවර්ධනය කෙරෙහි යොමු වීම නිසා වේගවත් සංවර්ධනයක් ලබා ගෙන ඇති බව නොරහසකි.

දැඩි මුල්‍ය විනයක් හඳුන්වා දී ජනප්‍රිය පොරොන්දු ඉටු නොකර ඉදිරියට ගියහොත් 2021 දී අප රටට ස්ථාවර පදනම දමා ගැනීමට හැකි වනවා ඇත.   

සේන සූරියප්පෙරුම

ආර්ථික හා මූල්‍ය විශ්ලේෂක       

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found